YouVersion Logo
Search Icon

1 කොරින්ති 11

11
1මා ක්‍රිස්තුස්වහන්සේ අනුකරණ කරන්නා සේ, මා අනුකරණ කරන්නන් වන්න.
නමස්කාරයේදී හිස වැසීම
2ඔබ හැම දේකදී ම මා සිහි කරන නිසාත්, මා ඔබට ඉගැන් වූ සම්ප්‍රදායයන්, මා ඔබට භාර කළ ලෙස ම පවත්වන නිසාත් මම ඔබ පසසමි. 3හැම පුරුෂයකුගේ ම හිස ක්‍රිස්තුස්වහන්සේ බවත්, ස්ත්‍රියකගේ හිස ඇගේ පුරුෂයා බවත්, ක්‍රිස්තුස්වහන්සේගේ හිස දෙවියන්වහන්සේ බවත් ඔබ වටහා ගන්නවාට කැමැත්තෙමි. 4යාච්ඤා කරද්දී හෝ දිවැස් වැකි පවසද්දී හෝ තම හිස වසා ගන්නා පුරුෂයා, තම හිසට නිගරු කරයි. 5එහෙත් හිස නො වසා යාච්ඤා කරන හෝ දිවැස් වැකි පවසන හෝ ස්ත්‍රිය තම හිසට නිගරු කරයි. එය ඇගේ හිස මුඩු කර ගෙන සිටිනවා වැනි ය. 6යම් ස්ත්‍රියක් තම හිස වසා ගන්නේ නැති නම්, ඇය කොණ්ඩය කොටකර කපා ගත යුතු ය. එහෙත් හිසකේ කපා ගැනීම හෝ මුඩු කර ගැනීම හෝ ස්ත්‍රියකට ලජ්ජාවට කරුණක් බැවින්, ඇය හිස වසා ගත යුතු ය.
7පුරුෂයා දෙවියන්වහන්සේගේ ස්වරූපයත්, මහිමයත් වන බැවින්, ඔහු හිස වසා ගත යුතු නැත. එහෙත් ස්ත්‍රිය පුරුෂයාගේ මහිමයයි. 8මන්ද පුරුෂයා ස්ත්‍රියගෙන් නො ව, ස්ත්‍රිය පුරුෂයාගෙනි. 9තවද ස්ත්‍රිය උදෙසා පුරුෂයා නො ව, පුරුෂයා උදෙසා ස්ත්‍රිය මවන ලද්දේ ය. 10දේව දූතයින් නිසා ස්ත්‍රිය ආධිපත්‍යයේ සලකුණක් තම හිසේ දරා සිටිය යුත්තේ එබැවිනි. 11කෙසේ වෙතත්, ස්වාමින්වහන්සේ තුළ ස්ත්‍රිය, පුරුෂයාගෙන් නිදහස් නැත; පුරුෂයා ද ස්ත්‍රියගෙන් නිදහස් නැත. 12මන්ද ස්ත්‍රිය, පුරුෂයාගෙන් සෑදුවා සේ ම, පුරුෂයා, ස්ත්‍රියගෙන් උපත ලබයි. එහෙත් සියලු දේ ම දෙවියන්වහන්සේගෙනි.
13තම හිස නො වසා දෙවියන්වහන්සේට යාච්ඤා කිරීම, ස්ත්‍රියකට හොබනේදැයි ඔබ ම නිශ්චය කරන්න. 14සොබා දහම විසින් ඔබට මෙය උගන්වනවා නො වේ ද? එය, දිගු හිසකේ පුරුෂයකුට නින්දාවක් බවත්, 15එහෙත් ස්ත්‍රියකට දිගු කෙස් කළඹක් වේ නම්, එය ඇයට මහිමයක් බවත් ය. මන්ද ඇගේ කෙස් කළඹ ඇයට දී ඇත්තේ වැස්මක් වශයෙනි. 16යමෙක් මේ පිළිබඳ විවාදයකට පෙලඹේ නම් අපට කීමට ඇත්තේ, අන් පිළිවෙතක් අපටවත්, දෙවියන්වහන්සේගේ සභාවලටවත් නැති බවයි.
ස්වාමින්වහන්සේගේ භෝජනය
17පහත දැක්වෙන උපදෙස් සම්බන්ධ ව මා ඔබ පසසන්නේ නැත. මන්ද ඔබ එකට රැස් වන කල, එහිදී යහපතකට වඩා අයහපතක් සිදුවන බැවිනි. 18පළමු කොට, සභාවක් වශයෙන් ඔබ එකට රැස් වන කල, ඔබ අතරේ බෙදීම් ඇති වග මට අසන්නට ලැබෙයි. තරමක් දුරට මම එය විශ්වාස කරමි. 19ඔබ අතරේ අව්‍යාජ අය කවුරුන්දැයි හඳුනාගන්නා පිණිස, ඔබ අතර භේද තිබිය යුතු ය. 20ඔබ එක් රැස් වන කල, ඔබ වළඳන්නේ ස්වාමින්වහන්සේගේ රාත්‍රි භෝජනය නො වේ. 21මන්ද අහර ගැනීමේදී හැම කෙනෙක් ම, අන් අයට කලින් තමාගේ ආහාර කෑමට ඉක්මන් වෙයි. කෙනකු සාගින්නේ සිටියදී අන් කෙනෙක් බීමත් වෙයි. 22කිම ද? කන්නට බොන්නට ඔබට ගෙවල් නැද්ද? නැතහොත් දෙවියන්වහන්සේගේ සභාවට නිගරු කරමින්, ඔබ කිසිවක් නැත්තවුන්ට අවමන් කරනවා ද? මා ඔබට මොනවා කියන්න ද? මේ ගැන මා ඔබට ප්‍රශංසා කරන්න ද? නැත; මා එසේ කරන්නේ නැත.
23මන්ද ස්වාමින්වහන්සේගෙන් මා ලද දේ මම ඔබට භාර කළෙමි. එය නම්, යේසුස් ස්වාමින්වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේ, උන්වහන්සේ රොටි ගෙන, 24ස්තුති දී, එය කඩා, මෙසේ පැවසූ සේක: “ඔබ උදෙසා දෙනු ලබන මගේ ශරීරය මෙයයි. මා සිහි කිරීම පිණිස මෙය කරන්න.” 25එලෙස ම, රාත්‍රි භෝජනයෙන් පසු, උන්වහන්සේ කුසලාන ගෙන, “මේ කුසලාන මගේ ලෙයින් පිහිටු වන අලුත් ගිවිසුමයි. යම් පමණ වර ඔබ මෙයින් පානය කරන කල, මා සිහි කිරීම පිණිස මෙය කරන්නැ” යි කී සේක. 26යම් පමණ වර ඔබ මෙම රොටි අනුභව කරන කල, මේ කුසලානෙන් පානය කරන කල, උන්වහන්සේ නැවත පැමිණෙන තෙක්, ස්වාමින්වහන්සේගේ මරණය ඔබ ප්‍රකාශ කරන්නේ ය.
27එබැවින් නුසුදුසු ලෙස ස්වාමින්වහන්සේගේ රොටි අනුභව කරන්නාවූත්, ඒ කුසලානෙන් පානය කරන්නාවූත් කවරකු වුව ද, ස්වාමින්වහන්සේගේ ශරීරයත්, උන්වහන්සේගේ රුධිරයත් කෙලෙසීමේ වරදකරුවෙක් වෙයි. 28කෙනෙක් තමා ම විනිශ්චය කර ගෙන, ඉන්පසු මේ රොටි කෑවා වේ; මේ කුසලානෙන් බීවා වේ. 29ශරීරය නො විමසා කන්නාවූ, බොන්නා වූ තැනැත්තා කන්නේත්, බොන්නේත් විනිශ්චය තමා පිට තබාගෙන ය. 30ඔබ බොහෝ දෙනකු දුබල ව හා රෝගී ව සිටින්නේත්, ඇතමකු මැරී ගියේත් මේ නිසා ය. 31එහෙත් අප අවංක ව අප ම විනිශ්චය කර ගන්නෙමු නම්, අප විනිශ්චය කරනු ලබන්නේ නැත. 32ලෝකයා සමඟ දඬුවමට පත් නො වන පිණිස, ස්වාමින්වහන්සේ විසින් අප විනිශ්චය කරනු ලබන කල, අපි හික්මවනු ලබන්නෙමු.
33එබැවින් මා සහෝදරයිනි, ඔබ කෑමට එක් රැස් වන කල, අන් අය ගැනත් බලා සිටින්න; 34යමකුට කුස ගිනි නම්, ඔබ එක් රැස් වන කල, එය විනිශ්චයට පාත්‍ර නො වන පිණිස, ඔහු ගෙදරදී කෑවා වේ.
අනිකුත් දෑ ගැන, මම ඔබ වෙත ආ කල, උපදෙස් දෙන්නෙමි.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in