1 ලේකම් 22
22
1ඉන්පසු දාවිත් කතා කොට, “දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ගෘහය තිබිය යුත්තේ මෙහි ය. ඉශ්රායෙල් උදෙසා දවන යාග පූජාසනය ද තිබිය යුත්තේ මෙහි යැ” යි පැවසී ය.
දේව මාලිගය සඳහා සූදානම
2මෙසේ දාවිත්, ඉශ්රායෙල් දේශයේ වසන විදේශීන් රැස් කරන්නට නියෝග කළේ ය. දෙවියන්වහන්සේගේ ගෘහය ඉදි කරන්නට කැපූ ගල් පිළියෙල කරන්නට ඔහු ඔවුන් අතරෙන් ගල් වඩුවන් පත් කළේ ය. 3දාවිත්, ද්වාර-දොරටු සඳහා ඇණ හා උපාංග සාදන පිණිස විශාල ප්‍රමාණයක් යකඩ ද කිරන්නට නො හැකි තරම් ලෝකඩ ද සූදානම් කළේ ය. 4ගණන් නැති තරමට දේවදාර ලී ද සැපයී ය. මන්ද සීදොන් හා තීර් වාසීහු දේවදාර ලී අති මහත් ප්‍රමාණයක් දාවිත් වෙත ගෙනාහ.
5මන්ද දාවිත් කීවේ, “මා පුත් සාලමොන් තරුණයි; අත්දැකීම් අඩුයි. ස්වාමින්වහන්සේ උදෙසා ඉදිකරනු ලබන ගෘහය සියලු ජාතීන්ගේ ඇස් හමුවේ අතිශය අලංකාරයෙන් හා කීර්තියෙන් යුතු විය යුතුයි. එනිසා මම ඊට කටයුතු සූදානම් කරමි” කියා ය. මෙසේ දාවිත් තම මරණයට පෙර බොහෝ දේ සූදානම් කළේ ය.
6ඉන්පසු ඔහු තම පුත් සාලමොන් කැඳවා, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ උදෙසා ගෘහයක් ඉදි කරන්නට ඔහුට අණ කළේ ය. 7දාවිත්, සාලමොන් අමතා, “මගේ පුත්‍රය, මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමයට ගෘහයක් ඉදි කරන්නට මගේ හිතේ තිබිණි. 8එහෙත් ස්වාමින්වහන්සේගේ වචනය මා වෙත පැමිණ, ‘ඔබ බොහෝ සේ ලේ වැගිරී ය. බොහෝ යුද්ධ කළේ ය. ඔබ මිහි මත මගේ ඇස් හමුවේ බොහෝ සේ ලේ වැගිරූ බැවින්, ඔබ මගේ නාමයට ගෘහයක් ඉදි කළ යුතු නැත. 9ඔන්න! ඔබට පුතෙක් උපදින්නේ ය; ඔහු සාමකාමී මිනිසකු වන්නේ ය. මම හාත්පසින් ම ඔහුගේ සියලු සතුරන්ගෙන් ඔහුට විවේකය දෙන්නෙමි. ඔහුගේ නම සාලමොන්#22:9 හෙබ්‍රෙව් බසින් සාලමොන් යන වචනය සාමය යන අරුතැති ෂාලෝම් යන වචනයට සමාන ශබ්දයකින් උච්චාරණය වේ. වන්නේ ය. මම ඔහුගේ රාජ සමයේදී ඉශ්රායෙල්ට සාමයත්, නිස්කලංකයත් දෙන්නෙමි. 10මගේ නාමයට ගෘහයක් ඉදි කරන්නේ ඔහු ය. ඔහු මට පුත්‍රයෙක් වන්නේ ය. මම ඔහුට පියෙක් වන්නෙමි. මම ඔහුගේ රාජ්‍යයේ සිහසුන ඉශ්රායෙල් කෙරෙහි සදහට ම ස්ථාපිත කරන්නෙමි’ යි පැවසුවා.
11“දැන් මා පුත, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ ගැන පැවසූ පරිදි උන්වහන්සේගේ ගෘහය ඉදි කරන්නට ඔබ සඵල වන පිණිස ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේක. 12ස්වාමින්වහන්සේ ඉශ්රායෙල් කෙරෙහි ඔබ පත් කරන කල, ඔබට ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නීති සංග්‍රහය රකින්නට හැකි වනු පිණිස, උන්වහන්සේ ඔබට විචක්ෂණ බුද්ධියත්, අවබෝධයත් දෙන සේක්වා! 13ස්වාමින්වහන්සේ ඉශ්රායෙල් උදෙසා මෝසෙස්ට දුන් නියෝග ද නියමයන් ද රකින්නට ඔබ පරෙස්සම් වන්නේ නම්, ඔබ සඵල වනු ඇත. සවිමත් වන්න. දිරිමත් වන්න. භය නො වන්න. තැති නො ගන්න.
14“මා බොහෝ වෙහෙස ව ස්වාමින්වහන්සේගේ ගෘහය උදෙසා රන් තලෙන්ත ලක්ෂයක්#22:14 මෙට්‍රික් ටොන් 3,400ක් පමණ. ද රිදී තලෙන්ත දස ලක්ෂයක් ද කිරන්නට නො හැකි තරමට ලෝකඩ හා යකඩ ද ලී හා ගල් ද සූදානම් කළෙමි. ඔබ ඊට තවත් එකතු කළ යුතු ය. 15කර්මාන්තකරුවන් වන ගල් වඩුවෝ ද පෙදරේරුවෝ ද වඩුවෝ ද සියලු ආකාර වැඩ කළ හැකි දක්ෂ මිනිසුන් ද බොහෝ දෙනෙක් ඔබට සිටිති. 16ගණන් කළ නො හැකි තරම් රන් හා රිදී ද ලෝකඩ හා යකඩ ද ඔබට තිබේ. නැගිට වැඩ අරඹන්න. ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේක්වා!” යි පැවසී ය.
17දාවිත් තම පුත් සාලමොන්ට උපකාර කරන ලෙස ඉශ්රායෙල් නායකයින් සියල්ලන්ට නියෝග කළේ ය. 18ඔහු ඔවුන් අමතා, “ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ සමඟ සිටිනවා නො වේ ද? උන්වහන්සේ ඔබට හැම අතින් ම සාමය දී නැති ද? උන්වහන්සේ දේශයේ වැසියන් මා අතට හසුකර දී, දේශය ද ස්වාමින්වහන්සේට හා උන්වහන්සේගේ ජනතාවට යටත් කරනු ලැබ ඇත. 19දැන් ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ සොයන්නට ඔබගේ හදවතත්, මනසත් යොමු කරන්න. ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුවත්, දෙවියන්වහන්සේගේ ශුද්ධ භාණ්ඩත් ස්වාමින්වහන්සේගේ නාමය උදෙසා ඉදිකරනු ලබන ගෘහය තුළට ගෙන ඒම පිණිස නැගිට, දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ශුද්ධස්ථානය ඉදි කිරීම අරඹන්නැ” යි පැවසී ය.
Currently Selected:
1 ලේකම් 22: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.