ජාකොබ් 5:7-12
ජාකොබ් 5:7-12 NRSV
එබැවින් සහෝදරයෙනි, සමිඳාණන් වහන්සේගේ ආගමනය දක්වා ඉවසිල්ලෙන් සිටින්න. පළමු සහ අන්තිම වර්ෂාව වහින තුරු ගොවියා පොළොවේ සරුසාර පලදාව ගැන බලා ඉවසිල්ලෙන් සිටියි. එසේ ම ඔබ ද ඉවසිල්ලෙන් සිටින්න; සමිඳාණන් වහන්සේගේ ආගමනය දැන් ළං ව ඇති බැවින් ඔබේ සිත් තිරසර ව තබාගන්න. සහෝදරයෙනි, ඔබ විනිශ්චයට ලක් නොවන පිණිස එකිනෙකාට විරුද්ධ ව චෝදනා නොකරන්න. මෙන්න, විනිශ්චයකාරයාණෝ දොරකඩ සිටින සේක. සහෝදරයෙනි, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් කතා කළ දිවැසිවරයන්ගේ පීඩා විඳීම ද ඉවසීම ද ආදර්ශයට ගන්න. ස්ථිර ව සිටි අය ආශීර්වාද ලද්දෝ යයි අපි කියමු. ජෝබ් ස්ථීර ව සිටි හැටි ඔබ අසා ඇත. ඔහු ගැන සමිඳාණන් වහන්සේගේ තීරණය ද ඔබට පැහැදිලි ය, සමිඳාණන් වහන්සේ දයානුකම්පාවෙන් අධික ලෙස පොහොසත් වී සිටින සේක. මේ සියල්ලට වඩා, මාගේ සහෝදරයෙනි, අහස ගැනවත්, පොළොව ගැනවත්, අන් කිසිවක් ගැනවත් නොදිවුරන්න, ඔබ වරදට පත් නොවන පිණිස ඔබගේ වචනය “එසේ” නම් “එසේ ය” කියා ද, “නැත” නම් “නැත” කියා ද වේ වා.






