ගණන් කථාව 28
28
පුද පූජා පිළිබඳ විධිවිධාන
(නික්ම 29:38-46)
1සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: 2“ඉශ්රායෙල් ජනයාට මෙසේ අණ කරන්න: ‘සුමිහිරි සුවඳක් මෙන් මට ප්‍රසන්න, ගින්නෙන් දවා මට පුදන ආහාර පඬුරු නියමිත කාලයේ දී ඔප්පු කළ යුතු ය.’ ”
දෛනික පඬුරු
3“නුඹ ඔවුන්ට මෙය කිව යුතු ය: ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පිදිය යුතු පඬුර නම්, අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දෙදෙනෙකි. මෙය දිනපතා ම දවන යාග පූජාවක් මෙන් ඔප්පු කළ යුතු ය. 4එක බැටළු පැටවකු උදය ද, අනිකා සවස ද ඔප්පු කළ යුතු ය. 5සිහින් පිටි කිලෝග්‍රෑම් එකක් ධාන්‍ය පූජාවක් වශයෙන් ගෙන, ඊට ඉස්තරම් තෙල් ලීටර් එකක් මිශ්‍ර කර එක එක බැටළු පැටවා සමඟ ඔප්පු කළ යුතු වේ. 6මෙය වනාහි සුමිහිරි සුවඳක් මෙන් සමිඳාණන් වහන්සේට ප්‍රසන්න, ගින්නෙන් දවා සීනයි කන්දේ දී පිදීමට නියම, සදහට ම වලංගු, දවන යාග පූජාවකි. 7ඒ බැටළු පැටවා සමඟ පානීය පූජාව වශයෙන්, ශුද්ධස්ථානය තුළ සමිඳාණන් වහන්සේගේ මහිමය සඳහා, සැර මිදියුස ලීටර් එකක් වත් කොට පිදිය යුතු ය. 8අනික් බැටළු පැටවා සවස ඔප්පු කළ යුතු ය. උදය පිදූ ධාන්‍ය පූජාව සහ පානීය පූජාව පරිදි සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් මෙන්, එය ගින්නෙන් දවා ඔප්පු කළ යුතු ය.”
සබත් දින පඬුරු
9“අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දෙදෙනෙකු ද, ධාන්‍ය පූජාවක් වශයෙන් සිහින් පිටි කිලෝග්‍රෑම් දෙකකට තෙල් මිශ්‍ර කර එය ද, පානීය පූජාව ද, සබත් දින ඔප්පු කළ යුතු ය. 10නිරන්තර දවන යාග පූජාව සහ ඊට අදාළ පානීය පූජාවට අමතර ව, ඒ ඒ සබත් දින පුද කළ යුතු දවන යාග පූජාව මෙය වේ.”
යාග පඬුරු
11“මාසය ආරම්භයේ දී නුඹලා සමිඳාණන් වහන්සේට දවන යාග පූජාවක් ඔප්පු කළ යුතු වේ. එය නම්, ගොන් වස්සන් දෙදෙනෙක් ද, බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවු හත්දෙනෙක් ද වෙති. 12එක එක ගොන් වස්සෙකු සමඟ ධාන්‍ය පූජාවක් වශයෙන් සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් සමඟ තෙල් මිශ්‍ර කර, එක එක බැටළු වස්සා සමඟ ධාන්‍ය පූජාවක් වශයෙන් සිහින් පිටි කිලෝග්‍රෑම් දෙකකට තෙල් මිශ්‍ර කර, 13එක එක බැටළු පැටවා සමඟ සිහින් පිටි කිලෝග්‍රෑම් එකකට තෙල් මිශ්‍ර කර, ඒවා ද ඔප්පු කළ යුතු ය. මේවා සුමිහිරි සුවඳක් සේ සමිඳාණන් වහන්සේ වෙත නඟින ගින්නෙන් දවා උන් වහන්සේට පිදූ දවන යාග පූජාවකි. 14පිදිය යුතු පානීය පූජාව නම් එක එක ගොන් වස්සෙකු සමඟ මිදියුස ලීටර් දෙකකි, බැටළු වස්සා සමඟ මිදියුස ලීටර් එකහමාරකි, එක එක බැටළු පැටියා සමඟ මිදියුස ලීටර් එකකි. අවුරුද්දේ සෑම මාසයක ම මේ දවන යාග පූජාව පිදිය යුතු ය. 15මේ නිරන්තර දවන යාග පූජාව සහ පානීය පූජාවට අමතර ව, පාප පූජාවක් වශයෙන් එළුවෙකු ද සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු ය.”
නුමුහුන් පූප මංගල්‍ය දින පඬුරු
(ලෙවී 23:5-14)
16 #
නික්ම 12:1-13; ද්වි.නී. 16:1-2 “පළමු වන මාසයේ දහහතර වන දින සමිඳාණන් වහන්සේගේ පාස්කුව ය. 17#නික්ම 12:14-20; 23:15; 34:18; ද්වි.නී. 16:3-8ඒ මාසයේ පසළොස් වන දින මංගල්‍ය පටන්ගනු ලැබේ. දින හතක් ම නුමුහුන් පූප අනුභව කළ යුතු ය. 18පළමු වන දින ශුද්ධ නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින කිසි ම බර වැඩක් නොකළ යුතු ය. 19නුඹලා සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා දවන යාග පූජාවක් පිදිය යුතු ය. එය නම්, කැළැල් නැති ගොන් වස්සන් දෙන්නෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවු හත්දෙනෙක් ද වෙති. 20ධාන්‍ය පූජාව වශයෙන් තෙල් මිශ්‍ර කළ සිහින් පිටි ද පිදිය යුතු ය. ගොන් වස්සෙකු සඳහා සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් ද බැටළු වස්සෙකු සඳහා පිටි කිලෝග්‍රෑම් දෙකක් ද, 21එක එක බැටළු පැටියෙකු සඳහා පිටි කිලෝග්‍රෑම් එකක් ද, ඔප්පු කළ යුතු ය. 22නුඹලා පව් කමාව ලබාගැනීම සඳහා, පාප පූජාවක් වශයෙන් එක එළුවෙකු ඔප්පු කළ යුතු ය. 23සෑම දින ම උදය පුදන දවන යාග පූජාවට අමතර ව, නුඹලා මේවා පිදිය යුතු වේ. 24මෙලෙස දවස් හතක් තුළ හැම දා ම ඔප්පු කළ යුතු ය. ගින්නෙන් දවා පුදන මේ ධාන්‍ය පූජා සුමිහිරි සුවඳක් සේ සමිඳාණන් වහන්සේට ප්‍රසන්න ය. නිරන්තර දවන යාග පූජාවට හා ඊට අදාළ පානීය පූජාවට අමතර ව එය ඔප්පු කළ යුතු ය. 25හත් වන දින නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින කිසි ම බර වැඩක් නොකළ යුතු වේ.”
අස්වැන්න මංගල්‍ය දින පඬුරු
(ලෙවී 23:15-22)
26 #
නික්ම 23:16; 34:22; ද්වි.නී. 16:9-12 “සති මංගල්‍යයේ දී, අස්වැන්න මංගල්‍යයේ පළමු වන දින නුඹලා සමිඳාණන් වහන්සේට අලුත් ධාන්‍ය පූජාව ඔප්පු කරන විට නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින කිසි ම බර වැඩක් නොකළ යුතු වේ. 27එහෙත්, එදින සුමිහිරි සුවඳක් මෙන් සමිඳාණන් වහන්සේ වෙත නඟින දවන යාග පූජාව ඔප්පු කළ යුතු ය. එය නම් ගොන් වස්සන් දෙන්නෙක් ද, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවු හත්දෙනෙක් ද වෙති. 28මේවා සමඟ පිදිය යුතු තෙල් ඇනූ ධාන්‍ය පූජා නම්, එක එක ගොන් වස්සෙකු සමඟ සිහින් පිටි කිලෝග්‍රෑම් තුනකි, එක බැටළු වස්සෙකු සමඟ පිටි කිලෝග්‍රෑම් දෙකක් ද 29එක එක බැටළු පැටවා සමඟ පිටි කිලෝග්‍රෑම් එක බැගින් ද වේ. 30නුඹලාට පව් කමාව ලබාගැනීම සඳහා එක එළුවෙකු ද පිදිය යුතු ය. 31නිරන්තර දවන යාග පූජාවට ද කැළැල් නැති සතුන් විය යුතු ය. පුදන ධාන්‍ය පූජාවට අමතර ව පානීය පූජාව ද ඉහත කී පූජා ද ඔප්පු කළ යුතු ය.
Currently Selected:
ගණන් කථාව 28: SNRV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in