YouVersion Logo
Search Icon

1 රාජාවලිය 22

22
ආහාබ් හා යෙහෝෂාෆාට්
1අරාම් සහ ඉශ්‍රායෙල් අතර වසර තුනක් යුද්ධ නො වී ය. 2එහෙත් තුන් වන වසරේ යූදා රජු වූ යෙහෝෂාෆාට්, ඉශ්‍රායෙල් රජු බැහැ දකින්නට ගියේ ය. 3ඉශ්‍රායෙල් රජු තම නිලධාරීන් අමතමින්, “රාමොත්-ගිලියාද් අපට අයිති වග ඔබ දන්නේ නැද්ද? එහෙත් අරාම්හි රජුගෙන් එය ආපසු ගැනීමට අප කිසිවක් කර නැතැ” යි පැවසී ය.
4එබැවින් ඔහු යෙහෝෂාෆාට් අමතමින්, “රාමොත්-ගිලියාද්ට එරෙහිව යුද්ධයට යන්නට ඔබ මා සමඟ යනවා දැ?” යි ඇසී ය.
යෙහෝෂාෆාට්, ඉශ්‍රායෙල් රජුට පිළිතුරු දෙමින්, “මමත් ඔබ වගෙයි; මගේ ජනයා ඔබේ ජනයා වගෙයි; මගේ අශ්වයින් ඔබේ අශ්වයින් වාගේ යැ” යි පැවසී ය. 5තවද යෙහෝෂාෆාට් ඉශ්‍රායෙල් රජු අමතමින්, “පළමුවෙන් ස්වාමින්වහන්සේගේ වචනයෙන් විමසන්නැ” යි කීවේ ය.
6එවිට ඉශ්‍රායෙල් රජු දිවැසිවරුන් වන හාරසියයක් පමණ මිනිසුන් රැස් කර, ඔවුන් අමතා, “මා රාමොත්-ගිලියාද්ට එරෙහිව යුද්ධයට යන්න ද? නැතහොත් ඉන් වැළකී ඉන්න දැ?” යි ඇසී ය.
ඔවුහු පිළිතුරු දෙමින්, “යන්න; මන්ද ස්වාමින්වහන්සේ එය රජු අතට හසුකර දෙන සේකැ” යි කීහ.
7එහෙත් යෙහෝෂාෆාට් ඔහු අමතමින්, “අපට විමසිය හැකි ස්වාමින්වහන්සේගේ දිවැසිවරයකු මෙහි තවත් නැද්දැ?” යි ඇසී ය.
8ඉශ්‍රායෙල් රජු යෙහෝෂාෆාට් හට පිළිතුරු දෙමින්, “අපට ස්වාමින්වහන්සේගෙන් විමසිය හැකි එක් මිනිසෙක් තවමත් මෙහි සිටී. ඔහු ඉම්ලාගේ පුත් මීකායා ය; එහෙත් ඔහු නිතර ම මා ගැන නරකක් මිස, හොඳක් දිවැස් වැකියෙන් නො කියන නිසා මම ඔහුට වෛර කරමි” යි පැවසී ය.
එවිට යෙහෝෂාෆාට්, “රජු එසේ නො කියත්වා” යි කීවේ ය.
9එවිට ඉශ්‍රායෙල් රජු තම නිලධාරියකු කැඳවා, “ඉම්ලාගේ පුත් මීකායා වහාම මෙහි කැඳවා ගෙනෙන්නැ” යි පැවසී ය.
10ඉශ්‍රායෙල් රජු හා යූදා රජු වූ යෙහෝෂාෆාට් තම රාජ වස්ත්‍රයෙන් සැරසී, සමාරියේ දොරටු පිවිසුම අසල වූ කමතේ තම සිංහාසන මත අසුන් ගෙන සිටියහ. සියලු දිවැසිවරු ඔවුන් ඉදිරිපිට දිවැසි වැකි පවසමින් සිටියහ. 11කෙනානාගේ පුත් සෙදෙකියා යකඩ අං සාදා ගෙන, “ ‘ඔබ අරාම්වරුන් විනාශ වන තුරු මේවායින් ඔවුන්ට අනිනු ඇතැ’ යි ස්වාමින්වහන්සේ පවසන සේකැ” යි කීවේ ය.
12සෙසු සියලු දිවැසිවරු ද එය ම දිවැස් වැකියෙන් පවසමින්, “රාමොත්-ගිලියාද්ට පහර දී ජය ගන්න. මන්ද ස්වාමින්වහන්සේ එය රජු අතට හසුකර දෙන සේකැ” යි කීහ.
13මීකායා කැඳවාගෙන ඒමට ගිය පණිවුඩකරු ඔහු අමතා, “මේ බලන්න, දිවැසිවරුන් හැම පවසන වචන එක සමාන ව රජුට වාසිදායකයි; ඔබේ වචනය ද ඔවුන්ගේ වචනයට එකඟ ව සතුටුදායක ව පැවසීම යහපතැ” යි කීවේ ය.
14එහෙත් මීකායා පැවසුවේ, “ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, මට පැවසිය හැක්කේ ස්වාමින්වහන්සේ මට පවසන දේ පමණකි” කියා ය.
15ඔහු රජු වෙත පැමිණි කල රජු ඔහු අමතමින්, “මීකායා, අප රාමොත්-ගිලියාද්ට එරෙහිව යුද්ධයට යන්න ද? නැති නම් ඉන් වැළකී සිටින්න දැ?” යි ඇසී ය.
ඔහු පිළිතුරු දෙමින්, “ගොසින් ජය ගන්න; මන්ද ස්වාමින්වහන්සේ එය රජුගේ අත්වලට හසුකර දෙන සේකැ” යි පැවසී ය.
16එවිට රජු, “ස්වාමින්වහන්සේගේ නාමයෙන් සැබෑව මිස, වෙනකක් නො කියන ලෙසට කී වරක් මා නුඹ දිවුරවන්නට ඕනෑ දැ?” යි ඇසී ය.
17මීකායා පිළිතුරු දෙමින්, “මුළු ඉශ්‍රායෙල්, එඬේරකු නැති බැටළුවන් මෙන් කඳු පිට විසිරී සිටිනවා දැක්කෙමි; ස්වාමින්වහන්සේ පවසන්නේ, ‘මේ ජනයාට හාම්පුතෙක් නැත. එකිනෙකා තම තමාගේ ගෙදරට සාමයෙන් හැරී යේවා’ යි කියා යැ” යි කීවේ ය.
18ඉශ්‍රායෙල් රජු යෙහෝෂාෆාට් අමතා, “මා පිළිබඳව මොහු නපුරක් මිස හොඳක් දිවැස් වැකියෙන් පවසන්නේ නැති වග මා ඔබට කීවේ නැද්දැ?” යි කීවේ ය.
19මීකායා තවදුරටත් කියනුයේ, “එබැවින් ස්වාමින්වහන්සේගේ වචනයට සවන් දෙන්න: ස්වාමින්වහන්සේ ස්වකීය සිංහාසනයේ හිඳ සිටිනු ද ස්වර්ගීය සියලු සේනා උන්වහන්සේ වටා උන්වහන්සේගේ දකුණු පස හා වම් පස සිටගෙන සිටිනු ද දුටුවෙමි. 20ස්වාමින්වහන්සේ කතා කොට, ‘රාමොත්-ගිලියාද්ට ගොසින්, වැටී යන පිණිස ආහාබ් රජු පොලඹවන්නේ කවුරු දැ’ යි ඇසූ සේක.
“එවිට කෙනෙක් එකක් ද අන් කෙනෙක් තවෙකක් ද යෝජනා කළහ. 21අන්තිමේදී ආත්මයක් ඉදිරියට අවුත්, ස්වාමින්වහන්සේ අබියස සිටගෙන, ‘මම ඔහු පොලඹවන්නෙමි’ යි පැවසී ය.
22“ඒ කොහොම දැ?” යි ස්වාමින්වහන්සේ ඔහුගෙන් විමසූ කල,
“ඔහු කතා කොට, ‘මම ගොස්, ඔහුගේ සියලු දිවැසිවරුන්ගේ මුව තුළ බොරුකාර ආත්මයක් වන්නෙමි’ යි පැවසී ය.
“එවිට උන්වහන්සේ, ‘ඔබ ඔහු පොලඹවනු ඇත; යන්න, එසේ කරන්නැ’ යි පැවසූ සේක.
23“එබැවින් ඔන්න! ස්වාමින්වහන්සේ දැන් ඔබේ මේ සියලු දිවැසිවරුන්ගේ මුව තුළට බොරුකාර ආත්මයක් තබලා; ස්වාමින්වහන්සේ ඔබට විපත්තිය ප්‍රකාශයට පත් කරලා” යි පැවසී ය.
24එවිට කෙනානාගේ පුත් සෙදෙකියා නැගිට, මීකායාගේ කම්මුලට ගසා, “ස්වාමින්වහන්සේගේ ආත්මය, නුඹට කතා කරන්නට මා වෙතින් ඉවත් ව ගියේ කුමන මාර්ගයෙන් දැ?” යි ඇසී ය.
25මීකායා පිළිතුරු දෙමින්, “නුඹ සැඟවෙන්නට ඇතුල් කුටියකට යන දවසේ එය දකිනු ඇතැ” යි කීවේ ය.
26එවිට ඉශ්‍රායෙල් රජු නියෝගයක් කරමින්, “මීකායා අල්ලා, පුරයේ ආණ්ඩුකාර ආමොන් හා රජුගේ පුත් යෝවාෂ් වෙත ආපසු ගෙන යනු; 27‘මා සුරක්ෂිත ව එන තුරු මොහු සිර ගෙයි ලා තබනු; මොහුට රොටි හා වතුර මිස වෙන කිසිවක් නො දිය යුතු ය’ කියා රජු පවසතැයි ඔවුන්ට කියන්නැ” යි කීවේ ය.
28එවිට මීකායා, “ඔබ සුරක්ෂිත ව ආපසු ආවොත්, ස්වාමින්වහන්සේ මා තුළින් කතා නො කළ සේකැ” යි පැවසී ය. ඔහු නැවතත්, “සියලු ජනයෙනි, අහගන්නැ” යි ද පැවසී ය.
අහාබ් මරණයට පත්වීම
29තවද ඉශ්‍රායෙල් රජු හා යූදා රජු වූ යෙහෝෂාෆාට් රාමොත්-ගිලියාද් වෙත ගියහ. 30ඉශ්‍රායෙල් රජු, යෙහෝෂාෆාට් අමතා, “මම වෙස් වළාගෙන යුද්ධයට යන්නෙමි. එහෙත් ඔබ රාජ වස්ත්‍ර හැඳගන්නැ” යි පැවසී ය. මෙසේ ඉශ්‍රායෙල් රජු වෙස් වළා ගත්තේ ය. ඉන්පසු ඔවුහු සටනට ගියහ.
31අරාම්හි රජු තම රථාධිපතීන් තිස් දෙදෙනාට අණ දී තිබුණේ, “ඉශ්‍රායෙල් රජු සමඟ මිස, ලොකු කුඩා කිසිවකු සමඟ සටන් කළ යුතු නැත” කියා ය. 32රථාධිපතීන් යෙහෝෂාෆාට් දුටු කල, “සැබවින් ම මේ ඉන්නේ ඉශ්‍රායෙල් රජු යැ” යි සිතූහ. එබැවින් ඔවුහු ඔහුට පහර දෙන පිණිස හැරුණෝ ය. එහෙත් යෙහෝෂාෆාට් මොර ගැසූ කල, 33ඔහු ඉශ්‍රායෙල් රජු නො වන වග දුටු රථාධිපතීහු ඔහු ලුහුබැඳ යෑම නතර කළහ.
34එහෙත් කෙනෙක් අහම්බෙන් තම දුන්න තැත් කවා, ඉශ්‍රායෙල් රජුගේ සන්නාහයේ කොටස් අතරට විද්දේ ය. රජු තම රථාචාරියා අමතා, “රථය හරවාගෙන යුද්ධයෙන් පිටතට මා ගෙන යන්න. මන්ද මට තුවාල වී යැ” යි කීවේ ය. 35දවස පුරා ම යුද්ධය පැවතිණි. රජු ආධාර ඇතුව අරාම්වරුන්ට මුහුණ ලා රථයේ සිටවනු ලැබී ය. ඔහුගේ තුවාලයෙන් රථයේ පතුල දක්වා ලේ ගලා ගියේ ය. එදින සවස ඔහු මිය ගියේ ය. 36හිරු අවරට යද්දී, “හැම මිනිසකු ම තම නගරයටත්, හැම කෙනකු ම තම දේශයටත් යත්වා!” යි හමුදාව පුරා නිවේදනයක් පතළ ව ගියේ ය.
37එසේ රජු මිය ගියේ ය. ඔහු සමාරියට ගෙන එන ලදී. එහිදී ඔවුහු ඔහු භූමදාන කළහ. 38වෙසඟනන් දිය නාන සමාරියේ වූ පොකුණෙන් ඔවුහු රථය සේදූහ. එහිදී බල්ලන් ඔහුගේ ලේ ලෙව කෑවේ ස්වාමින්වහන්සේගේ වචනය ප්‍රකාශ කර තිබූ පරිද්දෙනි.
39ආහාබ් සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ සියල්ල ද ඇත්දත් ඔබ්බවා ඔහු විසින් ඉදිකරන ලද මන්දිරය හා ඔහු ගොඩ නැගූ පුරවර ද ගැන ඉශ්‍රායෙල් රජුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද? 40ආහාබ් තම පියවරුන් සමඟ සැතපුණේ ය. ඉන්පසු ඔහුගේ පුත් අහසියා, ඔහු වෙනුවට රජකමට පත් විය.
යූදාහි යෙහෝෂාෆාට් රජු
41ඉශ්‍රායෙල් රජු වූ ආහාබ්ගේ හතර වන වසරේ ආසාගේ පුත් යෙහෝෂාෆාට්, යූදාහි රජකමට පත් විය. 42යෙහෝෂාෆාට් රජකමට පත් වන කල ඔහු තිස්පස් වන වියේ පසු විය. ඔහු යෙරුසලමේ වසර විසිපහක් රජකම් කළේ ය. ඔහුගේ මවගේ නම අසූබා ය. ඇය ෂිල්හීගේ දියණියයි. 43තම පියා වූ ආසාගේ මාර්ගවල පැවතුණු ඔහු ඉන් ඉවත් වූයේ නැත; ඔහු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි හරි ව තිබූ දේ කළේ ය. එහෙත් උස් තැන් පුදසුන් ඉවත් නො කෙරිණි. ජනයා දිගට ම එහි යාග පූජා ඔප්පු කර, සුවඳ දුම් දවාලූහ. 44යෙහෝෂාෆාට්, ඉශ්‍රායෙල් රජු සමඟත් සාමයෙන් පසු විය.
45යෙහෝෂාෆාට් සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ බලවත් ක්‍රියා ද ඔහුගේ යුධ වික්‍රම ද යූදා රජුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද? 46ඔහු තම පියා වූ ආසාගේ රාජ්‍ය කාලයෙන් පසු දේවාලවල ඉතිරි ගණිකා පිරිමින් දේශයෙන් ඉවත් කළේ ය. 47එකල ඒදොම්හි රජෙක් සිටියේ නැත. පාලනය ගෙන ගියේ යුව රජෙකි.
48යෙහෝෂාෆාට් රත්රන් ගෙනෙන්නට ඕෆීර් වෙත යෑමට වෙළඳ නැව්#22:48 හෙබ්‍රෙව් තර්ෂිෂ් නැව් තැනවී ය. එහෙත් එසියොන්-ගෙබෙර්හි දී ඒවා විනාශ වූ බැවින් ඒවාට යාත්‍රා කළ නො හැකි විය. 49ඒ කාලයේ ආහාබ්ගේ පුත් අහසියා, “මගේ මිනිසුන්ට ඔබගේ මිනිසුන් සමඟ යාත්‍රා කරන්නට ඉඩ දෙන්නැ” යි යෙහෝෂාෆාට්ගෙන් ඉල්ලී ය. එහෙත් යෙහෝෂාෆාට් එය ප්‍රතික්ෂේප කළේ ය.
50යෙහෝෂාෆාට් තම පියවරුන් සමඟ සැතපුණේ ය. ඔහු තම පියවරුන් සමඟ තම පියා වූ දාවිත් පුරයේ භූමදාන කෙරිණ. ඔහුගෙන් පසු ඔහුගේ පුත් යෙහෝරාම් රජකමට පත් විය.
ඉශ්‍රායෙල්හි අහසියා රජු
51යූදා රජු වූ යෙහෝෂාෆාට්ගේ දාහත්වන වසරේ, ආහාබ්ගේ පුත් අහසියා ඉශ්‍රායෙල්හි සමාරියේ රජකමට පත් විය. ඔහු ඉශ්‍රායෙල්හි වසර දෙකක් රජකම් කළේ ය. 52ඔහු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ නපුරු ව තිබූ දේ කළේ ය. මන්ද ඔහු ගමන් කළේ, තම පියාගේ හා මවගේ අඩිපාරේ හා ඉශ්‍රායෙල්ට පව් කරන්නට සැලැස් වූ නෙබාට්ගේ පුත් යෙරොබොවම්ගේ අඩිපාරේ ය. 53ඔහු බාල් දෙවියාට මෙහෙ කරමින්, ඔහුට වැඳුම් පිදුම් කළේ ය. ඔහු තම පියා කර තිබූ පරිදි ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ කෝප ගැන්වී ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in