YouVersion Logo
Search Icon

සලමොන්ගේ ප්‍රඥාව 8

8
1පොළොවේ එක කොණක සිට අනික් කොණ දක්වා සියල්ල යහපතට මෙහෙයවමින්, ඇය සිය ශක්තිය භාවිත කරයි.
ප්‍රඥාවෙන් යහපත පැමිණීම
2මම ප්‍රඥාවට ප්‍රේම කෙළෙමි;
යොවුන් වියේ සිට මම ඇය සොයා ගියෙමි.
මම ඇය මාගේ මනාලිය කරගැනීමට ඉටාගතිමි.
ඇගේ රූපශ්‍රීයට ප්‍රේම කෙළෙමි.
3සව් බලැති සමිඳු ඇයට ප්‍රේම කළ බැවින්, දෙවිඳුන්ට ඇති ඇගේ සමීප බව නිසා ඇගේ උදාර උපතට දිස්නය වැටේ.
4එසේ ය, ඇය දේව දැනුම පිළිබඳ අබිරහස්වල පටන්ගැන්මකි.
ඇය දේව ක්‍රියාවන් තෝරා දෙයි.
5මේ දිවියේ දී ආශා විය යුතු සම්පතක් නම්, දස දෙස ක්‍රියා කරන ප්‍රඥාවට වඩා ධනවත් කුමක් ද?
6බුද්ධිය කාර්යක්ෂම නම්, සියල්ලේ නිර්මාතෘවරයාණන් වන ප්‍රඥාවට වඩා ශ්‍රේෂ්ඨ කවරෙක් ද?
7ඔබ ප්‍රේම කරන්නේ දැහැමිකමට නම්, ඇගේ ශ්‍රමයේ ප්‍රතිඵල දැහැමි ගතිගුණ වේ;
මන්ද, ආත්ම දමනය සහ නැණවත්කම ද සාධාරණකම සහ ධෛර්යවන්ත බව ද උගන්වන්නේ ප්‍රඥාව ය.
මේවාට වඩා කිසිවක් ජීවිතයේ දී වැඩදායක නොවේ.
8ඔබ මනා පළපුරුද්දක් ලැබීමට ආශා නම්, ප්‍රඥාව අතීතය දන්නී ය;
අනාගතය ගැන කල්තියා කියන්නී ය;
ආප්තෝපදේශ යෙදීමටත්, ගැටළු විසඳීමටත් ඈ දන්නී ය.
නිමිති සහ හාස්කම් ගැන ද සෘතු හා යුගයන් උදාවීම ගැන ද ඇයට දැනුම් දී ඇත.
ප්‍රඥාවේ අවශ්‍යතාව
9එබැවින් මම මාගේ සමෘද්ධියේ දී ඇය මාගේ උපදේශකයා කරගන්නා ලෙසත්, දුක් කරදරවල දී මාගේ සැනසිල්ල කරගන්නා ලෙසත්, ඇය මාගේ ජීවිතයේ කොටස්කරු කරගැනීමට ඉටාගතිමි.
10මා යොවුන් වියේ සිටි නමුත් සෙනඟ එක්රැස් වූ ස්ථානවල දී ඇය මඟින් ප්‍රජා මූලිකයන් අතර ප්‍රසිද්ධියේ ගෞරවය ලැබීමට සිතාගතිමි.
11මා විනිශ්චයාසනාරූඪ ව සිටින විට දක්ෂ කෙනෙකු සැටියට ගණන්ගනු ඇත.
ශ්‍රේෂ්ඨයන් අතර මට ගරු නම්බු ලැබෙනු ඇත.
12මා නිහඬ ව සිටින විට ඔවුන් බලා සිට, මා කතා කරන විට මට අවධානය යොමු කරනු ඇත.
මා තරමක් දුරට කතා කළොත් ඔවුන් ඔවුන්ගේ කට වසාගෙන නිහඬ වනු ඇත.
13ඇයගේ මාර්ගයෙන් මට අමරණීය බව අත් වනු ඇත.
මට පසු ව මගේ පදවිය දරන අය සදා මා සිහි කරනු ඇත.
14මම සෙනඟ පාලනය කරන්නෙමි.
ජාතීන් මට යටත් වනු ඇත.
15මාගේ නම සඳහන් කරන විට බිහිසුණු රාජ්‍ය නායකයෝ තැතිගන්නෝ ය.
මාගේ සෙනඟට මම කරුණාව දක්වමි.
සටනේ දී වික්‍රමාන්විත බව මම පෙන්වීමි.
16මා ගෙදර ගිය විට ඇය සමඟ සුව සේ වසන්නෙමි.
ඇය ඇසුරු කරන විට කිසිත් නීරස නොවේ;
ඇය මාගේ ජීවිතයේ හවුල්කාරී වන විට වේදනාවක් නැත.
ඇත්තේ ප්‍රීතිය පමණකි, සතුට පමණකි.
ප්‍රඥාව අයැදීම
17මාගේ ඇතුළාන්තයේ මම මේ සිතුවිලි ගැන පෙරළ පෙරළා කල්පනා කෙළෙමි.
18ප්‍රඥාව ඇසුරු කිරීමෙන් අමරණීය භාවය ලැබෙන බව ද, ඇය සමඟ මිතුරුකමින් පිරිසිදු තෘප්තිය අත් වන බව ද, ඇයගේ ක්‍රියා තුළ අසීමිත සම්පත හිමි වන බව ද, ඇය ඇසුරෙන් නැණනුවණ උදා වන බව ද, ඇය සමඟ සුහද කතාවෙන් කීර්තිය හිමි වන බව ද මා සිතින් සිතා යම් හෙයකින් ඇය මා සතු කරගනු පිණිස මම දස දිසාවේ ගමන් කෙළෙමි.
19මම යහපත් ගතිගුණ ඇති තරුණයෙක් වී සිටියෙමි.
මාගේ උරුමය මෙන් මම දැහැමි පැවතුම් ලැබුවෙමි.
20මා යහපත් කෙනෙකු වූ බැවින් අකලංක සිරුරකට ඇතුළු වූයෙමි.
21එහෙත්, දේව දීමනාවක් මිස ප්‍රඥාව අත් කරගැනීමට මට නොහැකි බව දැන මම සමිඳුන් වෙත හැරී අයැදුම් කෙළෙමි.
මන්ද, ප්‍රඥාව වනාහි දෙවිඳුන් සතු දෙයක් බවට ලකුණකි.
මම මුළු සිතින් මෙසේ කීවෙමි.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in