1 කොරින්ති 1
1
1දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ අපෝස්තුලුවරයකු වීමට කැඳවීම ලද පාවුල් ද අපගේ සහෝදර සොස්තෙනස් ද වෙතින්,
2කොරින්තියෙහි දෙවියන්වහන්සේගේ සභාව වන ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පවිත්‍ර කරන ලදුව, ශුද්ධවන්තයින් වීමට කැඳවීම ලද්දවුන් වූ ඔවුන් හා අප දෙගොල්ලන්ගේ ස්වාමියාණන් වන යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගේ නාමය කියා යාච්ඤා කරන, සියලු තැන්හි වෙසෙන සියල්ලන් වෙතයි.
3අපගේ පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේගෙන් ද යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගෙන් ද ඔබට අනුග්‍රහ ලැබේවා; සාමය වේවා!
කරුණා-අනුග්‍රහය
4ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබට දෙන ලද අනුග්‍රහය ගැන මගේ දෙවියන්වහන්සේට මම නිරතුරු ස්තුති දෙන්නෙමි. 5සියලු කතාවෙහි ද සියලු දැනගැන්මෙහි ද හැම අතින් ම ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔබ සමෘද්ධිමත් කරනු ලැබ ඇත්තේ, 6ක්‍රිස්තුස්වහන්සේ ගැන වූ සාක්ෂිය ඔබ තුළ තහවුරු වී ඇති අයුරිනි. 7එසේ කර ඇත්තේ, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ එළිදරවු වීම ඔබ මග බලා සිටින අතරේ කිසි දීමනාවකින් ඔබට හිඟයක් නො වන පිණිස ය. 8යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ දවසේ ඔබ දෝෂයෙන් තොර ව සිටින පිණිස, උන්වහන්සේ අවසානය දක්වා ම ඔබ දරා සිටිනු ඇත. 9ස්වකීය පුත්‍රයාණන් වූ යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ සමඟ සහභාගිත්වය තුළට ඔබ කැඳවූ දෙවියන්වහන්සේ විශ්වසනීය ය.
සභාවේ බෙදීම්
10සහෝදරයිනි, ඔබ හැම එකිනෙකා හා එකඟ ව, ඔබ අතරේ භේද නැතිව සිටින ලෙස හා එක සිතින් ද එක කල්පනාවෙන් ද එක්සත් ව සිටින ලෙස, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ නාමයෙන් උදක් ම ඔබෙන් ඉල්ලමි. 11මා සහෝදරයිනි, ඔබ අතරේ ආරවුල් ඇති වග ක්ලෝයීගේ පවුලේ අය ඔබ ගැන මට දන්වා තිබේ. 12මා අදහස් කරන්නේ මෙයයි: “මම පාවුල් අනුගමන කරමි” කියා හෝ, “මම අපොල්ලොස් අනුගමන කරමි” කියා හෝ, “මම කේපස් අනුගමන කරමි” කියා හෝ “මම ක්‍රිස්තුස්වහන්සේ අනුගමන කරමි” කියා හෝ ඔබ එකිනෙකා පවසන බවයි.
13ක්‍රිස්තුස්වහන්සේ බෙදන ලද සේක් ද? ඔබ උදෙසා කුරුසියේ ඇණ ගැසුම් ලද්දේ පාවුල් ද? නැති නම් ඔබ බව්තීස්මය ලද්දේ පාවුල්ගේ නාමයට ද? 14ක්‍රිස්පස් හා ගායස් හැර, ඔබ කිසිවකුත් මා බව්තීස්ම කර නැති නිසා, දෙවියන්වහන්සේට ස්තුති කරමි. 15එබැවින් මගේ නාමයට බව්තීස්ම ලදැයි කියන්නට ඔබ කිසිවකුටත් නුපුළුවන. 16ඔව්, මම ස්තේපනස්ගේ පවුලේ අය ද බව්තීස්ම කළෙමි. ඒ හැර අන් කිසිවකු මා විසින් බව්තීස්ම කළ වග මා දන්නේ නැත. 17බව්තීස්ම කිරීමේ කාරියට ක්‍රිස්තුස්වහන්සේ මා යැව්වේ නැත. යැව්වේ ශුභාරංචිය දේශනා කරන්නට ය. ඒ ද ප්‍රඥාවේ චතුර වචනවලින් නො වේ. ඒ, ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසියේ බලය ශූන්‍ය නො වන පිණිස ය.
ප්‍රඥාව හා අඥානකම
18මන්ද, කුරුසියේ පණිවුඩය විනාශ වන්නන්ට අඥානකමකි. එහෙත් ගැලවීම ලබන්නා වූ අපට එය දෙවියන්වහන්සේගේ බලයයි. 19මන්ද මෙසේ ලියවී තිබේ:
“ප්‍රඥාවතුන්ගේ ප්‍රඥාව මම නිෂ්ප්‍රභ කරමි.
බුද්ධිමතුන්ගේ බුද්ධිය මම මොට කරමි.”#1:19 යෙසා 29;14
20ප්‍රඥාවන්තයා කොහේ ද? දහම් පඬිවරයා කොහේ ද? මේ යුගයේ තර්කවාදියා කොහේ ද? දෙවියන්වහන්සේ, ලෝකයාගේ ප්‍රඥාව, අඥානකමට හැරවූවා නො වේ ද? 21මන්ද දෙවියන්වහන්සේගේ ප්‍රඥාවේ හැටියට ලෝකයා තම ප්‍රඥාවෙන් දෙවියන්වහන්සේ නො හැඳින්න බැවින්, අප දේශනා කරන අඥානකම මගින් අදහන්නන් ගැලවීමට දෙවියන්වහන්සේ සතුටු වූ සේක. 22මන්ද, යුදෙව්වරු අනුහස් ලකුණු ඉල්ලති; ග්රීක්වරු ප්‍රඥාව සොයති. 23එහෙත් අපි, කුරුසියේ ඇණ ගැසුම් ලද ක්‍රිස්තුස්වහන්සේ දේශනා කරන්නෙමු. එහෙත් එය, යුදෙව්වරුන්ට පැකිළීමේ කඩුල්ලකි; අන්‍ය-ජාතීන්ට අඥානකමකි. 24එහෙත් කැඳවීම ලද යුදෙව් හා ග්‍රීක යන දෙගොල්ලට ම ක්‍රිස්තුස්වහන්සේ, දෙවියන්වහන්සේගේ බලය හා දෙවියන්වහන්සේගේ ප්‍රඥාව ය. 25මන්ද දෙවියන්වහන්සේගේ අඥානකම, මිනිස් ප්‍රඥාව ඉක්ම වූ ප්‍රඥාවකි; දෙවියන්වහන්සේගේ දුබලකම, මිනිස් ප්රබලකම් ඉක්ම වූ ප්රබලතාවකි.
26සහෝදරයිනි, ඔබගේ කැඳවීම ගැන සිතා බලන්න. ලෝක සම්මතයට අනුව ප්‍රඥාවත් බොහෝ දෙනෙක් ඔබ අතරේ නො වූහ. බලවන්තයින් බොහෝ දෙනෙක් හෝ කුලවන්තයින් බොහෝ දෙනෙක් ඔබ අතරේ නො වූහ. 27එහෙත්, ප්‍රඥාවතුන් ලජ්ජාවට පත් කරන පිණිස, දෙවියන්වහන්සේ තෝරා ගත්තේ ලෝකයේ අඥාන දෑ ය. බලවතුන් ලජ්ජාවට පත් කරන පිණිස, දෙවියන්වහන්සේ තෝරා ගත්තේ ලෝකයේ දුබල දෑ ය. 28දැන් පවතින දෑ නිෂ්ප්‍රභ කරන පිණිස දෙවියන්වහන්සේ තෝරා ගත්තේ, ලෝකයා විසින් පහත් කොට, නීච කොට සලකන එමෙන් ම දැන් නො පවතින දෑ ය. 29එසේ කර ඇත්තේ, කිසිවකුට හෝ දෙවියන්වහන්සේ ඉදිරියේ පුරසාරම් දොඩන්නට නො හැකි වන පරිද්දෙනි. 30දෙවියන්වහන්සේ කරණකොටගෙන ඔබ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නහු ය. අපගේ ප්‍රඥාවත්, ධර්මිෂ්ඨකමත්, අපගේ පවිත්‍රතාව හා අපගේ මිදීමත් ක්‍රිස්තුස්වහන්සේ ම බවට පත් කළේ ද දෙවියන්වහන්සේ ය. 31එබැවින් ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් පරිදි, “පුරසාරම් කියන්නා, ස්වාමින්වහන්සේ ගැන පුරසාරම් කියත්වා.”#1:31 යෙරමි 9;24
Currently Selected:
1 කොරින්ති 1: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.