YouVersion Logo
Search Icon

1 කොරින්ති 8

8
දේවතා පිදේනි
1දැන්, පිළිම රූපවලට පිදූ ආහාර පිළිබඳව: “අප හැමට දැනුම ඇති” වග අපි දනිමු. මෙම “දැනුම” අහංකාරය උපදවයි. එහෙත් ප්‍රේමය, අභිවෘද්ධිය සලසයි. 2තමා යමක් දනිතැයි යමෙක් සිතා සිටී නම්, ඔහු දැනගත යුතු ලෙස තවමත් දැනගෙන නැත. 3එහෙත් යමෙක් දෙවියන්වහන්සේට ප්‍රේම කරයි නම්, උන්වහන්සේ විසින් ඔහු දැනගනු ලබයි.
4එබැවින්, පිළිමවලට පිදූ ආහාර වැළඳීම පිළිබඳව: “පිළිමයකට සැබෑ පැවැත්මක් නැති” වගත්, “එක් කෙනෙක් මිස, වෙනත් දෙවියන්වහන්සේ කෙනකු නැති” වගත් අපි දනිමු. 5ස්වර්ගයේ හෝ පොළොවේ දෙවිවරුන් ය කියනු ලබන්නන් සිටියත්, සැබවින් ම කියතහොත් එවැනි “දෙවිවරුන්” හා “ස්වාමිවරුන්” අපමණවත් ඇත, 6අපට සිටින එක ම දෙවියන්වහන්සේ, පියාණන්වහන්සේ ය. හැම දේ ම උන්වහන්සේගෙන් ය. අපගේ පැවැත්ම උන්වහන්සේ උදෙසා ය. එසේ ම, අපට සිටින එක ම ස්වාමියාණෝ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ය. හැම දේ ම උන්වහන්සේ මගින් ය; අප පවතින්නේ ද උන්වහන්සේ මගින් ය.
7කෙසේ වෙතත්, හැමට ම මේ දැනුම නැත. ඇතමකු පිළිම සමඟ පෙර තිබූ සබඳතා නිසා, ආහාර ගන්නේ සැබවින් ඒවා දේවතා පිදේනියයි සලකා ය. ඔවුන්ගේ හෘදය සාක්ෂිය දුර්වල බැවින්, එය දූෂිත වේ. 8ආහාර දෙවියන්වහන්සේ වෙත අප ළං කරන්නේ නැත. නො කෑවොත් අපට අවැඩක් වන්නේ නැත; කෑවොත් වැඩි සෙතක් වන්නේ ද නැත.
9කෙසේ වෙතත් ඔබේ මේ නිදහස, යම් හෙයකින් දුබලයින්ට බාධාවක් නො වන්නට වග බලා ගන්න. 10මන්ද දැනුම් ඇති ඔබ, යම් දේවාලයකදී කන අයුරු දකින කෙනෙක්, ඔහුගේ හෘදය සාක්ෂිය දුබල වුව ද දේවතා පිදේනියක් කෑමට එයින් ඔහුට අනුබල නො දේ ද? 11එසේ වුවහොත්, ඒ සහෝදරයා උදෙසා ක්‍රිස්තුස්වහන්සේ මැරුණ නමුදු, ඔබගේ දැනගැන්මෙන් ඔහු වැනසේ. 12මෙසේ ඔබේ සහෝදරයින්ට එරෙහිව පව් කර, ඔවුන්ගේ හෘදය සාක්ෂිය දුබල ව තිබියදී ඊට හානි පැමිණවීමෙන්, ඔබ ක්‍රිස්තුස්වහන්සේට විරුද්ධ ව පව් කරයි. 13එබැවින්, ආහාර මගේ සහෝදරයා පැකිළවයි නම්, මම කිසි දින මස් නො කන්නෙමි. මගේ සහෝදරයා පැකිළවීම මගෙන් සිදු නො වේවා.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in