YouVersion Logo
Search Icon

1 ලේකම් 16

16
ගිවිසුම් කරඬුව අබියස මෙහෙය
1ඔවුහු දෙවියන්වහන්සේගේ කරඬුව ගෙනවුත්, ඒ සඳහා දාවිත් විසින් පිහිටු වන ලද කූඩාරමෙහි එය තැන්පත් කර, දවන යාග පූජා හා ශාන්ති පූජා දෙවියන්වහන්සේ අබියස ඔප්පු කළහ. 2දවන යාග පූජා හා ශාන්ති පූජා ඔප්පු කිරීම නිම කළ දාවිත්, ස්වාමින්වහන්සේගේ නාමයෙන් ජනතාවට ආශිර්වාද කළේ ය. 3ඉන්පසු ඔහු ඉශ්‍රායෙල් පුරුෂයින් හා ස්ත්‍රීන් හැම කෙනකුට ම රොටියක්, මස් කොටසක් හා වියළි මිදි කැටියක් බැගින් බෙදා දුන්නේ ය.
4තවද ඔහු, ස්වාමින්වහන්සේගේ කරඬුව අබියස මෙහෙ කරන්නට, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ වර්ණනා කිරීමටත්, තුති පිදීමටත්, පැසසුම් දීමටත් ලෙවීවරුන්ගෙන් සමහරකු පත් කළේ ය. 5ආසාෆ් ප්‍රධානියා ය. සෙකරියා දෙවැන්නා ය. ඊළඟට යෙයීයෙල්, ෂෙමිරාමොත්, යෙහීයෙල්, මත්තිතියා, එලියාබ්, බෙනායා, ඔබේද්-ඒදොම් හා යෙයීයෙල් ය. ඔවුහු වීණා හා මහ වීණා වැයීමට පත් ව සිටියහ. ආසාෆ් අත්තාලම්වලින් නාද නැංවීමටත්, 6බෙනායා හා යහසීයෙල් යන පූජකයෝ දෙවියන්වහන්සේගේ ගිවිසුම් කරඬුව අබියස නිති පතා හොරණෑ පිඹීමටත් පත් ව සිටියහ.
7දාවිත් ඒ දවසේදී ආසාෆ් ද ඔහුගේ සහෝදරයන් ද මෙසේ ස්වාමින්වහන්සේට ස්තුති පුදන පිණිස මුලින් ම පත් කළේ ය.
8 ස්වාමින්වහන්සේට ස්තුති දෙන්න; උන්වහන්සේගේ නාමයෙන් අයදින්න.
උන්වහන්සේ කර ඇති දෑ ජාතීන් අතරෙහි පතළ කරන්න.
9උන්වහන්සේට ගී ගයන්න; උන්වහන්සේට පැසසුම් ගී ගයන්න.
උන්වහන්සේගේ ආශ්චර්යවත් සියලු ක්‍රියා ගැන පවසන්න.
10උන්වහන්සේගේ ශුද්ධ නාමය තුළ උදම් වන්න;
ස්වාමින්වහන්සේ සොයන්නන්ගේ හදවත් සොම්නස් වේවා!
11 ස්වාමින්වහන්සේ ද, උන්වහන්සේගේ ශක්තිය ද සොයන්න;
නිරන්තරයෙන් උන්වහන්සේගේ මුහුණ සොයන්න.
12උන්වහන්සේ ඉටු කළ ආශ්චර්යයන් ද
උන්වහන්සේ සිදු කළ හාස්කම් ද උන්වහන්සේ ප්‍රකාශ කළ විනිශ්චයන් ද මතකයේ තබා ගන්න,
13උන්වහන්සේගේ සේවක ඉශ්‍රායෙල්ගේ දරු පරපුරෙනි,
උන්වහන්සේගේ තෝරා ගත්තවුන් වන යාකොබ්ගේ පුත්‍රයිනි.
14උන්වහන්සේ අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ය;
උන්වහන්සේගේ විනිශ්චය-ආධිපත්‍යය පොළොව මුළුල්ලේ ම පවතී.
15උන්වහන්සේගේ ගිවිසුම සදාතනික ව ද
තමන්වහන්සේ අණ කළ වචනය, පරම්පරා දහසකට ද මතක තබා ගන්න.
16ඒ උන්වහන්සේ ආබ්‍රහම් සමඟ කළ ගිවිසුම ය;
ඊසාක්ට දිවුළ දිවුරුම ය;
17උන්වහන්සේ එය යාකොබ්ට නියෝගයක් ද
ඉශ්‍රායෙල්ට සදාතනික ගිවිසුමක් ද කොට ස්ථිර කළ සේක්,
18“ඔබේ උරුමයේ පංගු කොටස වශයෙන්
කානාන් දේශය මම ඔබට දෙන්නෙමි” යි
කී සේක.
19ගණනින් ඔබ ස්වල්ප දෙනකු ව සිටියදී,
ස්වල්ප දෙනකු ව, දේශයට ආගන්තුක ව සිටියදී,
20ඔවුහු එක් ජාතියක් වෙතින් තවත් ජාතියක් වෙතට ද
එක් රාජ්‍යයක් වෙතින් තවත් එකකට ද සංක්‍රමණ වූහ;
21එකල ඔවුනට පීඩා කරනට කිසිවකුට ඉඩ නුදුන් උන්වහන්සේ,
ඔවුන් උදෙසා රජුන්ට තරවටු කරමින්,
22“මගේ ආලේපය ලද්දවුන්ට අත නො තබනු;
මගේ දිවැසිවරුනට අනර්ථයක් නො කරනු” යි
කී සේක.
23මිහි පිට සියල්ලෙනි, ස්වාමින්වහන්සේට ගී ගයන්න.
දවසක් නෑර උන්වහන්සේගේ ගැලවීම ප්‍රකාශ කරන්න.
24උන්වහන්සේගේ මහිමය ජාතීන් අතරේ ද
උන්වහන්සේගේ ආශ්චර්යවත් ක්‍රියා සියලු ජනයා අතරේ ද පතළ කරන්න.
25මන්ද ස්වාමින්වහන්සේ උතුම් ය; අතිශයෙන් පැසසුම ලැබිය යුත්තාණෝ ය.
සියලු දෙවිවරුනට ඉහළින් භය විය යුතු උන්වහන්සේට ය.
26මන්ද ඒ ඒ ජාතීන්ගේ සියලු දෙවිවරු පිළිම රූප පමණක් වේ.
එහෙත් අහස් මණ්ඩල මැවුවේ ස්වාමින්වහන්සේ ය.
27ශෝභාශ්‍රීයත්, රාජශ්‍රීයත් උන්වහන්සේ ඉදිරියේ ය;
ශක්තිය හා ප්‍රීතිය උන්වහන්සේගේ වාසස්ථානයෙහි ය.
28පුද දෙන්න ස්වාමින්වහන්සේට එම්බා ජාති පෙළපත් වාසීනි,
පුද දෙන්න ස්වාමින්වහන්සේට ගෞරවය හා ශක්තිය.
29පුද දෙන්න ස්වාමින්වහන්සේට උන්වහන්සේගේ නාමයට දිය යුතු ගෞරවය.
පූජාවක් රැගෙන උන්වහන්සේ ඉදිරියට එන්න;
උන්වහන්සේගේ ශුද්ධත්වයේ ශෝභාශ්‍රීයෙන් යුතු ව, ස්වාමින්වහන්සේට නමස්කාර කරන්න.
30පොළෝ තලේ සියල්ලෙනි, උන්වහන්සේ ඉදිරියේ වෙවුලා සිටින්න.
ලෝකය ස්ථාවර ව ස්ථාපිත ය; එය සොලවනු නො හැක.
31ස්වර්ගයෝ සොම්නස් වෙත්වා! පොළොව ප්‍රීති ප්‍රමෝද වෙත්වා!
ස්වාමින්වහන්සේ රජකම් කරන සේකැ” යි ජාතීන් අතරේ පවසන්න;
32මුහුද එහි ඇති සියල්ලත් සමඟ ගිගුරුම් දේවා!
කෙත් වතු හා ඒවායේ ඇති සියල්ල ප්‍රීතියෙන් කුල්මත් වේවා!
33එවිට වනාන්තරයේ ගස් වැල් ගී ගයත්වා.
ස්වාමින්වහන්සේ ඉදිරියේ සතුටින් ගී ගයත්වා.
මන්ද පොළොව විනිශ්චය කිරීමට උන්වහන්සේ එන සේක.
34 ස්වාමින්වහන්සේට ස්තුති කරන්න; මන්ද උන්වහන්සේ යහපත් ය.
උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට ම පවතින්නේ ය.
35තවද, “අහෝ දෙවියන්වහන්ස, අපගේ ගැලවුම්කරුවාණන්වහන්ස, අප ගැලෙවුව මැනවි,
පිට ජාතීන් වෙතින් අප එක් රැස් කළ මැනවි, අප මිදුව මැනවි,
ඔබගේ ශුද්ධ නාමයට අප ස්තුති කරන පිණිසත්,
ඔබගේ ප්‍රශංසාව මහිමයට පමුණු වන පිණිසත් යැ” යි
මොර ගසන්න.
36ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට
සදාතනයෙන් සදාතනයට පැසසුම් අත් වේවා!
එවිට මුළු ජනතාව, “ආමෙන්” සහ “ස්වාමින්වහන්සේට ප්‍රශංසා අත් වේවා!” යි පැවසූහ.
37දාවිත් එක් එක් දවසේ නියමයන්ට අනුව ස්වාමින්වහන්සේගේ ගිවිසුම් කරඬුව අබියස නිති පතා මෙහෙ කිරීමට ආසාෆ් හා ඔහුගේ සහෝදරයන් එහි රැඳවී ය. 38ඔහු ඔබේද්-ඒදොම් හා ඔහුගේ සහෝදරයන් හැට අටදෙනා ද මෙහෙ කිරීමට එහි රැඳවී ය. යෙදූතුන්ගේ පුත් ඔබේද්-ඒදොම් හා හොසා ද දොරටුපාලයෝ වූහ.
39දාවිත්, පූජක සාදෝක් ද ඔහුගේ හවුල් පූජකයින් ද ගිබෙයොන්හි උස් තැන් පුදසුනෙහි තිබූ ස්වාමින්වහන්සේගේ මණ්ඩපය අබියස රැඳවී ය. 40එසේ කළේ ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් ජනතාවට දී තිබූ ස්වාමින්වහන්සේගේ ව්‍යවස්ථාවේ සඳහන් සියල්ලට අනුව දවන යාග පූජා පුදන පුදසුන මත නිති පතා උදය හා සවස දවන යාග පූජා ඔප්පු කිරීමට ය. 41ඔවුන් සමඟ හේමාන් ද යෙදූතුන් ද උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට ම පවතින්නේයයි පවසමින්, ස්වාමින්වහන්සේට ස්තුති පිදීමට තෝරාගත් අයගෙන් ඉතිරි අය වන නම් සඳහන් කරනු ලැබූවන් ද සිටියහ. 42ඔවුන් සමඟ සිටි හේමාන් හා යෙදූතුන් හොරණෑවලින් ද අත්තාලම්වලින් ද සංගීත නාද නැංවීමේදීත්, ශුද්ධ ගීත සඳහා සෙසු වාදන භාණ්ඩ වැයීමේත් නියැළුණහ. යෙදූතුන්ගේ පුත්‍රයින් දොරටුවට පත් කරනු ලැබිණ.
43පසුව මුළු ජනතාව තම තමන්ගේ නිවෙස් කරා ගියහ. දාවිත් ද තම නිවැසියනට ආශිර්වාද කරන්නට නිවස වෙත හැරී ගියේ ය.

Currently Selected:

1 ලේකම් 16: SCV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in