2 ලේකම් 9
9
ෂෙබායේ රැජින
1ෂෙබායේ රැජින, සාලමොන්ගේ කීර්තිය ගැන අසා, අසීරු ප්‍රශ්නවලින් ඔහු පිරික්සන පිණිස යෙරුසලමට ආවා ය. ඇය පැමිණියේ මහ විසල් සපිරිවරක් ද ඔටුවන් පිට පැට වූ කුළු බඩු ද රත්රන් විශාල ප්‍රමාණයක් ද අනර්ඝ මැණික් ගල් ද කැටිව ය. සාලමොන් හමුවට පැමිණි ඈ, ඇගේ සිතේ තිබූ සියල්ල ඔහුට පැවසුවා ය. 2සාලමොන් ඇගේ ප්‍රශ්න සියල්ලට ම පිළිතුරු සැපයී ය. ඇයට පහදා දෙන්නට අපහසු වූ කිසිවක් සාලමොන්ට නො වී ය. 3ෂෙබායේ රැජින, සාලමොන්ගේ ප්‍රඥාව ද ඔහු ඉදිකර තිබූ මන්දිරය ද 4ඔහුගේ මේසය මත වූ ආහාර ද ඔහුගේ නිලධාරීන්ගේ අසුන් ගැනීමේ පිළිවෙළ ද ඔහුගේ මෙහෙකරුවන්ගේ මෙහෙය හා ඔවුන්ගේ නිල ඇඳුම් ද ඔහුගේ කුසලාන දරන්නන් හා ඔවුන්ගේ නිල ඇඳුම් ද ස්වාමින්වහන්සේගේ ගෘහයේදී#9:4 හෝ ස්වාමින්වහන්සේගේ ගෘහයට නගින පඩි පෙළ ඔහු ඔප්පු කළ දවන යාග පූජා ද දුටු කල, තූෂ්ණීම්භූත වූවා ය.
5ඈ රජු අමතමින්, “ඔබ ඉටු කර ඇති දෑ හා ඔබගේ ප්‍රඥාව ගැන මගේ රටේදී මා ඇසූ පුවත් සැබෑයි. 6එහෙත් මා අවුත්, මගේ ම ඇස්වලින් දකින තුරු ඒ පුවත් මා විශ්වාස කළේ නෑ. සැබවින් ම ඔබගේ ප්‍රඥාවේ ශ්‍රේෂ්ඨත්වයෙන් අඩක්වත් මට කියා නැත. ඔබගේ ශ්‍රේෂ්ඨත්වය මා අසා තිබුණාට වඩා අතිශයෙන් ඉහළ ය. 7ඔබගේ ජනයා කොපමණ භාග්‍යවත් ද! නිති පතා ඔබ අබියස සිට, ඔබේ ප්‍රඥාව අසන ඔබේ සේවකයින් කොපමණ භාග්‍යවත් ද! 8ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රශංසා වේවා! මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ ගැන ප්‍රසන්න වී, උන්වහන්සේ උදෙසා ඉශ්‍රායෙල් පාලනය කිරීමට ඔබ සිහසුන් පත් කළ බැවිනි. ඉශ්‍රායෙල්ට ඇති ඔබේ දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ සදහට ම ඔවුන් පිහිටුවාලීමට ඇති උන්වහන්සේගේ ආශාව නිසා උන්වහන්සේ යුක්තිය හා ධර්මිෂ්ඨකම පවත්වාගෙන යෑමට ඔවුන්ගේ රජ කොට ඔබ පත් කළ සේකැ” යි පැවසුවා ය.
9ඉන් අනතුරුව ඈ, රන් තලෙන්ත එකසිය විස්සක්#9:9 මෙට්‍රික් ටොන් 4ක් පමණ. ද සුවඳ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ද අනර්ඝ මැණික් ගල් ද රජුට දුන්නා ය. ෂෙබාහි රැජින සාලමොන් රජුට දුන් ඒවා හා සමාන වූ සුවඳ ද්‍රව්‍ය තවත් නො විණි.
10තවද හීරාම්ගේ සේවකයෝ සහ සාලමොන්ගේ සේවකයෝ ඕෆීර් සිට රත්රන් රැගෙන ආහ; ඔවුහු සඳුන් දැව#9:10 සඳුන් දැව එනම් අල්ගූම් ලී 11 වෙනි පදයේ ද එසේ ම ය. හා මැණික් ද රැගෙන ආහ. 11ස්වාමින්වහන්සේගේ ගෘහය හා රජ මැදුර සඳහා ආධාරක වැටවල්#9:11 වැටවල් එනම් පිය ගැට පෙළ සෑදීමටත්, සංගීතවේදීන් උදෙසා මහ වීණා හා වීණා සෑදීමටත් රජු ඒ සඳුන් දැව භාවිත කළේ ය. එවන් ඒවා ඊට කලින් කිසි කල යූදා දේශයේ දක්නට නො විණි.
12සාලමොන් රජු ෂෙබාහි රැජින ආශා කළ, ඇය ඉල්ලූ සියල්ල ඇයට දුන්නේ ය; ඇය ඔහුට ගෙනා දේවලට වඩා වැඩියෙන් ඔහු ඇයට දුන්නේ ය. ඉන්පසු ඈ තම පිරිවර සමඟ තමන්ගේ රටට ආපසු ගියා ය.
සාලමොන්ගේ වස්තුව
13අවුරුද්දකදී සාලමොන්ට ලැබුණු රන්වල බර තලෙන්ත හයසිය හැට හයකි#9:13 මෙට්‍රික් ටොන් 23ක් පමණ.. 14ඒ, වෙළඳුන් හා ගවේෂකයින් ගෙන ආ දෑට අමතරව ය. අරාබිකරයේ සියලු රජවරු ද දේශයේ ආණ්ඩුකාරවරු ද රන් හා රිදී සාලමොන් වෙත ගෙන ආහ.
15සාලමොන් රජු තැලූ රනින් මහා පලිහ දෙසියයක් සෑදී ය. ඒ හැම පලිහයක් ම තැලූ රන් ෂෙකෙල් හයසියයකින්#9:15 කිලෝග්‍රෑම් 6.9ක් පමණ. යුතු විය. 16ඔහු තැලූ රනින් කුඩා පලිහ තුන්සියයක් සෑදී ය. ඒ හැම පලිහයක් ම රන් ෂෙකෙල් තුන්සියයකින්#9:16 කිලෝග්‍රෑම් 3.5ක් පමණ. යුතු විය. රජු ඒවා ලෙබනොන් වනය නම් මැදුරේ තැබී ය.
17ඉන්පසු රජු ඇත්දත්වලින් විශිෂ්ට සිංහාසනයක් තනා, එය අමිශ්‍ර රනින් වැසී ය. 18එම සිහසුනට පඩි හයක් විය. ඊට රන් පා පුටුවක් ද සවි කර තිබිණි. ආසනයේ දෙපසේ අත් ඇඳි හා ඒ දෙපසේ සිටගත් සිංහ රූප දෙකක් විය. 19සෑම පඩියක ම දෙකෙළවර සිංහයකු බැගින් සිටගත් සිංහයින් දොළොස් දෙනකු පඩි හයෙහි විය. වෙනත් කිසි ම රාජ්‍යයක කිසි කලෙක එවැන්නක් සාදා තිබුණේ නැත. 20සාලමොන් රජුගේ පාන පාත්‍ර සියල්ල ම රනින් නිමැවී තිබිණි. ලෙබනොන් වනය නම් මැදුරේ සියලු භාජන පවිත්‍ර රනින් නිමැවී ය. කිසිවක් රිදීයෙන් සෑදුවේ නැත. සාලමොන්ගේ සමයේදී රිදී වටිනා දෙයක් ලෙස ගණන් ගැනුණේ නැත. 21මන්ද රජුගේ නැව් හූරාම්ගේ සේවකයින් සමඟ තර්ෂිෂ් බලා ගියේ ය. රන් හා රිදී ද ඇත්දත් හා වඳුරන් ද මොණරුන් ද පටවාගත් තර්ෂිෂ් නැව් හැම තුන් වසරකට ම වරක් පෙරළා ආවේ ය.
22මෙසේ සාලමොන් රජු ධනයෙන් ද ප්‍රඥාවෙන් ද මිහි පිට සියලු රජවරුන්ට වඩා ශ්‍රේෂ්ඨ ව සිටියේ ය. 23මිහි පිට සියලු රජවරු සාලමොන් බැහැදැකීමට සෙවූහ. ඒ, දෙවියන්වහන්සේ ඔහුගේ හදවතේ තබන ලද ප්‍රඥාව අසන පිණිස ය. 24වසරක් පාසා ඔවුහු එකිනෙකා රිදී හා රන් භාණ්ඩ ද සළු, යුධ-අවි හා සුවඳ ද්‍රව්‍ය ද අශ්වයින් හා කොටළුවන් ද තෑගි වශයෙන් ගෙන ආහ.
25සාලමොන්ට අශ්වයින් හා රථ සඳහා ගාල් හාරදහසක් විය. රථ-නගරවල ද යෙරුසලමෙහි තමා වෙත ද තබා ගත් අශ්වයින්#9:25 අශ්වයින් හෝ අශ්වාරෝහකයින් දොළොස් දහසක් ද ඔහුට විය. 26ඔහු ගංගාවේ#9:26 ගංගාවේ එනම් යුප්‍රටීස් සිට ඊජිප්තු දේශ සීමා ඉම තෙක් පිලිස්තිවරුන්ගේ දේශය දක්වා වූ සියලු රජුන් පාලනය කළේ ය. 27රජු යෙරුසලමෙහි රිදී ගල් මෙන් සුලබ වන්නටත්, කඳු බෑවුම්හි සිකමෝර් අත්තික්කා ගස් මෙන් දේවදාර ලී බහුල වන්නටත් සැලසී ය. 28සාලමොන් සඳහා අශ්වයින් ඊජිප්තුවෙන් ද වෙනත් හැම රටකින් ද ආනයන කෙරිණ.
සාලමොන්ගේ මරණය
29මුල පටන් අවසානය තෙක් සාලමොන් සම්බන්ධ සෙසු කාරණා, දිවැසිවර නාතාන්ගේ ඉතිහාසයෙහි ද ෂීලෝහි අහියාගේ දිවැස්වැකිවල ද නෙබාට්ගේ පුත් යෙරොබොවම් පිළිබඳ ලියූ අනාගතවක්තෘ ඉද්දෝගේ දර්ශනවල ද ලියැවී තිබෙනවා නො වේ ද? 30සාලමොන් අවුරුදු හතළිහක් මුළු ඉශ්‍රායෙල් කෙරෙහි යෙරුසලමෙහි රජකම් කළේ ය. 31ඉන්පසු සාලමොන් තම පියවරුන් සමඟ සැතපුණේ ය. ඔහු තම පියා වූ දාවිත් පුරයේදී භූමදාන කෙරිණි. ඔහු වෙනුවට ඔහුගේ පුත් රෙහොබොවම් රජකමට පත් විය.
Currently Selected:
2 ලේකම් 9: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.