YouVersion Logo
Search Icon

ද්විතීය 25

25
1මිනිසුන් අතර ආරවුලක් හටගෙන, ඔවුන් උසාවි ගිය කල, විනිසුරුවන් නඩුව විභාග කොට, නිවැරදිකරු නිදහස් කරමින්, වරදකරුට දඬුවම් නියම කරනු ඇත. 2වරදකරු පහර ලැබිය යුත්තකු වූ කල, විනිශ්චයකරු ඔහුට බිම දිගාවෙන්නට සලසා, ඔහුගේ වරදට නියමිත කස පහර ගණන තමා ඉදිරිපිටදී ම තැලවිය යුතු ය. 3එහෙත් කස පහර හතළිහකට වඩා ඔහුට නො තැලිය යුතු ය. ඊට වඩා ඔහුට තලනු ලැබුවහොත්, එය ඔබේ ඇස් හමුවෙහි ඔබේ සහෝදරයා අවමානයට පත් කිරීමක් වෙයි.
4ගොයම් පාගන කල, ගවයාගේ කට නො බඳින්න.
5සහෝදරයින් එකට වාසය කරන කල ඔවුන්ගෙන් කෙනකු, පුතකු නැතිව මිය ගියහොත්, ඔහුගේ බිරිඳ පවුලෙන් පිට කෙනකු හා විවාහ නො විය යුතුයි. ඇගේ සැමියාගේ සොහොයුරා ඇය වෙත ගොස්, ඇය ආවාහ කර ගෙන, සැමියාගේ සහෝදරයකුගේ යුතුකම ඇයට ඉටු කළ යුතු ය. 6ඇයට උපදින පළමු පුත්‍රයා, මිය ගිය සොහොයුරාගේ නම දැරිය යුත්තේ, ඔහුගේ නම, ඉශ්‍රායෙල් පෙළපත් වෙතින් මැකී නො යන පිණිස ය.
7එහෙත් ඒ මිනිසා, තම සහෝදරයාගේ බිරිඳ ආවාහ කර ගන්නට කැමති නො වී නම්, ඈ නගර දොරටුව#25:7 නගර දොරටුව එනම් නගර දොරටු ප්‍රජා පොළ පසෙක වැඩිහිටියන් වෙත ගොස්, “ඉශ්‍රායෙල්හි තම සහෝදරයාගේ නාමය ගෙන යෑම මගේ සැමියාගේ සහෝදරයා ප්‍රතික්ෂේප කරයි. සැමියාගේ සහෝදරයකුගේ යුතුකම ඔහු මට ඉටු කරන්නේ නැතැ” යි කිය යුතු ය. 8එවිට ඔහුගේ නගර වැඩිහිටියෝ ඔහු කැඳවා, ඔහු හා කතා කරත්වා. “ඇය ආවාහ කර ගන්නට මට ඕනෑ නැතැ” යි කියමින්, ඔහු තම මතයේ ම එල්බ සිටී නම්, 9ඔහුගේ සහෝදරයාගේ බිරිඳ වැඩිහිටියන් ඉදිරිපිට ඔහු වෙත ගොස්, ඔහුගේ මිරිවැඩියක් ගලවා, ඔහුගේ මුහුණට කෙළ ගසා, “තම සහෝදරයාගේ පෙළපත් නාමය ගොඩ නගන්නේ නැති මිනිසාට කරන්නේ මෙලෙස යැ” යි කිය යුතු ය. 10ඉශ්‍රායෙල්වරුන් අතරේ ඔහුගේ පෙළපත ඉන්පසු හඳුන්වනු ලබන්නේ සෙරෙප්පුව ගැලවූ තැනැත්තාගේ පවුල යනුවෙනි.
11මිනිසුන් දෙදෙනකු සටන් කරන කල, පහර දෙන්නාගෙන් තම සැමියා බේරා ගැනීමට එන ඉන් එක් අයකුගේ බිරිඳ, තම අත දිගු කොට, අනෙක් තැනැත්තාගේ රහසඟින් ඇල්ලුවහොත්, 12ඔබ ඇගේ අත කපා දැමිය යුතු ය. ඇයට අනුකම්පා නො කරන්න.
13කිරුම් සඳහා බරින් අඩු සහ වැඩි යන වශයෙන් වෙනස් කිරුම් පඩි දෙකක් ඔබගේ මල්ලේ නො තබා ගත යුතු ය. 14ලොකු සහ කුඩා යන වශයෙන් වෙනස් මිනුම් දෙකක් ඔබේ නිවසේ නො තබා ගන්න. 15ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශයේ ඔබට දිගු කල් විසිය හැකි වන පිණිස, නිවැරදි නියම කිරුම්, මිනුම් ඔබ වෙත තිබිය යුතු ය. 16මන්ද වංචා සහගත ව එවැනි දෑ කරන අය ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට පිළිකුලකි.
17ඔබ ඊජිප්තුවෙන් පිට වී එන අතර මගදී අමලෙක්වරුන් කළ දේ සිහි කරන්න. 18ඔබ වෙහෙසී, තෙහෙට්ටුව ගමන් ගනිද්දී, ඔබ හමුවට ආ ඔවුහු, ගාටමින් පසුපසින් ආ සියල්ලන්ට පහර දුන්හ. දේව භයක් ඔවුනට තිබුණේ නැත. 19උරුමයක් කොට හිමි කර ගන්නට ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශයෙහි ඔබ වටා සිටින සියලු සතුරන්ගෙන් උන්වහන්සේ ඔබට විවේකය දුන් කල, අමලෙක් පිළිබඳ මතකය අහස යටින් ඔබ මකා දැමිය යුතු ය. එය අමතක නො කරන්න.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in