YouVersion Logo
Search Icon

රූත් 2:8-14

රූත් 2:8-14 NRSV

එවිට බෝවස් රූත්ට මෙසේ කී ය: “මාගේ දියණිය, මට ඇහුම්කන් දෙන්න, මේ කෙතෙහි හැර වෙන කිසි තැනක කරල් අහුලන්නට නොයන්න. මෙහි නැවතී මාගේ සේවිකාවන් සමඟ වැඩ කරන්න. ඔවුන් අස්වැන්න එකතු කරගන්නේ කොහේ දැ යි බලාගෙන ඔවුන් පස්සෙන් යන්න. ඔබට කිසි හිරිහැරයක් නොකිරීමට මම මාගේ සේවකයන්ට අණ කෙළෙමි. ඔබට පිපාසය ඇති වූවොත්, ගොස් ඔවුන් පුරවා තබා තිබෙන වතුර භාජනවලින් බොන්න.” රූත් බෝවස්ගේ පාමුල මුණින්තළා වැඳ වැටී, “විදේශික ගැහැණියක වන මා දෙස ඇස් හෙළා ඔබ මට මෙපමණ කරුණාවන්ත වන්නේ මන්දැ”යි ඇසුවා ය. බෝවස් මෙසේ පිළිතුරු දුන්නේ ය: “ඔබේ ස්වාමි පුරුෂයාගේ මරණින් පසු ඔබේ නැන්දම්මාට ඔබ සලකා තිබෙන අන්දම ගැන සියලු කාරණා මම දැනගතිමි. ඔබේ දෙමාපියන් ද මවුබිම ද හැර දමා නන්නාඳුනන සෙනඟක් මැදට ඔබ පැමිණි ආකාරය ගැන සියලු කාරණා මම දනිමි. ඔබ කළ යහපතට සමිඳාණන් වහන්සේ ඔබට සෙත සලසන සේක් වා; ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ රැකවරණය සොයා පැමිණි ඔබට උන් වහන්සේ ආශීර්වාද කරන සේක් වා!” එවිට රූත් උත්තර දෙමින්, “ස්වාමීනි, ඔබ මට බොහෝ කරුණාවන්ත ය. ඔබේ සේවිකාවන්ගෙන් එක් අයකුට වත් සමානකමක් නැති සේවිකාවක වන මට කරුණාවන්ත ලෙස කතා කිරීමෙන් ඔබ මා ධෛර්යවත් කර ඇතැ”යි කීවා ය. කෑම කන වේලාවේ දී බෝවස් රූත් අමතා, “මෙහි අවුත් රොටි කැබැල්ලක් ඇඹුල් මිදියුසේ පොඟවා කන්නැ”යි කී ය. රූත් ද ගොයම් කපන අය සමඟ එකට වාඩිවුණා ය. බෝවස් විළඳ ස්වල්පයක් ඇයට ළං කළේ ය. ඈ සෑහෙන පමණ කෑ පසු එහි තවත් ඉතිරි විය.

Free Reading Plans and Devotionals related to රූත් 2:8-14