YouVersion Logo
Search Icon

1 කොරින්ති 9

9
අපෝස්තුලුවරයකු ලෙස පාවුල්ගේ අයිතිවාසිකම
1මා නිදහස් කෙනෙක් නො වේ ද? මා අපෝස්තුලුවරයෙක් නො වේ ද? මා, යේසුස් අප ස්වාමින්වහන්සේ දුටුවේ නැති ද? ස්වාමින්වහන්සේ තුළ මගේ නිර්මාණය ඔබ නො වෙත් ද? 2අන් අයට මා අපෝස්තුලුවරයකු නො වූව ද, ඔබට මා අපෝස්තුලුවරයෙකි; මන්ද ස්වාමින්වහන්සේ තුළ මගේ අපෝස්තුලුකම සහතික කරන මුද්‍රාව ඔබ ය.
3මා විභාග කරන්නට කැමති අයට මගේ නිදහසට උත්තරය මෙයයි. 4කෑමට හා බීමට අපට අවසර නැද්ද? 5සෙසු අපෝස්තුලුවරුන් ද ස්වාමින්වහන්සේගේ සහෝදරයින් හා කේපස් ද මෙන් ඇදහිලිවත් භාර්යාවක කැටිව යන්නට අයිතිය අපට නැද්ද? 6නැතහොත් යැපීම් සඳහා වැඩ කිරීමෙන් වැළකී සිටීමට අයිතිය නැත්තේ බාර්ණබස්ට හා මට පමණක් ද?
7කොයි කලෙකවත් තමාගේ ම වියදමින් හමුදා සෙබලකු සේ සේවය කරන්නේ කවුරු ද? එහි පල භුක්ති නො විඳ මිදි වත්තක් වවන්නේ කවුරු ද? නැතහොත් කිරි ගන්නේ නැතිව බැටළුවන් රැක බලා ගන්නේ කවුරු ද? 8මා මේ දෑ කියන්නේ මිනිස් මතයට අනුව පමණක් ද? ව්‍යවස්ථාවේත් මේ දේ ම නො කියා ද? 9මන්ද: “ගොයම් මඩින කල, ගවයාගේ කට නො බඳිනු”#9:9 ද්වි 25;4 යි මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ ලියැවී තිබේ. දෙවියන්වහන්සේ සැලකිලිමත් වනුයේ ගවයින් ගැන ද? 10උන්වහන්සේ එසේ පවසා ඇත්තේ, මුළුමනින් ම අප උදෙසා නො වේ ද? එය ලියා ඇත්තේ අප උදෙසා ම ය. මන්ද සී සාන්නා සී-සෑ යුත්තේත්, ගොයම් මඩින්නා ගොයම මැඩිය යුත්තේත් අස්වැන්නට පංගුකාර වීමේ බලාපොරොත්තුවෙනි. 11අපි ඔබ අතරේ ආත්මික දෑ වපුළෙමු නම්, ඔබ වෙතින් ද්‍රව්‍යමය දෑ නෙළා ගැනීම මහ දෙයක් ද? 12ඔබගෙන් මේ අයිතියට වෙනත් අය පංගුකාර වේ නම්, ඊට වඩා වැඩි අයිතියක් අපට නැති ද?
කෙසේ වෙතත්, අප ඒ අයිතියෙන් ප්‍රයෝජන ගත්තේ නැත. ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට බාධකයක් වීමට වඩා, හැම දෙයක් ම අපි විඳ දරා ගන්නෙමු.
13දේව මාලිග සේවයේ යෙදෙන්නන්, දේව මාලිගයෙන් ම ආහාර ලබන බවත්, පූජාසනයේ ආවතේව කරන්නන්, යාග පූජාවලින් කොටසක් ලබන බවත් ඔබ දන්නේ නැති ද? 14එලෙස ම, ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්, ශුභාරංචිය මගින් ම සිය ජීවිකාව සලසා ගත යුතු බව ස්වාමින්වහන්සේ ම ආඥා කර ඇත.
15එහෙත් ඒ කිසිදු අයිතියක් මා ප්‍රයෝජනයට ගත්තේ නැත. ඒ කළමනා කිසිවක් ඔබෙන් ලබා ගැනීමේ අදහසින් මෙසේ ලියනවා ද නො වේ. මට ඇති ඒ පාරට්ටුව යමකු මට අහිමි කරනවාට වඩා මා මැරෙනවා හොඳ ය. 16මන්ද මා දේශනා කරන්නේ ශුභාරංචිය නම්, පාරට්ටු කර ගැනීමට පදනමක් මට නැත, මන්ද ඊට මා බැඳී සිටින බැවිනි. මා ශුභාරංචිය දේශනා නො කර සිටියහොත් මට ඛේදයකි. 17මා එය කරන්නේ මගේ ම ස්ව-කැමැත්තෙන් නම්, මට ඊට ත්‍යාගයක් ඇත. කැමැත්තෙන් නො වේ නම්, මා සිටින්නේ මට පැවරූ භාරකාරත්වයක් යටතේ ය. 18එසේ නම් මගේ ත්‍යාගය කුමක් ද? ඒ මා දේශනා කරන ශුභාරංචිය තුළ මට හිමි අයිතිය මුළුමනින් ම ප්‍රයෝජනයට නො ගෙන, අය කිරීමක් නැතිව ශුභාරංචිය පිළිගැන්වීමයි.
පාවුල් තම නිදහස භාවිත කළ සැටි
19මම සියල්ලෙන් ම නිවහල් මිනිහෙක් වුවත්, වැඩි දෙනකු දිනා ගන්නා පිණිස, සියල්ලන්ගේ ම වහලකු බවට පත් වුණෙමි. 20යුදෙව්වරුන් දිනා ගන්නා පිණිස, යුදෙව්වරුන් අතර මම යුදෙව්වරයකු මෙන් වීමි. මා ව්‍යවස්ථාව යටතේ සිටින්නකු නො වූව ද, ව්‍යවස්ථාව යටතේ සිටින්නන් දිනා ගන්නා පිණිස, ව්‍යවස්ථාව යටතේ සිටින්නන් අතර මම ව්‍යවස්ථාව යටතේ සිටින කෙනකු මෙන් වීමි. 21ව්‍යවස්ථාව යටතේ නො වන අන්‍ය-ජාතිකයින් දිනා ගන්නා පිණිස, ඔවුන් අතර මම ව්‍යවස්ථාව යටතේ නො සිටින කෙනකු සේ හැසිරුණෙමි. සැබවින් ම මම දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවෙන් නො මිදුණ කෙනකු වුවත්, ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාවට බැඳුණ කෙනෙක්මි. 22දුබලයින් දිනා ගන්න පිණිස, දුබලයින්ට මම දුබලයකු වීමි. යම් යම් අය කවර අයුරකින් හෝ ගැලවීමට පැමිණෙන පිණිස, මම සියලු දෙනාට සියල්ල වුණෙමි. 23ශුභාරංචිය උදෙසා මා මේ සියල්ල කරන්නේ ශුභාරංචියේ ආශිර්වාදවලට පංගුකාර වන පිණිස ය.
ආත්ම සංයමයේ අවශ්‍යතාව
24තරඟ දිවීමකදී සැවොම තරඟ වදින නමුත්, ත්‍යාගය ලබන්නේ එක් කෙනකු පමණක් බව ඔබ දන්නේ නැද්ද? එබැවින් එය අත්කර ගැනීමට ම දුවන්න. 25හැම මලල ක්‍රීඩකයෙක් ම හැම දෙයකදී ම ආත්ම සංයමය අභ්‍යාස කරයි. ඔවුන් එය කරන්නේ දිරා යන ඔටුන්නක් ලබන පිණිස ය. එහෙත් අප මෙය කරන්නේ සදා පවතින ඔටුන්නක් ලබන්නට ය. 26එබැවින්, මා අරමුණක් නැතිව දුවන්නේ නැත. සුළඟට පහර දෙන මල්ලව පොරකරුවකු මෙන් පහර දෙන්නේ නැත. 27අන් අයට දේශනා කළායින් පසු, ත්‍යාගයට නුසුදුස්සකු නො වන පිණිස, මම මගේ ශරීරය හික්මවා ගනිමින්, එය දමනය කර ගනිමි.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in