YouVersion Logo
Search Icon

1 කොරින්ති 12

12
ආත්මික දීමනා
1දැන් ආත්මික දීමනා ගැන; සහෝදරයිනි, ඔබ මේ ගැන නො දැන සිටිනවාට නො කැමැත්තෙමි. 2ඔබ අන්‍ය-ලබ්ධිකයින් ව සිටියදී, එලෙස හෝ මෙලෙස මෙහෙය වනු ලැබ, කතා බැරි පිළිම රූප වෙත මුළා කරනු ලැබූ හැටි ඔබ ම දනිති. 3එබැවින් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් මගින් කතා කරන කිසිවකුට, “යේසුස්වහන්සේ ශාප ලත් කෙනෙකැ” යි කීමට කොහෙත් ම බැරි වගත්, ශුද්ධාත්මයාණන්වහන්සේ මගින් මිස, “යේසුස්වහන්සේ ස්වාමින්වහන්සේ යැ” යි කීමට කිසිවකුට බැරි වගත් ඔබට දන්වන්නට කැමැත්තෙමි.
4විවිධාකාර වූ දීමනා ඇත්තේ ය; එහෙත් එක ම ආත්මයාණන්වහන්සේ ය. 5විවිධාකාර වූ සේවාවන් ඇත්තේ ය; එහෙත් එක ම ස්වාමින්වහන්සේ ය. 6විවිධාකාර වූ ක්‍රියාකාරකම් ඇත්තේ ය; එහෙත් සියල්ලන්ට හැම අයුරින් බලය පවරන්නේ එක ම දෙවියන්වහන්සේ ය.
7එකිනෙකාට ආත්මයාණන්වහන්සේගේ ප්‍රකාශවීම් දී ඇත්තේ, පොදු යහපත උදෙසා ය. 8ආත්මයාණන් මගින් කෙනකුට ප්‍රඥාව කතා කිරීම ද තව කෙනකුට එම ආත්මයාණන්ට අනුකූලව දැනගැන්ම කතා කිරීම ද 9තව කෙනකුට එම ආත්මයාණන් මගින් ඇදහිල්ල ද එම එක ආත්මයාණන් මගින් තවත් කෙනකුට සුව කිරීමේ දීමනා ද 10තව කෙනකුට හාස්කම් සිදු කිරීම ද තවත් කෙනකුට දිවැස් වැකි කීම ද තවත් කෙනකුට ආත්ම අතරේ විමසීමේ හැකියාව ද තව කෙනකුට විවිධ භාෂා කතා කිරීම ද එසේ ම තවත් කෙනකුට එම භාෂාවල අර්ථ පහදා දීම ද දී තිබේ. 11ස්වකීය අභිමතය පරිදි එක් එක් කෙනාට වෙන් වෙන් වශයෙන් මේ සියල්ල බෙදා, වෙන් කර දී, බලය පවරා දෙන්නේ ඒ එක ම, ආත්මයාණන්වහන්සේ ය.
ශරීරයේ ඒකත්වය සහ විවිධත්වය
12බොහෝ අවයව තිබුණත්, ශරීරය තනි එකකි. ශරීරයේ අවයව සියල්ල බොහෝ වුවත්, එක ශරීරයක් වන්නා සේ, ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳවත් එසේ ම ය. 13මන්ද යුදෙව් හෝ ග්‍රීක් වේවා, වහල් හෝ නිවහල් වේවා අප සියල්ලෝ එක ම ආත්මයාණන්වහන්සේ තුළ එක ශරීරයක් තුළට බව්තීස්ම කරනු ලැබීමු; තවද සියල්ලෝ එක ම ආත්මයාණන්ගෙන් පොවනු ලැබීමු. 14ශරීරය සැදුම් ලද්දේ එක් අවයවයකින් නො ව බොහොමයකිනි.
15“මා අතක් නො වන බැවින් ශරීරයට මා අයිති නැතැ” යි පාදය කිව හැකි නමුදු, එයින් එය ශරීරයේ කොටසක් නො වන්නේ නැත. 16තවද, “මා ඇසක් නො වන බැවින් ශරීරයට මා අයිති නැතැ” යි කන කිව හැකි නමුදු, එයින් එය ශරීරයේ කොටසක් නො වන්නේ නැත. 17මුළු ශරීරය ඇසක් වී නම්, ඇසීම දැනෙන්නේ කොතැනකට ද? මුළු ශරීරය කනක් වී නම් ගඳ-සුවඳ විඳින්නේ කොතැනින් ද? 18එහෙත් ශරීරයේ කොටස්, ඒ හැම එකක් ම, ඒ ඒ හැටියට දෙවියන්වහන්සේ සකසා ඇත්තේ ස්වකීය අභිමතය පරිදි ය. 19ඒ සියල්ල එක ම ශරීරාංගයක් වී නම්, ශරීරය කොයින් ද? 20ඒ අනුව අවයව බොහොමයක් වෙතත්, එක ශරීරයකි.
21අත අමතා, “නුඹ මට ඕනෑ නැතැ” යි කියන්නට ඇසටවත්, පාද අමතා, “නුඹලා මට ඕනෑ නැතැ” යි කියන්නට හිසටවත් නුපුළුවන. 22සැබවින් ම, සිරුරේ දුබලයයි පෙනෙන අවයව අත්‍යවශ්‍ය වෙයි. 23ගරුත්වයෙන් අඩු යයි අප සලකන අවයවවලට අපි වඩා ගරුත්වයක් දෙන්නෙමු. තවද අපගේ ශරීරයේ ශෝභාව නැති කොටස්වලට අප මහත් අවධානයක් දක්වතත්, 24අපගේ වඩා ශෝභමාන කොටස්වලට එය අනවශ්‍ය ය. මෙසේ දෙවියන්වහන්සේ ශරීරය නිර්මාණ කර ඇත්තේ, ගරුත්වයෙන් අඩු අවයවවලට මහත් ගරුත්වයක් දෙමිනි. 25එසේ කර ඇත්තේ ශරීරයේ භේද ඇති නො වී, අවයව එකිනෙකට සමාන සැලකිල්ලක් දක්වන පිණිස ය. 26එවිට එක් අවයවයක් වේදනා විඳී නම්, සියලු අවයව එය සමඟ වේදනා විඳී; එක් අවයවයක් ගෞරව ලබයි නම්, සියලු අවයව ඒ සමඟ ප්‍රීති වේ.
27එලෙස ඔබ ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය ය. ඔබ හැම කෙනෙක් ම එහි අවයවය ය. 28දෙවියන්වහන්සේ සභාව තුළ පළමු කොට අපෝස්තුලුවරුන් ද දෙවනුව දිවැසිවරුන් ද තෙවනුව ගුරුවරුන් ද ඊළඟට හාස්කම් ද ඊළඟට සුව කිරීමේ දීමනා ද උපකාර ද පරිපාලනය හා විවිධ ආකාරයේ භාෂා ද පත් කළ සේක. 29සියල්ලෝ අපෝස්තුලුවරු ද? සියල්ලෝ දිවැසිවරු ද? සියල්ලෝ ගුරුවරු ද? සියල්ලෝ හාස්කම් දක්වත් ද? 30සියල්ලෝ සුව කිරීමේ දීමනා ලද්දෝ ද? සියල්ලෝ අන්‍ය භාෂා කතා කරත් ද? සියල්ලෝ අර්ථ පහදත් ද? 31එහෙත්, වඩා උතුම් දීමනා සඳහා ඕනෑකමින් ආශා වන්න.
නැතුව ම බැරි ප්‍රේමය
වඩාත් විශිෂ්ට මාර්ගය මම දැන් ඔබට පෙන්වා දෙමි.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in