YouVersion Logo
Search Icon

2 රාජාවලිය 2

2
එලියා ඔසවා ගනු ලැබීම
1 ස්වාමින්වහන්සේ එලියා සුළි සුළඟකින් ස්වර්ගයට ඔසවා ගන්නට සූදානම් වූ අවස්ථාවේ එලියා හා එලීෂා ගිල්ගාල් සිට ගමන් කරමින් සිටියහ. 2එලියා, එලීෂා අමතමින්, “මෙහි නවතින්න; ස්වාමින්වහන්සේ මා බෙතෙල් වෙත යැවූ සේකැ” යි කීවේ ය.
එහෙත් එලීෂා, “ස්වාමින්වහන්සේ ජීවත් වන වගත්, ඔබ ජීවත් වන වගත් සැබෑ සේ ම, මම ඔබ අත්හැර නො යන්නෙමි” යි කීවේ ය. එබැවින් ඔවුහු බෙතෙල් වෙත ගියහ.
3බෙතෙල්හි දිවැසිවර කණ්ඩායම එලීෂා වෙත අවුත්, කතා කොට, “ස්වාමින්වහන්සේ අද ඔබේ ස්වාමියා ඔබ වෙතින් ගන්නා වග ඔබ දන්නවා දැ?” යි ඇසූහ.
“ඔව්, මම දන්නවා” යි පිළිතුරු දුන් එලීෂා, “ඒ ගැන කතා නො කරනු” යි පැවසී ය.
4ඉන්පසු එලියා යළි ඔහු අමතා, “එලීෂා මෙහි නවතින්න; ස්වාමින්වහන්සේ මා යෙරිකෝවට යැවූ සේකැ” යි පැවසී ය.
ඔහු පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ ජීවත් වන වගත්, ඔබ ජීවත් වන වගත් සැබෑ සේ ම, මම ඔබ අත්හැර නො යමි” යි පැවසී ය. එසේ ඔවුහු යෙරිකෝවට ගියහ.
5යෙරිකෝවේ දිවැසිවර කණ්ඩායම එලීෂා වෙත අවුත්, “ස්වාමින්වහන්සේ අද ඔබේ ස්වාමියා ඔබ වෙතින් ගන්නා වග ඔබ දන්නවා දැ?” යි ඇසූහ.
“ඔව්, මම දන්නවා” යි පිළිතුරු දුන් ඔහු, “ඒ ගැන කතා නො කරනු” යි පැවසී ය.
6ඉන්පසු එලියා ඔහු අමතමින්, “මෙහි නවතින්න; ස්වාමින්වහන්සේ මා යොර්දානයට යවන සේකැ” යි කී ය.
ඔහු පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේ ජීවත් වන වගත්, ඔබ ජීවත් වන වගත් සැබෑ සේ ම, මම ඔබ අත්හැර නො යන්නෙමි” යි කීවේ ය. එසේ ඔවුන් දෙදෙනා එක් ව ගමන් කළහ.
7දිවැසිවර කණ්ඩායමේ මිනිසුන් පනස් දෙනෙක් පිටත් ව අවුත්, එලියා හා එලීෂා නැවතුණු තැනට මෑතින් යොර්දාන් නදිය පසෙක සිටගත්හ. 8එලියා තම සළුව ගෙන, රවුමට අකුළා ජලයට එයින් ගැසී ය. ගං ජලය දකුණු පසටත්, වම් පසටත් බෙදී ගියේ ය. ඔවුන් දෙදෙනා දිය සිඳුණු වියළි බිමේ එතෙර වූහ.
9ඔවුන් එතෙර වූ කල, එලියා, එලීෂා අමතමින්, “ඔබ වෙතින් මා ගනු ලබන්නට පළමුවෙන්, මා ඔබ උදෙසා කළ යුත්තේ මොනවා ද කියා කියන්නැ” යි කී ය.
එලීෂා පිළිතුරු දෙමින්, “ඔබේ ආත්ම භාවය මෙන් දෙගුණයක් මට ලැබේවා” යි පැවසී ය.
10එවිට එලියා, “ඔබ ඉල්ලුවේ අමාරු දෙයක්. එහෙත් ඔබ වෙතින් මා ගන්නවා ඔබ දුටුවොත්, ඔබට එය ලැබෙයි. නැත්නම් ලැබෙන්නේ නැතැ” යි පැවසී ය.
11ඔවුන් එක් ව කතා කරමින්, ගමන් කරද්දී හදිසියේ ම ගිනි රථයක් හා ගිනි අශ්වයින් පෙනී, ඔවුන් දෙදෙනා වෙන් කෙරිණ. එලියා සුළි සුළඟකින් ස්වර්ගයට නැගී ගියේ ය. 12එලීෂා ඒ දැක මොර ගසමින්, “මගේ පියාණෙනි! මගේ පියාණෙනි! ඉශ්‍රායෙල්ගේ රථ හා අසරුවනි” යි පැවසී ය. එලීෂා තවත් ඔහු දුටුවේ නැත. එවිට ඔහු තමාගේ හැඳිවත් අල්ලා දෙකඩ කළේ ය.
13ඔහු එලියාගෙන් වැටුණු සළුව අහුලා, ආපසු ගොස්, යොර්දාන් ගං ඉවුරේ සිට ගත්තේ ය. 14ඉන්පසු එලීෂා එලියාගෙන් වැටුණු සළුව ගෙන, “එලියාගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ කොහෙදෝ?” යි කියමින් එයින් වතුරට ගැසී ය. ඔහු වතුරට ගැසූ කල, වතුර දකුණටත්, වමටත් බෙදී ගියේ ය. ඔහු එතෙර විය.
15සිද්ධිය බලා සිටි යෙරිකෝ දිවැසිවර කණ්ඩායම, “එලියාගේ ආත්ම භාවය එලීෂා මත පිහිටලා” යි කීවෝ ය. ඔවුහු ඔහු හමුවන පිණිස ගොස්, ඔහු ඉදිරියේ මුහුණු බිම ඔබා, 16කතා කරමින්, “මේ අහන්න, ඔබගේ සේවකයින් වන අපට දක්ෂ මිනිසුන් පනස් දෙනෙක් ඉන්නවා; ඔබගේ ස්වාමියා සොයා යන්නට ඔවුන්ට අවසර දෙන්න. සමහර විට ස්වාමින්වහන්සේගේ ආත්මයාණන් ඔහු ගෙන ගොස්, කන්දක් පිට හෝ මිටියාවතක හෝ ඔහු බස්සවන්නට ඇති” යි කීහ.
එලීෂා පිළිතුරු දෙමින්, “නෑ, ඔවුන් යවන්න එපා” යි පැවසී ය.
17එහෙත් එසේ ප්‍රතික්ෂේප කිරීම ඔහුට ලජ්ජා හිතෙන තරමට ම ඔවුන් ඔහුට පෙරැත්ත කළෙන්, “ඔවුන් යවන්නැ” යි ඔහු පැවසී ය. එබැවින් ඔවුහු මිනිසුන් පනස් දෙනා යැවූහ. ඔවුන් තුන් දවසක් තිස්සේ සෙවූ නමුදු, ඔහු සම්බ වූයේ නැත. 18ඔවුන් යෙරිකෝවේ නැවතී සිටි එලීෂා වෙත ආපසු ගිය කල, “යන්න එපා යැයි මම නුඹලාට කීවේ නැති දැ?” යි ඔහු ඇසී ය.
ජලය සුව කිරීම
19එපුර වාසීහු එලීෂා වෙත අවුත්, “බලන්න, අප ස්වාමිනි, ඔබට පෙනෙන හැටියට මේ නගරය පිහිටා තියෙන්නේ හොඳ තැනක. එහෙත් මෙහි වතුර හරි නැහැ; දේශය ද නිසරු යැ” යි පැවසූහ.
20එවිට ඔහු, “මට අලුත් භාජනයක් ගෙනෙන්න. ඒ තුළට ලුණු දමන්නැ” යි කී ය. එවිට ඔවුහු එය ඔහු වෙත ගෙන ආහ.
21ඉන්පසු දිය උල්පත වෙත ගිය ඔහු, ලුණු එහි හෙළා, “ ‘ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක්; මම මේ ජලය සුව කළෙමි. යළි එය මරණය ගෙනෙන්නේවත්, දේශය නිසරු කරන්නේවත් නැතැ’ යි” කීවේ ය. 22එලීෂා පැවසූ වචනයට අනුව එම ජලය අද දක්වා ම පිරිසිදු ය.
එලීෂා සරදමට ලක්වීම
23එලීෂා එතැනින් බෙතෙල් වෙත ගියේ ය. ඔහු මග දිගේ ගමන් කරමින් සිටින කල, කොලු ගැටව් කීප දෙනෙක් නගරයෙන් පිටතට අවුත්, ඔහුට සරදම් කරමින්, “උඩට නැග පලයන් තට්ටයා, උඩ ම නැග පලයන් තට්ටයා” යි කෑ ගැසූහ. 24ඔහු ආපසු හැරී, ඔවුන් දෙස බලා, ස්වාමින්වහන්සේගේ නාමයෙන් ඔවුන්ට ශාප කළේ ය. එවිට වැලහින්නියන් දෙදෙනෙක් කැලෑවෙන් පිටතට අවුත්, කොලු ගැටව් හතළිස් දෙදෙනකු ඉරා දැමූහ. 25එතැනින් ඔහු කර්මෙල් කන්ද වෙත ගොස්, එතැනින් සමාරිය වෙත ආපසු ආවේ ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in