YouVersion Logo
Search Icon

2 රාජාවලිය 1

1
අහසියාගේ විනිශ්චය
1ආහාබ්ගේ මරණයෙන් පසු, මෝවබ් ඉශ්‍රායෙල්ට එරෙහිව කැරලි ගැසී ය. 2මේ අතර අහසියා, සමාරියේ තම උඩු මහල් මැදුරේ ගරාදි අතරෙන් වැටී, තුවාල ලැබී ය. එබැවින් ඔහු පණිවුඩකරුවන් යවමින්, ඔවුන් අමතා, “යන්න, මේ තුවාලවලින් මට සුවය ලැබේදැයි එක්‍රෝන්හි දෙවියා වූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්නැ” යි පැවසී ය.
3එහෙත් ස්වාමින්වහන්සේගේ දූතයා තිෂ්බීය එලියා අමතමින්, “යන්න, සමාරියේ රජුගේ පණිවුඩකරුවන් හමුවට ගොස්, ඔවුන්ගෙන් මෙසේ අහන්න: ‘එක්‍රෝන් දෙවියා වූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්නට නුඹලා යන්නේ ඉශ්‍රායෙල්හි දෙවියන්වහන්සේ කෙනකු නැති නිසා ද?’ 4එබැවින් ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘වැතිරී සිටින යහනෙන් ඔබ බසින්නේ නැත. සැබවින් ම ඔබ මිය යනු ඇතැ’ යි” පැවසී ය. එවිට එලියා පිටත් ව ගියේ ය.
5පණිවුඩකරුවන් ආපසු හැරී රජු වෙත ගිය කල ඔහු, “ඔබ ආපසු හැරී ආවේ ඇයි දැ?” යි ඇසී ය.
6ඔවුහු පිළිතුරු දෙමින්, “අප මුණගැසෙන්නට මනුෂ්‍යයෙක් ආවා. ඔහු අප අමතා, ‘ඔබ එවූ රජු වෙත ආපසු ගොස්, ඔහුට මෙසේ කියන්න: “ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: එක්‍රෝන්හි දෙවියා වූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්ට ඔබ මිනිසුන් යවන්නේ ඉශ්‍රායෙල්හි දෙවියන්වහන්සේ කෙනකු නැති නිසා ද? එබැවින් වැතිරී සිටින යහනෙන් ඔබ බැස යන්නේ නැත. සැබවින් ම ඔබ මිය යනු ඇතැ” යි’ කීවා යි” පැවසූහ.
7රජු ඔවුන් අමතමින්, “ඔබ මුණ ගැසී, මේ දෑ පැවසූ මනුෂ්‍යයා කොහොම කෙනෙක් දැ?” යි ඇසී ය.
8ඔවුහු පිළිතුරු දෙමින්, “ඔහු ලෝම වස්ත්‍රයක් හැඳ, සම් පටියක් ඉඟ බැඳ සිටියේ යැ” යි කීහ.
“ඒ තිෂ්බීය එලියා යැ” යි රජු පැවසී ය.
9එවිට ඔහු පනසකගේ සෙන්පතියකු ඔහුගේ පනසක සේනාංකය සමඟ එලියා වෙත යැවී ය. සෙන්පති කඳු මුඳුනේ හිඳ සිටි එලියා වෙත ගොස්, ඔහු අමතා, “දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ‘පහළට බැස එන්න’ කියා රජු කියන්නේ යැ” යි කීවේ ය.
10එලියා සෙන්පතිට පිළිතුරු දෙමින්, “මා දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයකු නම්, අහසින් ගිනි බැස ඔබත්, ඔබේ මිනිසුන් පනස්දෙනාත් දවා දමාවා” යි පැවසී ය. එවිට අහසින් ගිනි බැස, සෙන්පති හා ඔහුගේ මිනිසුන් දවාලී ය.
11එවිට රජු තවත් පනසකගේ සෙන්පතියකු ඔහුගේ පනසක සේනාංකය සමඟ එලියා වෙත යැවී ය. සෙන්පති ඔහු අමතා, “දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ‘වහා පහළට බැස එන්න’ කියා රජු කියන්නේ යැ” යි කීවේ ය.
12එලියා පිළිතුරු දෙමින්, “මා දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයකු නම්, අහසින් ගිනි බැස ඔබත්, ඔබේ මිනිසුන් පනස්දෙනාත් දවා දමාවා” යි පැවසී ය. එවිට දෙවියන්වහන්සේගේ ගින්න අහසින් වැටී ඔහුත්, ඔහුගේ පනස්දෙනාත් දවා දැමී ය.
13එබැවින් රජු තුන් වන පනසකගේ සෙන්පතියකු ඔහුගේ පනසක සේනාංකය සමඟ යැවී ය. මේ තුන්වැනි සෙන්පති ගොස්, එලියා ඉදිරියේ දණින් වැටී, යදිමින්, “දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, අනේ මගේ ජීවිතයත්, ඔබගේ සේවකයින් වන මේ පනස්දෙනාගේ ජීවිතත් සැලකුව මැනව. 14බලන්න, අහසින් ගිනි වැටී, පළමු සෙන්පතීන් දෙදෙනා හා ඔවුන්ගේ මිනිසුන් සියලු දෙනාත් දවාලී ය. එහෙත් දැන් මගේ ජීවිතය ඔබට අනගි ව පෙනේවා!” යි ඉල්ලී ය.
15එවිට ස්වාමින්වහන්සේගේ දූතයා එලියාට කතා කොට, “ඔහු සමඟ යන්න; ඔහු ගැන භය නො වන්නැ” යි පැවසී ය. එබැවින් එලියා නැගිට, ඔහු සමඟ රජු වෙත ගියේ ය.
16ඔහු රජු අමතා, “ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ඔබ එක්‍රෝන්හි දෙවියා වූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්නට සේවකයින් යැව්වේ, ඉශ්‍රායෙල්හි උන්වහන්සේගේ වචනයෙන් විචාරන්නට දෙවියන්වහන්සේ කෙනකු නැති නිසා ද? ඔබ මේ දේ කළ බැවින් වැතිරී සිටින යහනෙන් ඔබ බසින්නේ නැත. සැබවින් ම ඔබ මියෙනු ඇතැ” යි පැවසී ය. 17එලියා පැවසූ ස්වාමින්වහන්සේගේ වචනයට අනුව ඔහු මිය ගියේ ය.
අහසියාට පුතකු නො සිටි බැවින් යෙහෝරාම් ඔහුට පසුව රජකමට පත් වූයේ යූදාහි රජු වූ යෙහෝෂාෆාට්ගේ පුත් යෙහෝරාම්ගේ රජකම් කිරීමේ දෙවන වසරේදී ය. 18අහසියා සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ දෑ ද ඉශ්‍රායෙල්ගේ රජවරුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද?

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in