YouVersion Logo
Search Icon

කොලොස්සි 2

2
1ඔබ ද ලවොදිකයෙහි සිටින්නවුන් ද පෞද්ගලික ව මා මුණ නො ගැසුණු සැවොම ද උදෙසා මා කොතරම් පරිශ්‍රමයක් දරනවාදැයි ඔබ දැන ගන්නවාට කැමතියි. 2මගේ බලාපොරොත්තුව ඔවුන් හදවතින් දිරිගැන්වී, ප්‍රේමයෙන් එකට බැඳී, සම්පූර්ණ අවබෝධයේ උපරිම සමෘද්ධිය අත්කර ගැනීමයි. එවිට දෙවියන්වහන්සේගේ අබිරහස ඔවුන්ට දැනගත හැකි වෙයි. ඒ අබිරහස, ක්‍රිස්තුස්වහන්සේ ය. 3ප්‍රඥාවෙත්, අවබෝධයේත් සමස්ත ධන සම්භාරය ම ගබඩා කොට ඇත්තේ උන්වහන්සේ තුළ ය. 4මා මෙසේ කියන්නේ කිසිවකුගේ හෝ සියුම් චාටු තර්කවලින් ඔබ මුළා නො වන පිණිස ය. 5ගතින් මම ඔබ හමුවේ නැති නමුදු, ආත්මයෙන් ඔබ සමඟ සිටිමින්, ඔබගේ විනය හා ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇති ඔබගේ ඇදහිල්ලේ ස්ථිරකම දැක ප්‍රීති වෙමි.
ක්‍රිස්තුස්වහන්සේ තුළ ආත්මික පූර්ණත්වය
6එබැවින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ස්වාමියාණන් වශයෙන් පිළිගත් ලෙස ම උන්වහන්සේ තුළ ජීවත් වන්න; 7උන්වහන්සේ තුළ මුල් ඇද, ගොඩ නගනු ලැබ, ඔබට ඉගැන් වූ පරිදි ඇදහිල්ලේ සවිමත් ව සිට, බෙහෙවින් තුති දෙමින් එසේ කරන්න.
8ක්‍රිස්තුස්වහන්සේ මත පදනම් නො වී, මානව සම්ප්‍රදායයන්ට හා මේ ලෝකයේ යක්ෂාත්ම බලවේගවලට අනුව වූ දර්ශනවාද හා හිස් රැවිටිලිවලින් ඔබ වහල් කොට ගන්නට කිසිවකුට ඉඩ නො දෙන්න.
9මන්ද උන්වහන්සේ තුළ පූර්ණ දේවත්වය මුළුමනින් ශරීරාකාරයෙන් වාසය කරයි. 10හැම පාලනයකට හා ආධිපත්‍යයකට ඉහළින් හිස ව සිටින ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔබත් පූර්ණත්වය ලැබ සිටිති. 11උන්වහන්සේ තුළ ඔබත් චර්මඡේද කරනු ලැබ ඇත. මිනිස් අතින් සිදු වූ චර්ම-ඡේදනයක් නො වන එය, ඔබේ මාංසික ශරීරය පහකරමින්, ක්‍රිස්තුස්වහන්සේ විසින් කරන ලද චර්ම-ඡේදනයකි. 12බව්තීස්මයේදී ඔබත් උන්වහන්සේ සමඟ වළලනු ලැබ, උන්වහන්සේ මළවුන්ගෙන් නැගිට වූ දෙවියන්වහන්සේගේ ක්‍රියාකාරී බලය කෙරේ ඇති ඔබගේ ඇදහිල්ලෙන් උන්වහන්සේ සමඟ යළි ජීවනයට නැගිටුවනු ලැබ සිටිති.
13ඔබගේ වරද හේතු කොට හා චර්මඡේද්‍ය නො වූ මාංසයේ සිටීම හේතු කොට ඔබ මැරී සිටියදී දෙවියන්වහන්සේ ඔබ ක්‍රිස්තුස්වහන්සේ සමඟ ජීවනයට පැමිණ වූ සේක. අපගේ හැම පාපයකට ම උන්වහන්සේ අපට සමාව දුන්නේ, 14අපට එදිරි ව, අපට විරුද්ධ ව නැගී තිබූ චෝදනා පත්‍රය, එහි නියෝග සමඟ කටුගා දැමීමෙනි. එය කුරුසියට තබා ඇණ ගැසීමෙන්, උන්වහන්සේ එය ඉවත් කළ සේක. 15උන්වහන්සේ, බලධාරීන් හා අධිපතීන් නිරායුධ කොට, කුරුසිය කරණකොටගෙන උන් පරදා ජය ගෙන, ප්‍රසිද්ධියේ ඔවුන් අවමානයට පත් කළ සේක.
මිනිස් නියෝගවලින් නිදහස
16එබැවින් ඔබ ගන්නා ආහාර හා පාන ගැන හෝ මංගල්‍ය උත්සවයක් ගැන හෝ නව සඳ දවසක් ගැන හෝ සබත් දවසක් ගැන ඔබ විනිශ්චය කරන්නට කිසිවකුටත් ඉඩ නො දෙන්න. 17ඒවා පැමිණෙන්නට තිබූ දේවල ඡායාවක් පමණි; යථාර්ථය ක්‍රිස්තුස්වහන්සේ ය. 18ඔබට හිමි ත්‍යාගයට ඔබ නුසුදුස්සකු කිරීමට ව්‍යාජ යටහත්කමට හා දේව දූත නමස්කාරයට කැමති කිසිවකුට ඉඩ නො දෙන්න. තමන් දුටු දර්ශන ගැන පුරසාරම් දොඩමින්, තම මාංසික සිත් පුහු සංකල්පනාවලින් පුරවා ගෙන, උදාරම් වන 19ඔවුහු හිසට සම්බන්ධ නො වී සිටිති. මුළු සිරුර සන්ධි හා අස්ථි බැමි මගින් පෝෂණය කර, එකට බද්ධ කොට දෙවියන්වහන්සේගෙන් වූ වර්ධනයෙන් වර්ධනය වන්නට සලස්වන්නේ එම හිස ය.
20ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඔබ මරණයට පත්වීමෙන්, ලෝකයේ යක්ෂාත්ම බලවේග වෙතින් වෙන් වුණි නම් තවමත් ලෝකයේ ජීවත් වන්නා සේ එහි නියෝගවලට ඔබ යටත් වන්නේ මන්ද: 21“මේවාට අත නො ගසනු! මේවා රස නො බලනු! මේවා ස්පර්ශ නො කරනු!” යන 22ඒ සියල්ල මිනිස් නියෝග හා ඉගැන්වීම් මත බිහි වූ ඒවා බැවින්, භාවිතයෙන් අභාවයට යෑමට නියමිත ය. 23තමන් ම සකස් කර ගත් නමස්කාර පිළිවෙත් මගින් ද පුහු යටහත්කමින් ද සිරුරට වධ දීමෙන් ද සැදුම් ලත් එම ශික්ෂා-නියෝග පෙනුමට නැණවත් වුව ද, සැබවින් ම මාංසික තෘෂ්ණා මැඩලීමේ කිසි වටිනාකමක් ඒවායේ නැත.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in