YouVersion Logo
Search Icon

කොලොස්සි 3

3
අලුත් ස්වභාවය
1එබැවින්, ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඔබත් නැගිටුවා ඇති බැවින්, දෙවියන්වහන්සේගේ දකුණු පස ක්‍රිස්තුස්වහන්සේ හිඳ සිටින තැන ඇති උසස් දෑ සොයන්න. 2පොළොව පිට ඇති දෑ මත නො ව, උසස් තැන්හි ඇති දෑ මත ඔබගේ සිත් රඳවන්න. 3මන්ද ඔබ මැරුණු බැවින්, ඔබගේ ජීවිතය ක්‍රිස්තුස්වහන්සේ සමඟ දෙවියන්වහන්සේ තුළ සඟවා ඇත. 4ඔබගේ ජීවනය වූ ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ වන කල, උන්වහන්සේ සමඟ ඔබත් තේජසින් යුතු ව ප්‍රකාශ වනු ඇත.
5එබැවින් ලිංගික අනාචාරය ද අපවිත්‍රකම ද කාම තෘෂ්ණා ද විකෘති ආශා ද රූප වැඳීම වන තණ්හාව ද යන ඔබේ භූමික වූ දෑ නසාලන්න. 6මේ දෑ නිසා අකීකරුකමේ පුත්‍රයන් පිට දේව උදහස පැමිණේ. 7කලින් ඔබත් ඒවා තුළ දිවි ගෙව්වේ, එම දෑහි ගැලෙමිනි. 8එහෙත් දැන්: කෝපය, වියරුව, ද්වේෂය, අවලාද-අපහාස හා ඔබගේ මුඛයෙන් අසභ්‍ය කතා යන ඒ හැම දෑ දුරු කළ යුතු ය. 9එකිනෙකාට බොරු නො කියන්න. මන්ද ඔබගේ පැරණි ස්වභාව එහි ක්‍රියා කලාපය සමඟ ඉවත ලූ ඔබ, 10අලුත් ස්වභාවය පැලඳගෙන ඇත. එම ස්වභාවය, එහි මැවුම්කරුවාණන්ගේ ස්වරූපයට අනුව දැනගැන්මෙන් අලුත් කෙරේ. 11මෙහි ග්‍රීක-යුදෙව් කියා හෝ චර්මඡේද වූ-නො වූ කියා හෝ ම්ලේච්ඡ, අශිෂ්ට, වහල් හෝ නිවහල් කියා හෝ භේදයක් නැත. එහෙත් ක්‍රිස්තුස්වහන්සේ සියල්ල ය; සියල්ලන් තුළ ය.
12එබැවින්, දෙවියන්වහන්සේ තෝරාගත් ශුද්ධ වූත්, ප්‍රේමණීය වූත් ජනයා වන ඔබ, අනුකම්පාව ද කරුණාව ද නිහතමානීත්වය ද මොළොක් ගුණය ද ඉවසිලිවන්තකම ද පැලඳ ගන්න. 13එකිනෙකා ගැන ඉවසීමෙන් කටයුතු කරන්න; යම් කෙනකුට එරෙහිව තවත් කෙනකුට යම් පැමිණිල්ලක් ඇතත්, එකිනෙකාට සමාව දෙමින්, ස්වාමින්වහන්සේ ඔබට කමා කළ අයුරින් ඔබත් කමා වන්න. 14මේ සියලු දෑ පිරිපුන් එකමුතුවකින් එකට බඳවන ප්‍රේමය, ඒ සියල්ලට ඉහළින් පැලඳ ගන්න.
15එක ම සිරුරක් තුළ ඔබ කැඳවනු ලැබ ඇත්තේ සාමයට බැවින්, ක්‍රිස්තුස්වහන්සේගේ සාමය ඔබ හදවත්හි රජකම් කෙරේවා! ස්තූතිවන්ත ව ද සිටින්න. 16ක්‍රිස්තුස්වහන්සේගේ වචනය සියලු ප්‍රඥාවෙන් යුතු ව ඉසුරුමත් ව ඔබ තුළ වාසය කෙරේවා! ගීතාවලී කාව්‍ය, ගීතිකා හා ආත්මික ගී තුළින් ඔබ එකිනෙකාට උගන්වමින් හා ගුරුහරුකම් දෙමින් දෙවියන්වහන්සේට ස්තුති පිරි හදවතින් යුතු ව ගායනා කරන්න. 17කතාවෙන් හෝ ක්‍රියාවෙන් හෝ ඔබ කරන කවර දේ වුව, යේසුස් ස්වාමින්වහන්සේගේ නාමයෙන්, උන්වහන්සේ තුළින් පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේට තුති පුදමින් කරන්න.
කිතුනු පවුලේ සාමාජිකයින්ට අවවාද
18භාර්යාවනි, ස්වාමින්වහන්සේ තුළ ඔබින පරිදි ඔබගේ පුරුෂයනට යටත් වන්න.
19පුරුෂයිනි, ඔබගේ භාර්යාවනට ප්‍රේම කරන්න; ඔවුනට රළු-පරුෂ නො වන්න.
20දරුවනි, සියල්ලේදී ඔබේ මව් පියනට කීකරු වන්න. මන්ද එය ස්වාමින්වහන්සේ ප්‍රසන්න කරවයි.
21පියවරුනි, ඔබේ දරුවන් කෝප නො කරන්න. කළහොත් ඔවුන් කලකිරෙනු ඇත.
22දාසයිනි, සියල්ලේදී ඔබේ භූමික හාම්පුතුනට කීකරු වන්න. ඔවුන් ඔබ දෙස ඇස ගසා සිටියදී පමණක් ඔවුන්ගේ සිත් දිනාගනු පිණිස නො ව, අවංක හදවතින් ද ස්වාමින්වහන්සේට ගෞරව භය දැක්වීමක් වශයෙන් ද එසේ කරන්න. 23කරන කවර කටයුත්තක් වුව, මිනිසුනට නො ව ස්වාමින්වහන්සේට කරන මෙහෙයකැයි සලකා සිතේ මුළු කැමැත්තෙන් එහි නිරත විය යුත්තේ, 24ත්‍යාගයක් වන උරුමයක් ස්වාමින්වහන්සේ වෙතින් ඔබට ලැබෙන වග ඔබ දන්නා බැවිනි. ඔබ සේවය කරන්නේ ක්‍රිස්තුස් නම් ස්වාමියාණන්ට ය. 25වරද කරන කවරකු වුව ද, ඔහුගේ වරදට පලවිපාකය ලබනු ඇත. තරාතිරම් සැලකීමක් නැත.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in