2 ලේකම් 5
5
1මෙසේ, ස්වාමින්වහන්සේගේ ගෘහය උදෙසා සාලමොන් කළ වැඩ සියල්ල නිම විය. සාලමොන්, තම පියා වූ දාවිත් විසින් කැප කර තිබූ දෑ එනම් රිදී, රන් හා සියලු භාණ්ඩ ඇතුළට ගෙනවුත්, දෙවියන්වහන්සේගේ ගෘහයේ භාණ්ඩාගාර තුළ තැන්පත් කළේ ය.
ගිවිසුම් කරඬුව ගෙන ඒම
2ඉන්පසු සාලමොන්, දාවිත් පුරය වූ සියොන වෙතින් ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනෙන පිණිස ඉශ්‍රායෙල් වැඩිහිටියන් ද ඉශ්‍රායෙල් පියවංශ ප්‍රධානීන් වූ ගෝත්‍ර වංශ නායක සියලු දෙනා ද යෙරුසලමට එක් රැස් කරවී ය. 3ඉශ්‍රායෙල් ජනයා සැවොම හත් වන මස මංගල්‍යයේදී රජු ඉදිරියට එක් රැස් වූහ.
4ඉශ්‍රායෙල් වැඩිහිටියන් සියලු දෙනා පැමිණි කල, ලෙවීවරු කරඬුව ඔසවා ගත්හ. 5ඔවුහු ස්වාමින්වහන්සේගේ කරඬුව ද හමුවීමේ කූඩාරම ද එහි සියලු ශුද්ධ භාණ්ඩ ද ඔසවාගෙන ආහ. පූජකයෝ ද ලෙවීවරු ද ඒවා ගෙනාවෝ ය. 6සාලමොන් රජු හා ඔහු ඉදිරිපිට රැස් ව සිටි මුළු ඉශ්‍රායෙල් ජන සමාජය, ගණන් කරන්නටවත්, ගණන කියන්නටවත් නො හැකි තරම් බැටළුවන් හා ගවයින් සංඛ්‍යාවක් පූජා කරමින් කරඬුව ඉදිරිපිට සිටියහ.
7පූජකයෝ ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව ඊට නිසි තැන වන ගෘහයේ ඇතුළු ශුද්ධස්ථානයට, අතිශුද්ධස්ථානයට ගෙනැවිත්, කෙරුබ් පියාපත් යටින් තැබූහ. 8කරඬුව හා එය ඉසිලූ පොලු වසාගැනෙන සේ කරඬුව තිබූ ස්ථානයට ඉහළින් කෙරුබ්වරු තම පියාපත් විදහා සිටියහ. 9එම පොලු දිගු නිසා ඒවායේ කෙළවර ඇතුළු ශුද්ධස්ථානය ඉදිරිපිට ශුද්ධස්ථානයේ සිට දැකිය හැකි විය. එහෙත් ශුද්ධස්ථානයෙන් පිටතට ඒවා පෙනුණේ නැත; ඒවා අද දක්වා එහි තිබේ. 10කරඬුව තුළ වූයේ ඉශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් පිටතට පැමිණි කල, ස්වාමින්වහන්සේ ඔවුන් සමඟ ගිවිසුමක් කළ විට, හොරේබ්හි දී මෝසෙස් විසින් එහි තැන්පත් කරන ලද ගල්ලෑලි දෙක පමණි. අන් කිසිවක් එහි නො වී ය.
11පූජකයෝ ඉන්පසු ශුද්ධස්ථානයෙන් පිටතට ආහ. (එහි පැමිණ සිටි පූජකයෝ සියලු දෙනා සේවා පන්ති භේදයකින් තොර ව, පවිත්‍ර වී සිටියහ.) 12සංගීතවේදී ලෙවීවරු එනම් ආසාෆ්, හේමාන් හා යෙදූතුන් ද ඔවුන්ගේ පුත්‍රයෝ ද ඔවුන්ගේ නෑසියෝ ද සිහින් හණ පිළි හැඳ, අත්තාලම්, මහ වීණා හා වීණා වයමින්, පූජාසනයට නැගෙනහිරින් සිටගෙන වුන්හ. ඔවුන් සමඟ පූජකයෝ එකසිය විසිදෙනෙක් හොරණෑ පිඹිමින් සිටියහ. 13හොරණෑ වයන්නෝ සහ ගායනා කරන්නෝ එක හඬින් ස්වාමින්වහන්සේට ප්‍රශංසාවත්, ස්තූතියත් පුදන ලද්දේ සමගාමී ව ය. ඔවුහු හොරණෑවලට ද අත්තාලම්වලට ද වෙනත් වාදන භාණ්ඩවලට ද අනුව හඬ නගා ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරමින්:
“උන්වහන්සේ යහපත් ය;
උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ යැ” යි
ගායනා කළහ.
එවිට ස්වාමින්වහන්සේගේ ගෘහය වලා පටලයකින් පිරී ගියේ ය. 14වලා පටලය නිසා පූජකයින්ට තම මෙහෙයය ඉටු කිරීම සඳහා එහි සිටින්නට නො හැකි විය. මන්ද ස්වාමින්වහන්සේගේ තේජශ්‍රීයෙන් දෙවියන්වහන්සේගේ ගෘහය පිරී ගියේ ය.
Currently Selected:
2 ලේකම් 5: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.