ද්විතීය 26
26
ප්රථම පල හා දසයෙන් කොටස්
1ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට උරුමයක් කර දෙන දේශයට ඇතුල් ව, ඔබ එය අත්පත් කර ගෙන, එහි පදිංචි වූ කල, 2ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශයේ පොළොවෙන් ඔබ උපදවා ගත් මුළු නිපැයුමෙන් ප්රථම පලවලින් කොටසක් ගෙන, ඒවා කූඩයක දමා, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ස්වකීය නාමය වාසය සඳහා තෝරා ගන්නා ස්ථානයට යන්න. 3ගොස්, එකලට නිලලත් පූජකයා අමතා, “අපට දෙන්නෙමැයි ස්වාමින්වහන්සේ අපේ පියවරුන්ට දිවුරූ දේශයට මා පැමිණි වග ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට මම අද ප්රකාශ කරමි” යි කියන්න. 4පූජකයා ඔබේ අතින් කූඩය ගෙන, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ පූජාසනය ඉදිරියෙන් එය තැබිය යුතු ය. 5ඉන්පසු, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඉදිරිපිට ඔබ මෙසේ ප්රකාශ කළ යුතු ය. “මගේ පියා, අතරමං ව සිට අරාම් ජාතිකයෙකි. ස්වල්ප දෙනකු සමඟ ඊජිප්තුවට ගිය ඔහු, එහි වාසය කරමින්, මහා ජාතියක් බවට පත් වූයේ, බලවත් ව, ගණනින් ද විශාල ව ය. 6එහෙත් ඊජිප්තුවරු අප පිට බර වැඩ පටවමින්, අපට අයුතු ලෙස සලකා, අප පීඩාවට පත් කළහ. 7එවිට අපි, අපේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට මොර ගැසුවෙමු. ස්වාමින්වහන්සේ අපේ යැදුම් හඬ අසා, අපේ දුඃඛිතභාවයත්, වෙහෙසත්, පීඩාවත් දුටු සේක. 8එබැවින් ස්වාමින්වහන්සේ බලවත් හස්තයකින් හා දිගු කළ බාහුවෙන් ද මහ භයංකර ක්රියාවලින්, හාස්කම් ලකුණු හා පුදුමවලින් ද යුතු ව ඊජිප්තුවෙන් පිටතට අප ගෙනා සේක. 9මේ ස්ථානයට අප ගෙන ආ උන්වහන්සේ කිරි හා පැණි ගලා යන දේශයක් වන මේ දේශය, අපට දුන් සේක. 10දැන් මෙන්න! ස්වාමින්වහන්ස, ඔබ මට දුන් භූමියේ ප්රථම පල, මම ඔබ වෙත ගෙනාවෙමි” යි කිව යුතු ය. ඉන්පසු, කූඩය ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අබියස තබා, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට නමස්කාර කරන්න. 11ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබටත්, ඔබේ නිවැසියන්ටත් දී ඇති සියලු යහ දෑහි දී ඔබත්, ලෙවීවරුනුත්, ඔබ අතරේ වෙසෙන ආගන්තුකයනුත් ප්රීති ප්රමෝද වෙත්වා.
12දසයෙන් කොටස්-වසර වන තුන් වන වසරේ ඔබේ අස්වැන්නෙන් දහයෙන් කොටස් වෙන් කළ පසු, ලෙවීවරුන් ද ආගන්තුකයන් ද පියා නැති අනාථයින් ද වැන්දඹු කාන්තාවන් ද එයින් අනුභව කොට, සෑහීමට පත් වන පිණිස, ඒවා ඔවුන්ට දෙන්න. 13ඉන්පසු ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අමතා, “ඔබවහන්සේ අණ කළ සියල්ල පරිදි, මම මගේ නිවසින් ශුද්ධ කොටස් ඉවත් කොට, ඒවා ලෙවීයයාටත්, ආගන්තුකයාටත්, පියා නැත්තාටත්, වැන්දඹුවටත් දුනිමි. මා ඔබේ ආඥාවලින් ඉවත හැරුණේ නැත. ඉන් එකක් හෝ අමතක කළේ නැත. 14මා ශෝක වන අතරේ ඒ ශුද්ධ කොටසින් කිසිවක් හෝ අනුභව කළේ නැත. මා අපවිත්ර ව සිටියදී ඉන් කිසිවක් ඉවත් කළේ නැත. මළවුන්ට ඉන් කිසිවක් ඔප්පු කළේ නැත. මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට මම කීකරු වුණෙමි. ඔබ මට අණ කළ සියල්ල මම ඉටු කළෙමි. 15ඔබවහන්සේගේ ශුද්ධස්ථානය වන ස්වර්ගයේ සිට පහළ බලා, ඔබේ ජනයා වන ඉශ්රායෙල්ටත්, අපේ පියවරුනට ඔබ දිවුරා පොරොන්දු වූ පරිදි, ඔබ අපට දුන් දේශය වන කිරි හා පැණි ගලා යන මේ දේශයටත්, ආශිර්වාද කළ මැනව” යි ප්රකාශ කරන්න.
ස්වාමින්වහන්සේගේ ආඥා පිළිපදින්න
16මෙම නියෝග සහ නියමයන් පිළිපදින්නට ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අද දවසේ ඔබට අණ කරන සේක. ඔබේ මුළු හදින් ද ඔබේ මුළු ජීවයෙන් ද ඒවා පිළිපැදීමට වග බලා ගන්න. 17ස්වාමින්වහන්සේ ඔබේ දෙවියන්වහන්සේ වගත්, උන්වහන්සේගේ මාර්ගයන්හි ඔබ ගමන් කරන වගත්, උන්වහන්සේගේ නියෝග, උන්වහන්සේගේ ආඥා හා නියමයන් ඔබ පිළිපදින වගත්, උන්වහන්සේගේ හඬට කීකරු වන වගත් අද දවසේ ඔබ ප්රකාශ කළේ ය. 18තමන්වහන්සේ පොරොන්දු වූ පරිදි ඔබ උන්වහන්සේට අනගි වස්තුවක් වූ තමන්ගේ ම ජනයා වගත්, උන්වහන්සේගේ සියලු ආඥා ඔබ පිළිපැදිය යුතු වගත්, ස්වාමින්වහන්සේ අද දවසේ ප්රකාශ කළ සේක. 19තමන්වහන්සේ මැවූ අන් සියලු ජාතීන්ට වඩා ඔබ, ප්රශංසාවෙන් ද කීර්තියෙන් ද තේජසින් ද ඉහළින් පිහිටු වන වග සහ උන්වහන්සේ පොරොන්දු වූ පරිදි ඔබ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ශුද්ධ වූ ජනතාවක් වග උන්වහන්සේ ප්රකාශ කළ සේක.
Currently Selected:
ද්විතීය 26: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.