YouVersion Logo
Search Icon

2 තෙසලෝනික 3

3
යැදුමට කරුණු
1අවසන් වශයෙන් සහෝදරයිනි, ස්වාමින්වහන්සේගේ වචනය ඔබ අතරේ මෙන් සීඝ්‍රයෙන් පැතිරෙනු සඳහාත්, ගෞරවයට පාත්‍ර වනු සඳහාත් අප උදෙසා යාච්ඤා කරන්න. 2දුෂ්ට, නපුරු මිනිසුන්ගෙන් අප මුදනු සඳහාත් යාච්ඤා කරන්න. මන්ද හැම කෙනකුට ම ඇදහිල්ල නැත. 3එහෙත් ස්වාමින්වහන්සේ විශ්වාසවන්ත ව සිටින සේක. උන්වහන්සේ ඔබ ශක්තිමත් කර, නපුරාගෙන් ඔබ ආරක්ෂා කරන සේක. 4අප ඔබට අණ කළ දෑ ඔබ ඉටු කරන බවටත්, දිගට ම එසේ කර ගෙන යන බවටත් ඔබ ගැන ස්වාමින්වහන්සේ තුළ අපට විශ්වාසය තිබේ. 5දෙවියන්වහන්සේගේ ප්‍රේමයටත්, ක්‍රිස්තුස්වහන්සේගේ ස්ථිරත්වයටත් ස්වාමින්වහන්සේ ඔබ හදවත් යොමු කරන සේක්වා!
අලසයින් ගැන
6සහෝදරයිනි, අප ඔබට බාර දුන් ඉගැන්වීම්වලට අනුව නො පවතින, අලස-නො හික්මුණු සහෝදරයින් හැමගෙන් ඈත්වන මෙන් යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගේ නාමයෙන් අපි ඔබට අණ කරන්නෙමු. 7ඔබ අපගේ ආදර්ශය අනුගමන කළ යුත්තේ කෙසේදැයි ඔබ හොඳින් දන්නහු ය. ඔබ හා සිටියදී අප අලස ව සිටියේ නැත. 8නොමිලයේ අනෙකකුගෙන් අහර ගත්තේ ද නැත. අනෙක් අතට, ඔබ කිසිවකුටත් අප බරක් නො වන පිණිස දිවා රෑ දෙක්හි වෙහෙස ව, මහන්සි ව වැඩ කළෙමු. 9එසේ කළේ, එවන් උදවු ලැබීමේ අයිතිය අපට නො තිබූ නිසා නො ව ඔබට අනුගමන කිරීමට අප ම ආදර්ශයක් වන පිණිස ය. 10මන්ද: “වැඩ කරන්නට අකැමැත්තෝ අහර අනුභව නො කරත්වා!” යන නියෝගයක් ද අපි ඔබ හා සිටියදී දුන්නෙමු.
11ඔබ අතරේ ඇතමුන් අලස ව නො හික්මුණු අයුරින් හැසිරෙන වග අපට අසන්නට ලැබේ. ඔවුහු කිසි වැඩක නො යෙදෙති; අනුන්ගේ වැඩට ඇඟිලි ගසති. 12සන්සුන් ලෙස කිසියම් වැඩක යෙදී තම ජීවිකාව සඳහා තමන් ම උපයා ගන්නා ලෙස, යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ තුළ අපි එවැන්නන්ට අණ කරමින් ධෛර්යය දෙන්නෙමු. 13සහෝදරවරුනි, යහපත් දේ කිරීමෙහි කිසි විටෙක පසුබට නො වන්න.
14මෙම ලිපියෙන් අප දෙන උපදෙස්වලට යමකු කීකරු වන්නේ නැති නම්, එවන් තැනැත්තේ හඳුනාගෙන, ඔහු ලජ්ජාවට පත් වන පිණිස, ඔහු හා ඇසුරින් ඈත් වන්න. 15එහෙත් ඔහු සතුරකු සේ නො සලකන්න. සහෝදරයකු සේ ඔහුට අවවාද කරන්න.
අවසන් පැතුම
16සාමයේ ස්වාමින්වහන්සේ ම හැම කල, හැම අයුරු ඔබට සාමය සලසන සේක්වා! ස්වාමින්වහන්සේ ඔබ සියල්ලන් සමඟ වන සේක්වා!
17පාවුල් වන මම මගේ ම අත් අකුරින් මෙසේ ඔබට ආචාර කරමි. මගේ හැම ලිපියක ම විශේෂ ලක්ෂණය මෙයයි; ඒ මා ලියන හැටියි.
18යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ඔබ හැම සමඟින් වේවා!

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

Video for 2 තෙසලෝනික 3