සලමොන්ගේ ප්‍රඥාව 7
7
සලමොන් රජ සාමාන්‍ය මිනිසෙකි
1අන් සියලු අය මෙන් මම ද මැරෙන සුලු කෙනෙක්මි.
පසින් සාදන ලද පළමු තැනැත්තාගෙන් පැවත එන්නෙමි.
මම මා මවු ගැබෙහි මාංශ පේශි ඇති ව වැඩුණෙමි.
2සැතපීමේ දී ඇති වූ අනුරාගයෙන් හා ශුක්‍ර ධාතූන්ගෙන් පෝෂණය වී උපත ලැබුවෙමි.
මවගේ ලෙයින් ආවරණය වී දස මසක් මම හැඩ ගැසුණෙමි.
3මම උපත ලැබූ විට හුස්ම ගත්තෙමි.
අප සිටින පොළොව මත මම වැටුණෙමි.
අන් අය මෙන් මම ද පළමු වරට හැඬුවෙමි.
4සැලකිලිමත් ලෙස මම හාන් රෙදිවලින් ඔතනු ලැබුවෙමි.
5මීට වඩා වෙනස් පටන්ගැන්මක් රජෙකුට වුවත් නැත.
6ජීවිතයට ඇතුල් වන මඟ ද ජීවිතයෙන් පිට වී යන මඟ ද සියල්ලන්ට ම එක සමාන ය.
සලමොන් රජ ප්‍රඥාවට ගරු කිරීම
7ඉහත කී කරුණු නිසා, මම යාච්ඤා කෙළෙමි.
මට දැනුම්පැහැදුම් දෙන ලදී. මම අයැදුම් කෙළෙමි.
මට ප්‍රඥාව ලැබුණේ ය.
8රාජකොන්තයට හා සිහසුනට වඩා මම ප්‍රඥාව අගය කෙළෙමි.
ඇය සමඟ සැසඳුන විට ධන සම්පත මම කිසිසේත් නොතැකීමි.
9ඇයට සමාන වටිනා මැණිකක් නොමැත.
ඇය සමඟ සැසඳු විට රත්රන් සියල්ල වැලි මිටක් පමණ ය.
ඇය ඉදිරියේ රිදී මඩ වැනි ය.
10ශරීර සනීපයට හා රූමත් බවට වැඩියෙන් මම ඇයට ප්‍රේම කෙළෙමි.
ආලෝකයට වඩා මම ඇයට කැමැති වූයෙමි.
මන්ද, ඇගේ දීප්තිය නිති නොමැලවී පවතියි.
11ඇය සමඟ මට යහපත් සියල්ල ලැබිණි.
ඇය මඟින් අසංබ්‍ය වස්තු මට හිමිවුණි.
12ප්‍රඥාව මේ සියල්ල ගෙනෙන බැවින් මම ඒවා ගැන ප්‍රීති ප්‍රමෝද වුණෙමි.
එහෙත්, ඒවායේ මෑණියන් ප්‍රඥාව බව මම නොදැන සිටියෙමි.
13අවංක ව මා ඉගෙනගත් දේ මුළුමනින් ම මම බෙදා දෙමි.
ඇගේ සම්පත සැඟවීමට මම නොසිතමි.
14ඇය වනාහි මිනිසුන් හට හිස් නොවන නිධානයකි.
එය ලබාගන්නෝ දේව මිත්‍රකම දිනාගන්නෝ ය.
ඇගේ ඉගැන්වීමේ ප්‍රයෝජනය නිසා ඔවුන් එතුමන් හට ප්‍රසන්න වනු ඇත.
සලමොන් රජ දේව අනුග්‍රහය අයැදීම
15දෙවිඳුන් කැමැති පරිදි කතා කිරීමට එතුමාණෝ මට වරම් දෙන සේක් වා!
එතුමාණන්ගේ දීමනාවන්ට ඔබින පරිදි අදහස් පැවසීමට මට වරම් දෙන සේක් වා!
මන්ද, එතුමාණෝ ප්‍රඥාවේ මාර්ග දේශකයාණෝ ය.
පැණවතුන්ට මඟ පෙන්වන්නේ එතුමාණෝ ය.
16අපි ද අපේ වචන ද සැබැවින් ම එතුමාණන්ගේ හස්තයෙහි ය.
අපේ පැහැදුමත් කාර්මික දැනීමත් සමඟ අපි එතුමාණන්ගේ හස්තයෙහි ය.
17ලොව පවතින සියල්ල ගැන සැබෑ දැනුම මට දුන්නේ එතුමාණෝ ය.
ලෝකයේ සැලැස්ම ද ලෝක ධාතු ලක්ෂණය ද
18කාලයාගේ මුල ද මැද ද අග ද අයනයන්ගේ මාරුවීම ද සෘතුවල විපර්යාසය ද
19අවුරුද්ද කරකැවීම ද පෘථිවියේ පරිභ්‍රමණය ද තාරකාවන්ගේ පිහිටීම ද
20සත්වයන්ගේ ස්වභාවය ද වන සතුන්ගේ ඉව ද භූතාත්මයන්ගේ බලය ද මිනිසුන්ගේ මානසික ක්‍රියා මාර්ග ද පැළෑටිවල විවිධත්වය ද පැළෑටි මුල්වල ගුණාගුණ ද මට ඉගැන්වූයේ එතුමාණෝ ය.
21සඟවන ලද දේ ද පැහැදිලි දේ ද ඒවා සියල්ල පිළියෙළ කළ ප්‍රඥාවන්තයාණන් වහන්සේ විසින් මට කියා දෙන ලදුව මම ඒවා දැනගත්තෙමි.
ප්‍රඥාවේ මහිමය
22ප්‍රඥාව තුළ ඇති ආධ්‍යාත්මය නැණ නුවණින් යුක්ත ය.
ශුද්ධවන්ත ය;
සුවිශේෂ ය;
විවිධ ය;
සියුම් ය;
ක්‍රියාකාරී ය;
කැපෙන සුලු ය;
අකලංක ය;
පැහැදිලි ය;
පහර නොලබන සුලු ය;
කාරුණික ය;
මුවහත් ය;
23නොවැළැක්විය හැකි ය;
ත්‍යාගශීලී ය;
මිනිසාට ප්‍රේම කරන සුලු ය;
ස්ථිර ය;
විශ්වාස කටයුතු ය;
නොකැළඹෙන සුලු ය;
සවි බලැති ය, සියල්ල දකින සුලු ය;
නුවණ ඇති ය;
පවිත්‍ර හා ඉතා සියුම් ය;
ආත්මයන් විනිවිද යන සුලු ය.
24ප්‍රඥාව අන් සියල්ලට වඩා කාර්යක්ෂම ය;
ඇය ඉතා පිරිසිදු බැවින් සියල්ල විනිවිද යයි;
සියල්ල තුළ ව්‍යාප්ත වෙයි.
25ප්‍රඥාව වනාහි දේව බලවේගයේ හුස්මය ය;
සවි බලැති දෙවිඳුන්ගේ මහිමයෙන් නික්ම එන පවිත්‍ර ප්රභවය ය;
එබැවින් අපවිත්‍ර කිසිවකට එහි ඇතුළු විය නොහැකි ය.
26ඇය සදා ආලෝකයේ ප්‍රතිබිම්බය ය;
ක්‍රියාශීලී දේව බලයේ අකලංක කැඩපත ය;
එතුමාණන්ගේ යහපත්කමේ ස්වරූපය ය.
27හුදකලා ව සිටින නමුත්, ඇයට සියල්ල කළ හැකි ය.
ඇය නොවෙනස් වන සුලු ය.
ඇය සියල්ල අලුත් කරයි.
සැම පෙළපතක ම ශුද්ධවන්තයන් තුළට ඇය පිවිසෙයි.
ඇය ඔවුන් දේව මිත්‍රයන් සහ දිවැසිවරුන් කරවයි.
28මන්ද, දෙවිඳුන් ප්‍රේම කරන්නේ ප්‍රඥාව සහිත ව ජීවත් වන මිනිසාට පමණක් ය.
29ඇය සූර්යයාට වඩා තේජාන්විත ය;
ඇය සියලු තාරකා කාණ්ඩ අබිබවා බබළයි.
ආලෝකය හා සැසඳු විට ඇය මුල් තැන ගනියි.
30මන්ද, ආලෝකය රාත්‍රියට ඉඩ දිය යුතු යි.
එහෙත්, නපුරට නම්, කිසි දා ප්‍රඥාව ජයගත නොහැකි ය.
Currently Selected:
සලමොන්ගේ ප්‍රඥාව 7: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in