YouVersion Logo
Search Icon

රූත් 2

2
රූත් බෝවස්ගේ කෙතෙහි කරල් ඇහිඳීම
1නයෝමිට බෝවස් නමින් ධනවත් නෑයෙක් සිටියේ ය. ඔහු ඇගේ පුරුෂයා ව සිටි එලිමෙලෙක්ගේ පෙළපතට අයත් කෙනෙකි. 2#ලෙවී 19:9-10; ද්වි.නී. 24:19මෝවබ් ජාතික රූත් නයෝමිට කතා කොට, “අස්වැන්න එකතු කරන අයගෙන් මඟ හැරෙන කරල් එකතු කරගැනීමට ඉඩ දෙන මිනිසෙකු පසුපස යන්නට මට අවසර දෙන්නැ”යි කීවා ය. නයෝමි උත්තර දෙමින්, “හොඳයි, යන්න දුව” කියා ඇයට අවසර දුන්නා ය.
3මෙසේ රූත් කෙතට ගොස් එහි වැඩකරන්නන් පසුපස යමින් කරල් අහුලාගත්තා ය. වාසනාවකට මෙන් ඈ පැමිණියේ, එලිමෙලෙක්ගේ පෙළපතේ කෙනෙකු වූ බෝවස්ට අයිති කෙතට ය.
4කෙත අයිතිකාර බෝවස් ම බෙත්ලෙහෙමේ සිට එහි පැමිණියේ ය. “සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වේ වා!”යි කියමින් ඔහු ගොයම් කපන්නන්ට ආචාර කෙළේ ය. ඔව්හු ද, “ඔබටත් දෙවි සමිඳාණන් වහන්සේ ආශීර්වාද කරන සේක් වා!”යි පිළිතුරු දුන්හ.
5බෝවස් ගොයම් කපන්නන් භාර ව සිටි තම සේවකයා අමතා, “අර තරුණිය කාගේ කවුදැ”යි ඇසී ය.
6සේවකයා උත්තර දෙමින් මෙසේ කී ය: “ඒ මෝවබ් දේශයෙන් නයෝමි සමඟ ආ මෝවබ් ජාතික තරුණිය ය. 7‘ගොයම් කපන්නන් පස්සේ ගොසින් කරල් අහුලාගන්න දැ’යි ඈ මාගෙන් ඇසුවා ය. ඈ අලුයම සිට මේ වන තෙක් විවේක නොගෙන කරල් අහුලමින් සිටින්නී ය.”
8එවිට බෝවස් රූත්ට මෙසේ කී ය: “මාගේ දියණිය, මට ඇහුම්කන් දෙන්න, මේ කෙතෙහි හැර වෙන කිසි තැනක කරල් අහුලන්නට නොයන්න. මෙහි නැවතී මාගේ සේවිකාවන් සමඟ වැඩ කරන්න. 9ඔවුන් අස්වැන්න එකතු කරගන්නේ කොහේ දැ යි බලාගෙන ඔවුන් පස්සෙන් යන්න. ඔබට කිසි හිරිහැරයක් නොකිරීමට මම මාගේ සේවකයන්ට අණ කෙළෙමි. ඔබට පිපාසය ඇති වූවොත්, ගොස් ඔවුන් පුරවා තබා තිබෙන වතුර භාජනවලින් බොන්න.”
10රූත් බෝවස්ගේ පාමුල මුණින්තළා වැඳ වැටී, “විදේශික ගැහැණියක වන මා දෙස ඇස් හෙළා ඔබ මට මෙපමණ කරුණාවන්ත වන්නේ මන්දැ”යි ඇසුවා ය.
11බෝවස් මෙසේ පිළිතුරු දුන්නේ ය: “ඔබේ ස්වාමි පුරුෂයාගේ මරණින් පසු ඔබේ නැන්දම්මාට ඔබ සලකා තිබෙන අන්දම ගැන සියලු කාරණා මම දැනගතිමි. ඔබේ දෙමාපියන් ද මවුබිම ද හැර දමා නන්නාඳුනන සෙනඟක් මැදට ඔබ පැමිණි ආකාරය ගැන සියලු කාරණා මම දනිමි. 12ඔබ කළ යහපතට සමිඳාණන් වහන්සේ ඔබට සෙත සලසන සේක් වා; ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ රැකවරණය සොයා පැමිණි ඔබට උන් වහන්සේ ආශීර්වාද කරන සේක් වා!”
13එවිට රූත් උත්තර දෙමින්, “ස්වාමීනි, ඔබ මට බොහෝ කරුණාවන්ත ය. ඔබේ සේවිකාවන්ගෙන් එක් අයකුට වත් සමානකමක් නැති සේවිකාවක වන මට කරුණාවන්ත ලෙස කතා කිරීමෙන් ඔබ මා ධෛර්යවත් කර ඇතැ”යි කීවා ය.
14කෑම කන වේලාවේ දී බෝවස් රූත් අමතා, “මෙහි අවුත් රොටි කැබැල්ලක් ඇඹුල් මිදියුසේ පොඟවා කන්නැ”යි කී ය. රූත් ද ගොයම් කපන අය සමඟ එකට වාඩිවුණා ය. බෝවස් විළඳ ස්වල්පයක් ඇයට ළං කළේ ය. ඈ සෑහෙන පමණ කෑ පසු එහි තවත් ඉතිරි විය.
15ඈ නැවතත් කරල් අහුලාගන්නට යෑමට නැඟිටි විට, බෝවස් තම සේවකයන් හට මෙසේ අණ කෙළේ ය: “ගොයම් මිටි බැඳ තිබෙන තැන්වල වුවත් කරල් අහුලාගන්නට ඇයට ඉඩ හරින්න. ඇයට අවහිර නොකරන්න. 16ගොයම් මිටිවලින් ද කරල් ටිකක් ඇද දමා ඇයට අහුලාගන්නට ඉඩ දෙන්න. ඈට දොස් නොකියන්න.”
17මෙසේ හවස් වනතුරු රූත් කෙතෙහි කරල් ඇහුලුවා ය. ඈ අහුලාගත් කරල්වලින් ධාන්‍ය සූරා ගත්විට එය කිලෝග්‍රෑම් දහයක් පමණ විය. 18ඈ එය රැගෙන නගරයට ගිය විට තමා කොපමණ ධාන්‍ය ප්‍රමාණයක් එකතු කරගත්තා දැ යි ඇගේ නැන්දම්මා දුටුවා ය. රූත් ඉතුරු කර ගෙනා ආහාර කොටස ද ඇයට දුන්නා ය. 19නයෝමි ඇයට කතා කරමින්, “ඔබ අද කරල් ඇහුලුවේ කොහේ ද? ඔබ වැඩ කෙළේ කාගේ කෙතක ද? ඔබ ගැන සැලකූ මිනිසාට ආශීර්වාද වේ වා!”යි කීවා ය. එවිට රූත් කාගේ කෙතක තමා එදා වැඩ කළා දැ යි දන්වමින්, “මා අද වැඩ කෙළේ, බෝවස් නම් මිනිසෙකුගේ කෙතක යැ”යි කීවා ය.
20 # ලෙවී 25:25 එවිට නයෝමි ලේලිට කතා කරමින්, “ජීවමාන අයටත්, දැනට මිය ගොස් සිටින අයටත් වූ පොරොන්දු ඉටු කරන සමිඳාණන් වහන්සේ ඔහුට ආශීර්වාද කරන සේක් වා! ඒ මිනිසා අපේ නෑයෙකි. අපේ ඇවැස්ස නෑයෙකි”යි කීවා ය.
21එවිට රූත් කතා කරමින්, “එපමණක් නොව, ‘ගොයම් කපා හමාර වනතෙක් සේවකයන් සමඟ වැඩ කරන්නැ’යි ඔහු මට කීවේ යැ”යි නැන්දම්මාට කීවා ය.
22නයෝමි රූත් අමතා, “ඔව් දුව, වෙන මිනිසෙකුගේ කෙතකට ඔබ ගියොත් ඔබට හිරිහැර ලබන්නට සිදු වේ. ඒ නිසා ඔහුගේ සේවකයන් සමඟ ම ඔබ වැඩ කරනවා නම් වඩා හොඳ ය”යි කීවා ය. 23මෙසේ රූත් බෝවස්ගේ සේවකයන් සමඟ වැඩ කරමින් සියලු බාර්ලි සහ තිරිඟු අස්වැන්න රැස් කර හමාර වන තෙක් කරල් ඇහුලුවා ය. ඇය තම නැන්දම්මා සමඟ දිගට ම ජීවත් වූවා ය.

Currently Selected:

රූත් 2: NRSV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy