YouVersion Logo
Search Icon

ධර්මදේශකයා 1:1-11

ධර්මදේශකයා 1:1-11 NRSV

ජෙරුසලමෙහි දාවිත් නිරිඳාණන් පුත් ධර්මදේශකයාගේ අනුශාසනාව මේ ය: “සියල්ල නිස්සාර ය; සියල්ල නිස්සාර ය. හැම දෙය ම නිස්සාර ය”යි ධර්මදේශකයා පවසයි. මිනිසාගේ ශ්‍රමයෙන්, මුළු මිනිස් ලොවේ ශ්‍රමයෙන් කිසි වැඩක් ඇද් ද? එක පරපුරක් පහ ව යයි; තව පරපුරක් මතු වෙයි; එහෙත්, මහ පොළොව සදහට ම පවතියි. හිරු උදා වෙයි, හිරු බැස යයි; එය උදා වූ තැනට ම යළිදු වහා පැමිණෙයි. සුළඟ දකුණ බලා හමයි, සුළඟ උතුර බලා හමයි; එය කැරකි කැරකී හමයි. වටරවුමෙහි හමා ගොස් නැවත මුල් තැනට ම පැමිණෙයි. සියලු ගංගා මුහුදට ගලා බසියි. එහෙත්, මුහුද පිරෙන්නේ නැත; ගංගා නික්ම ආ තැනට ම නැවත වතුර යයි. හැම දෙය ම වෙහෙස ගෙන දෙන සුළු ය. එය කියා නිම කළ නොහැකි වෙහෙසකි. දැකීමෙන් ඇස තෘප්තියට නොපැමිණෙයි; ඇසීමෙන් කන තෘප්තියට නොපැමිණෙයි. මතු ඇති වන්නේ පෙර තිබුණු දේ ම ය; මතු කරන්න තිබෙන්නේත් පෙර කළ දේ ම ය. මේ මුළු මිනිස් ලොවෙහි කිසි ම අමුතු දෙයක් නැත. “මෙන්න, මෙය අමුතු දෙයකැ”යි මිනිස්සු කියති. එහෙත්, එය අප උපදින්නටත් පෙර සිදු වූවකි. යටගිය දවස සිදු වූ දෙය ගැන මතකයක් නැත; මෙතැන් සිට සිදු වන දෙය ගැන ද මතු දවසේ දී මතකයක් නොවනු ඇත.