YouVersion Logo
Search Icon

2 ලේකම් 26

26
යූදාහි උස්සියා රජු
1යූදාහි සියලු ජනයා, දහසය වියැති උස්සියා තෝරා ගෙන, ඔහුගේ පියා වූ අමසියා වෙනුවට රජකමට පත් කර ගත්හ. 2රජු තම පියවරුන් සමඟ සැතපුණු පසු, ඔහු ඒලොත්#26:2 ඒලොත් එනම් ඒලත් ගොඩ නගා, එය යූදාට යළි අත්කර ගත්තේ ය.
3උස්සියා රජකම් කිරීමට පටන් ගන්නා විට දහසය වන වියේ පසු විය. ඔහු වසර පනස් දෙකක් යෙරුසලමෙහි රජකම් කළේ ය. ඔහුගේ මවගේ නම යෙකොලියා ය; ඈ යෙරුසලම් කාන්තාවකි. 4ඔහු තම පියා වූ අමසියා කර තිබූ පරිදි ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි හරි දේ කළේ ය. 5දෙවියන්වහන්සේට භය පක්ෂපාත වීමට#26:5 භය පක්ෂපාත වීමට තවත් හෙබ්‍රෙව් පිටපත්වල දෙවියන්වහන්සේගේ දර්ශනය පිළිබඳ ඔහුට උපදෙස් දුන් සෙකරියාගේ දවස්හි දී දෙවියන්වහන්සේ සෙවීමට ඔහු ම උත්සුක විය. ඔහු ස්වාමින්වහන්සේ සෙවූ තාක් කල් දෙවියන්වහන්සේ ඔහු සඵලවත් කළ සේක.
6ඔහු පිටත් ව, පිලිස්තිවරුනට එරෙහිව යුද්ධ කොට, ගාත්හි පවුර ද යබ්නේහි පවුර ද අෂ්දෝද්හි පවුර ද බිඳ දමා, අෂ්දෝද් පළාතේ හා පිලිස්තිවරුන් අතරේ සෙසු තැන්හි ද පුරවර ගොඩ නැගී ය. 7පිලිස්තිවරුනට එරෙහිව ද ගුර්-බාල්හි විසූ අරාබිවරුනට එරෙහිව හා මෙයූනිවරුනට එරෙහිව ද දෙවියන්වහන්සේ ඔහුට උපකාර කළ සේක. 8අම්මොන්වරු ඔහුට කප්පම් ගෙවූහ. ඔහුගේ කීර්තිය, ඊජිප්තු දේශ සීමා දක්වා ම පැතිරිණ. මන්ද ඔහු අතිශයෙන් බලවත් විය.
9තවද, උස්සියා යෙරුසලමෙහි කොනේ දොරටුවේ ද මිටියාවත් දොරටුවේ හා පවුරේ නැම්මේ ද කුලුනු ගොඩ නගා, ඒවා සවිමත් කළේ ය. 10තවද ඔහු පාළුකරයේ ද කුලුනු ගොඩ නැගූ අතර ජල රඳන බොහොමයක් ද කැණෙව්වේ ය. මන්ද බටහිර කඳු බෑවුම්හි මෙන් ම තැනිතලාවේ ද ඔහුට ගව රංචු විශාල වශයෙන් සිටියහ. තවද ඔහුට කඳුකරයේ සහ සාරවත් බිම්වල ගොවිතැන් කරන්නෝ හා මිදි වතු පාලකයෝ සිටියහ. මන්ද ඔහු ගොවි කර්මාන්තයට ප්‍රිය කළේ ය.
11එපමණක් නො ව, රජුගේ අණ දෙන සෙන්පතියකු වූ හනනියාගේ මග පෙන්වීමට අනුව ලේකම් තැන වූ යෙයීයෙල් හා නිලධාරී මාසේයාගේ ගණන් ගැනීමට අනුව සේනා පංති අනුව සැදුම් ලත් යුද්ධයට යෝග්‍ය වූ, සෙබළ සේනාවක් ද උස්සියාට විය. 12වික්‍රමාන්විත බලවත් මිනිසුන්ගේ පියවංශවල නායකයන්ගේ ගණන දෙදහස් හයසියයකි. 13ඔවුන්ගේ අණ යටතේ, සතුරාට එරෙහිව රජුගේ උපකාරයට බලවත් ශක්තියකින් යුද වැදිය හැකි වූ තුන්ලක්ෂ හත්දහස් පන්සියයකගේ හමුදාවක් වූහ. 14උස්සියා මුළු මහත් හමුදාවට පලිහ, හෙල්ල, හිස් වැසුම්, යකඩ සන්නාහ, දුනු හා ගල් පටි සඳහා ගල් ද පිළියෙල කළේ ය. 15යෙරුසලමෙහි කුලුනු උඩ හා කොන්වල සිට හී විදින පිණිස හා විශාල ගල් විදින පිණිස නිපුණ මිනිසුන් විසින් නිම වන ලද යන්ත්‍ර ද ඔහු සෑදී ය. ඔහුගේ කීර්තිය දසත පැතිර ගියේ ය. ඔහු බලවත් ව සිටින තාක් ඔහුට ආශ්චර්යවත් ලෙස උපකාර ලැබිණ.
16එහෙත් ඔහු බලවත් වූ විට, ඔහුගේ පහත වැටීමට හේතු වූ උඩඟුකම වැඩිණ. මන්ද ඔහු, ඔහුගේ දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේට ද්‍රෝහි වෙමින්, සුගන්ධ පූජාසනය මත සුවඳ දුම් දවන පිණිස ස්වාමින්වහන්සේගේ මාලිගයට ඇතුළු විය. 17එහෙත් පූජක අසරියා ඔහුට පසුපසින් ස්වාමින්වහන්සේගේ පූජකයින් වූ වික්‍රමාන්විත මිනිසුන් අසූදෙනකු සමඟ ඇතුළු විය. 18ඔවුහු උස්සියා රජුට විරුද්ධ වෙමින් කතා කොට, “ස්වාමින්වහන්සේට සුවඳ දුම් දැවීම, ඔබට යුතු නැත උස්සියා; එය සුවඳ දුම් දැවීමට කැප කරන ලද ආරොන්ගේ පුත්‍රයින් වූ පූජකයින්ගේ අයිතියයි. ශුද්ධස්ථානයෙන් පිට වී යන්න; මන්ද ඔබ කළේ වරදක්. මෙයින්, දෙවියන්වහන්සේ වූ ස්වාමින්වහන්සේගෙන් ඔබට කිසි ගෞරවයක් ලැබෙන්නේ නැතැ” යි කීහ.
19එවිට උස්සියා කිපුණේ ය. සුවඳ දුම් දවන්නට ධූම පාත්‍රයක් ඔහුගේ අතේ විය. ඔහු පූජකයින් සමඟ කෝප වූ කල, ස්වාමින්වහන්සේගේ ගෘහයේ ධූම පූජාසනය ළඟදී එම පූජකයින් ඉදිරිපිට ඔහුගේ නළලේ කුෂ්ඨය පැන නැගිණි. 20ප්‍රධාන පූජක අසරියා හා සියලු පූජකයින් ඔහු දෙස බැලූ කල, මෙන්න! ඔහුගේ නළලේ කුෂ්ඨ රෝගය පැන නැගී තිබිණ. ඔවුහු වහා ඔහු එතැනින් පිටතට යැවූහ. ඔහු ද පිටතට යෑමට ඉක්මන් කළේ ය. මන්ද ස්වාමින්වහන්සේ ඔහුට පහර දී තිබිණ.
21උස්සියා රජු මැරෙන දවස දක්වා කුෂ්ඨ රෝගියකු විය. එබැවින් ඔහු වාසය කළේ වෙන් වූ නිවසක ය. මන්ද ස්වාමින්වහන්සේගේ ගෘහයෙන් ඔහු නෙරපා හැර තිබිණ. ඔහුගේ පුත් යෝතාම් රජුගේ ගෘහයේ ප්‍රධානියා ව සිට දේශයේ ජනයා පාලනය කළේ ය.
22මුල සිට අග දක්වා උස්සියා සම්බන්ධ සෙසු කාරණා ආමෝස්ගේ පුත්‍ර යෙසායා දිවැසිවරයා ලියා ඇත. 23උස්සියා තම පියවරුන් සමඟ සැතපුණේ ය. ඔවුහු රජවරුනට අයිති, භූමදාන පිට්ටනියේ ඔහුගේ පියවරුන් සමඟ ඔහු භූමදාන කළහ. මන්ද ඔහු කුෂ්ඨ රෝගියෙකැයි ඔවුහු කීහ. ඔහුගේ පුත් යෝතාම් ඔහු වෙනුවට රජකමට පත් විය.

Currently Selected:

2 ලේකම් 26: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in