1 ලේකම් 21
21
සංගණනය
1සාතන් ඉශ්රායෙල්ට එරෙහිව නැගී සිට, ඉශ්රායෙල් සංගණනයක් ගැනීමට දාවිත් පෙලඹවී ය. 2එබැවින් දාවිත්, යෝවාබ් හා හමුදා ප්‍රධානීන් අමතා, “යන්න, බෙයර්ෂෙබා සිට දාන් දක්වා ඉශ්රායෙල්වරුන් ගණන් කොට, ඔවුන්ගේ ගණන මා දැනගන්නා පිණිස මට එය වාර්තා කරන්නැ” යි පැවසී ය.
3එහෙත් යෝවාබ් කතා කොට, “ස්වාමින්වහන්සේ තම ජනයා දැන් සිටිනවාට වඩා සිය ගුණයකින් වැඩි කරන සේක්වා! මගේ ස්වාමියා වන රජ්ජුරුවනි, ඔවුන් සියල්ලෝ ම මගේ ස්වාමියාගේ යටත් වැසියන් නො වෙත් ද? මෙබන්දක් කරන්නට මගේ ස්වාමියාට ඇති වුවමනාව මොකද? ඉශ්රායෙල් පිට වරද පමුණුවන්නේ ඇයි දැ?” යි ඇසී ය.
4කෙසේ වුව ද රජුගේ වචනයෙන් යෝවාබ් යටපත් කරනු ලැබිණි. එබැවින් යෝවාබ් පිටත් ව, මුළු ඉශ්රායෙල් දේශය පුරා ගමන් කොට, ආපසු යෙරුසලමට ආවේ ය. 5ගණනය කරන ලද ජන සංඛ්‍යාව යෝවාබ්, දාවිත්ට වාර්තා කළේ ය. අසිපත් දරන මුළු ඉශ්රායෙල් ජනයා එකොළොස් ලක්ෂයක් ය. යූදා ජන සංඛ්‍යාව හාර ලක්ෂ හැත්තෑදහසක් ය.
6එහෙත් රජුගේ අණ යෝවාබ්ට පිළිකුල් ව තිබූ බැවින්, ඒ ගණන් ගැනීමට ඔහු ලෙවී හා බෙන්යමින් ඇතුළත් කර තිබුණේ නැත. 7මෙය දෙවියන්වහන්සේට අප්‍රසන්න වූයෙන්, උන්වහන්සේ ඉශ්රායෙල්ට පහර දුන් සේක.
8එවිට දාවිත්, දෙවියන්වහන්සේ අමතමින්, “මේ දේ කිරීමෙන් මම අතිශයෙන් පව් කළෙමි. දැන් ඔබගේ මෙහෙකරුගේ අපරාධය පහ කරන මෙන් අයදිමි. මන්ද මා ක්‍රියා කළේ මහත් අනුවණකමකිනි” යි පැවසී ය.
9 ස්වාමින්වහන්සේ, දාවිත්ගේ අනාගතවක්තෘ වූ ගාද් අමතමින්, 10“යන්න, ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේකැයි දාවිත්ට කියන්න: ‘මම කරුණු තුනක් ඔබ ඉදිරියේ තබමි. ඔබ පිට පමුණු වන පිණිස එයින් එකක් තෝරා ගන්නැ’ යි” පැවසූ සේක.
11එබැවින් ගාද්, දාවිත් වෙත ගොස්, ඔහු අමතා, “ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘ඔබ කැමති දේ තෝරා ගන්න. 12තුන් අවුරුදු සාගතය හෝ ඔබේ සතුරන්ගේ කඩුවට ඔබ ගොදුරු වෙමින්, තුන් මසක් ඔබේ එදිරිවාදීන් ඔබ වනසා දැමීම හෝ ස්වාමින්වහන්සේගේ දූතයා විසින් මුළු ඉශ්රායෙල් පළාත ම විනාශ කර දමනු ලබන තුන් දිනක ස්වාමින්වහන්සේගේ කඩුව වන වසංගතය යන තුනෙන් එකක් තෝරා, මා එවූ තැනැන්වහන්සේට මා පිළිතුරු දිය යුත්තේ කෙසේදැයි තීරණය කරන්නැ’ යි” කීවේ ය.
13දාවිත් ගාද් අමතමින්, “මා බරපතළ පීඩනයකට හසු වෙලා; ස්වාමින්වහන්සේගේ හස්තයට මා හසු වේවා! මන්ද උන්වහන්සේගේ දයාව අති මහත් ය. කෙසේ වෙතත් මිනිසුන්ගේ අත්වලට හසුවන්නට මට ඉඩ නො හරින්නැ” යි පැවසී ය.
14එබැවින් ස්වාමින්වහන්සේ ඉශ්රායෙල් පිටට වසංගතයක් එවූයෙන්, ඉශ්රායෙල් මිනිසුන් හැත්තෑදහසක් මැරුණහ. 15දෙවියන්වහන්සේ යෙරුසලම විනාශ කරන්නට දූතයකු යැවූ සේක. එහෙත් දූතයා එසේ කරන්නට සූදානම් වෙත් ම, ස්වාමින්වහන්සේ ඒ දැක, විපත්තිය ගැන තැවී, විනාශ කරමින් සිටි දූතයා අමතා, “ඔය ඇති! ඔබේ අත නවතා ගනු” යි පැවසූ සේක. ස්වාමින්වහන්සේගේ දූතයා යෙබූසීය ඔර්ණාන්ගේ කමත අසල සිටගෙන සිටියේ ය.
16දාවිත් ඇස් ඔසවා බැලූ කල, ස්වාමින්වහන්සේගේ දූතයා තම අසිපත යෙරුසලමට ඉහළින් දිගු කර ගෙන, අහසත්, පොළොවත් අතරේ සිටිනු දුටුවේ ය. එවිට ගෝණි රෙදි ඇඟ ලා සිටි දාවිත් හා වැඩිහිටියෝ මුණින් තලා වැටුණහ.
17දාවිත්, දෙවියන්වහන්සේ අමතා, “ජනයා ගණන් කරන්නට අණ කළේ මා නො වේ ද? පව් කළේත්, මේ මහ දුෂ්ටකම කළේත් මමයි. ඒත් මේ බැටළුවෝ කුමක් කළෝ ද? අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස, ඔබගේ හස්තය මා පිටත්, මගේ පියවංශය පිටත් පතිත වේවා! එහෙත් මේ වසංගතය ඔබගේ ජනයා පිට නො වේවා!” යි කීවේ ය.
ඔර්ණාන්ගේ කමතේදී
18එවිට ස්වාමින්වහන්සේගේ දූතයා ගාද්ට අණ කරමින්, “දාවිත්, යෙබූසීය ඔර්ණාන්ගේ කමතට ගොස්, එහි ස්වාමින්වහන්සේට පූජාසනයක් ගොඩ නැගිය යුතු යයි දාවිත්ට කියන්නැ” යි පැවසී ය. 19එවිට දාවිත් ස්වාමින්වහන්සේගේ නාමයෙන් ගාද් පැවසූ ඔහුගේ වචනයට අනුව පිටත් ව ගියේ ය.
20මේ අතර තිරිඟු මඩිමින් සිටි ඔර්ණාන් හැරුණු කල දූතයා දිටී ය. ඔහු සමඟ සිටි ඔහුගේ පුතුන් හතරදෙනා සැඟවුණහ. 21දාවිත්, ඔර්ණාන් වෙත ළඟා වෙද්දී ඔර්ණාන් බලා, දාවිත් දැක, කමතෙන් පිටතට අවුත්, දාවිත් ඉදිරියේ තම මුහුණ බිමට නමා වැන්දේ ය.
22දාවිත් ඔර්ණාන් අමතමින්, “ජනයා වෙතින් වසංගතය නවතින පිණිස, ස්වාමින්වහන්සේට පූජාසනයක් ගොඩ නගන්නට ඔබේ කමත පිහිටි භූමිය මට දෙන්න. එහි මුළු වටිනාකමට එය මට විකුණන්නැ” යි පැවසී ය.
23ඔර්ණාන්, දාවිත් අමතා, “ඒක ගන්න. මගේ ස්වාමි රජ්ජුරුවන්ට හොඳයයි හැඟෙන කවර දෙයක් වුව කරන්න. මෙන්න, මම දවන යාග පූජා සඳහා ගොනුන් ද දර සඳහා මඩින උපකරණ ද ආහාර පූජාව සඳහා තිරිඟු ද දෙන්නෙමි. මම ඒ සියල්ල ම දෙන්නෙමි” යි පැවසී ය.
24එහෙත්, දාවිත් රජු ඔර්ණාන්ට පිළිතුරු දෙමින්, “එසේ නො වේ. මම මුළු වටිනාකමට ඒවා මිලයට ගන්නෙමි. ස්වාමින්වහන්සේ උදෙසා මා, ඔබ සතු දෑ ගන්නේ නැත. මට වැය නො වන කිසි දවන යාග පූජාවක් පූජා කරන්නේ නැතැ” යි කීවේ ය.
25දාවිත් ඉඩම සඳහා ෂෙකෙල් හයසීයක්#21:25 කිලෝග්‍රෑම් 6.9ක් පමණ. බර රන් ඔර්ණාන්ට ගෙවී ය. 26දාවිත් එතැන ස්වාමින්වහන්සේට පූජාසනයක් ගොඩ නගා, දවන යාග පූජා ද ශාන්ති පූජා ද ඔප්පු කර, ස්වාමින්වහන්සේට යාච්ඤා කළේ ය. ස්වාමින්වහන්සේ ද දවන යාග පිට අහසින් ගිනි එවා, ඔහුට පිළිතුරු දුන් සේක.
27තවද ස්වාමින්වහන්සේ දූතයාට අණ කළ විට ඔහු තම අසිපත යළි කොපුවේ දමා ගත්තේ ය. 28එකල ස්වාමින්වහන්සේ යෙබූසීය ඔර්ණාන්ගේ කමතේදී තමාට පිළිතුරු දුන් වග දුටු දාවිත්, එහිදී යාග පූජා ඔප්පු කළේ ය. 29මන්ද පාළුකරයේදී මෝසෙස් සෑදූ ස්වාමින්වහන්සේගේ මණ්ඩපයත්, දවන යාග පූජාසනයත් එකල තිබුණේ ගිබෙයොන්හි උස් තැන මත ය. 30එහෙත් දෙවියන්වහන්සේගෙන් විමසන්නට ඒ ඉදිරියට යන්නට දාවිත්ට නො හැකි වූයේ, ඔහු ස්වාමින්වහන්සේගේ දූතයාගේ අසිපතට බිය වූ නිසා ය.
Currently Selected:
1 ලේකම් 21: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.