YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 9

9
සාමුවෙල් සහ සාවුල් හමු වීම
1බෙන්ජමින්ගේ ගෝත්‍රයට අයත් කිෂ් නම් මිනිසෙක් සිටියේ ය. ඔහු වූ කලී මහා ධනවතෙකි. ඔහු අබියෙල්ගේ පුත්‍රයා ය; ශෙරොර්ගේ මුණුබුරා ය; අපියාගේ වංශයට අයත් බෙකෝරත්ගේ පවුලේ කෙනෙකි. 2ඔහුට සාවුල් නම් කඩවසම් පෙනුමක් ඇති තරුණ පුත්‍රයෙක් සිටියේ ය. ඔහුට වඩා පෙනුමක් ඇති කෙනෙක් ඉශ්රායෙල්වරුන් අතර සිටියේ නැත. ඔහු අන් හැමට වඩා උස කෙනෙක් විය.
3දිනක් සාවුල්ගේ පිය වූ කිෂ්ගේ කොටළුවෝ නැති වුණෝ ය. කිෂ් තම පුත් සාවුල්ට කතා කොට, “ඔබ වැඩකාරයන්ගෙන් එක් කෙනෙකු අඬගසා ගෙන පිටත් ව ගොස් කොටළුවන් සොයන්නැ”යි කීවේ ය. 4ඔහු එප්‍රායිම් කඳුකරයෙහි සිට ෂාලීෂා රට දක්වා ඇවිද්ද නමුත්, කොටළුවන් සම්බ වුණේ නැත. ඔවුන් ෂාලීම් රටේත් ඇවිද්ද නමුත්, කොටළුවන් එහි ද නො වූ බැවින්, ඔව්හු බෙන්ජමින්ගේ රටෙහි ද ඇවිද්දෝ ය. එහෙත්, ඔවුන්ට උන් සම්බ වුණේ නැත. 5ඔව්හු ශුප් රටට පැමිණි කල, සාවුල් තමා සමඟ සිටි සිය වැඩකාරයාට කතා කොට, “අපි ආපසු හැරී යමු; නැත්නම්, මාගේ පියා කොටළුවන් ගැන කල්පනාව අත්හැර අප ගැන ශෝක වනු ඇතැ”යි කීවේ ය.
6සේවකයා ඔහුට පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් මේ නගරයේ සිටියි; ඔහු ගරු කටයුතු කෙනෙකි; ඔහු කියන සියල්ල නොවරදවා ඉෂ්ට වන්නේ ය. අපි ඔහු වෙත යමු; සමහර විට, අප යා යුත්තේ කොහේ දැ යි ඔහු අපට දන්වනු ඇතැ”යි කීවේ ය.
7එවිට සාවුල් වැඩකාරයාට කතා කොට, “අපි යන්නෙමු නම්, ඒ මිනිසාට කුමක් ගෙන යමු ද? අපේ භාජනවල තිබුණු කෑම දැන් ඉවර ය; දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයාට ගෙන යන්නට කිසි තෑග්ගක් නැත. අප ළඟ කුමක් තිබේ දැ”යි ඇසුවේ ය.
8වැඩකාරයා යළිත් සාවුල්ට පිළිතුරු දෙමින්, “මා අතේ කුඩා රිදී කාසියක් තිබේ. අප යා යුතු මාර්ගය දන්වන පිණිස එය දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයාට දෙන්නෙමි”යි කීවේ ය.
9-10පෙර කාලයේ දී ඉශ්රායෙල්හි මිනිසෙක් දෙවියන් වහන්සේගෙන් යම් කරුණක් විමසන්නට යන විට, “දිවැස් ඇත්තා ළඟට යමි”යි කියන්නේ ය. දැන් දිවැසිවරයා යයි කියන තැනැත්තා පෙර කාලයේ දී අනාගතවක්තෘ යයි කියනු ලැබී ය. එවිට සාවුල් කතා කොට, “ඔබේ යෝජනාව හොඳයි; එන්න, අපි යමු”යි තම වැඩකාරයාට කීවේ ය. මෙසේ ඔව්හු දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා සිටි නුවරට ගියෝ ය. 11ඔව්හු කන්ද නඟිමින් නුවරට යන කල, වතුර අදින පිණිස නුවරින් පිටතට එන තරුණියන් ඔවුන්ට සම්බ වී, “අනාගතවක්තෘ මෙහි ඉන්නවා දැ”යි ඔවුන්ගෙන් විමසුවෝ ය.
12ඔව්හු උත්තර දෙමින්, “ඔව්, ඔහු ඉන්නවා; බලන්න, ඔහු ඔබ ඉදිරියෙහි ය. ඉක්මන් කරන්න, මන්ද, කඳු මත පූජාස්ථානයෙහි අද සෙනඟ පූජාවක් පවත්වන බැවින් ඔහු අද නුවරට අවුත් සිටියි. 13ඔබ නුවරට ඇතුළු වූ වහා ම කෑම කන පිණිස කඳු මත පූජාස්ථානයට ඇතුළු වීමට මත්තෙන් ඔහු සම්බ වනු ඇත. මන්ද, ඔහු පූජාවට ආශීර්වාද කරන බැවින් ඔහු එන තුරු සෙනඟ කන්නේ නැත. කැඳවන ලද්දන් කෑම කන්නේ ඉන්පසු ය. ඒ නිසා යන්න; මේ වේලාවට ඔහු ඔබට සම්බ වනු ඇතැ”යි කීවෝ ය. 14ඔවුන් නුවරට ගොස්, නුවර ඇතුළට පිවිසෙද්දී සාමුවෙල් කඳු මත පූජාස්ථානයට යන පිණිස ඔවුන් දෙසට පිටත් වී ආවේ ය.
15සාවුල් පැමිණෙන්නට දවසකට පෙර, සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, 16“මම හෙට මේ වේලාවට පමණ බෙන්ජමින්ගේ රටෙන් මිනිසෙකු නුඹ ළඟට එවන්නෙමි; ඔහු මාගේ සෙනඟ වන ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා කොට අභිෂේක කරන්න; ඔහු පිලිස්තිවරුන්ගේ අතින් මාගේ සෙනඟ ගළවන්නේ ය. මාගේ සෙනඟගේ මොරගැසීම මා වෙත පැමිණි හෙයින් මම ඔවුන් දෙස බැලුවෙමි”යි දන්වා තිබුණේ ය.
17සාමුවෙල්, සාවුල් දුටු විට, සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, “මෙන්න, මා නුඹට කී මිනිසා! මොහු මාගේ සෙනඟ පාලනය කරන්නේ ය”යි වදාළ සේක. 18එවිට සාවුල් දොරටුව ළඟ සාමුවෙල් වෙත ගොස්, “අනාවැකි කියන්නාගේ ගෙය තිබෙන්නේ කොතැන ද කියා මට දන්වන්නැ”යි කී ය.
19සාමුවෙල් ද සාවුල්ට පිළිතුරු දෙමින්, “අනාවැකි කියන්නා මම ය; මට පෙරටුව කඳු මත පූජාස්ථානයට ඔබ දෙපළ ම යන්න. මන්ද, ඔබ ද මා සමඟ ආහාර වැළඳිය යුතු ය. හෙට උදේ ඔබ යන්නට අරින්නෙමි; ඔබේ සිතේ තිබෙන සියල්ල ද ඔබට දන්වන්නෙමි. 20තුන් දවසකට පෙර නැති වූ ඔබේ කොටළුවන් ගැන කරදර නොවන්න. උන් සම්බ වී ඇත. ඉශ්රායෙල් ජනයා අතිශයෙන් අපේක්ෂා කරන්නේ කවරෙක් ද? ඔබ උදෙසාත්, ඔබේ පියාගේ මුළු පවුල උදෙසාත් නොවේ දැ”යි කීවේ ය.
21සාවුල් පිළිතුරු දෙමින්, “මම ඉශ්රායෙල් ගෝත්‍රවලින් ඉතා කුඩා එකක් ව තිබෙන බෙන්ජමින් ගෝත්‍රයට අයත් කෙනෙක් නොවෙම් ද? බෙන්ජමින්ගේ සියලු පවුල්වලින් මාගේ පවුල ඉතා සුළු එක නොවේ ද? එසේ නම්, ඔබ මෙලෙස මට කතා කරන්නේ මන්දැ”යි ඇසුවේ ය.
22එවිට සාමුවෙල්, සාවුල් සහ ඔහුගේ වැඩකාරයා කැඳවාගෙන, කෑම ශාලාවට ඇතුළු වී, ගණනින් තිහක් පමණ වූ ආරාධිතයන් අතරේ ප්‍රධාන ස්ථානයෙහි ඔවුන්ට අසුන් දුන්නේ ය. 23සාමුවෙල් අරක්කැමියාට කතා කොට, “මම ඔබට ‘වෙන් කර තබන්නැ’යි දුන් කොටස මෙහි ගෙනෙන්නැ”යි කීවේ ය. 24අරක්කැමියා ගාතය ද ඒ පිට තිබුණු දේ ද ගෙනවුත් සාවුල් ඉදිරිපිට තැබුවේ ය. සාමුවෙල් කතා කොට, “මෙන්න, ඔබ උදෙසා තැබූ කොටස. එය වළඳන්න. මා ආරාධනා කළ සෙනඟ සමඟ එය මේ මොහොතේ දී වළඳන පිණිස ඔබ උදෙසා මම එය වෙන් කොට තැබුවෙමි”යි කීවේ ය. මෙසේ සාවුල් එදා සාමුවෙල් සමඟ ආහාර වැළඳුවේ ය. 25ඔවුන් කඳු මත පූජාස්ථානයෙන් බැස නගරයට ආ කල, ඔව්හු පියස්ස උඩ සාවුල්ට යහනක් සකස් කර දුන්නෝ ය. සාවුල් එහි නිදාගත්තේ ය.
26පහන් වන වේලාවේ දී සාමුවෙල් පියස්ස උඩ සිටි සාවුල්ට අඬගසා, “නැඟිටින්න, මම ඔබ පිටත් කර යවමි”යි කීවේ ය. සාවුල් නැඟිට්ටේ ය. ඔහු සහ සාමුවෙල් එකට වීදියට ගියේ ය.
සාවුල් අභිෂේක කරනු ලැබීම
27ඔවුන් නුවර සීමාවට පැමිණි විට සාමුවෙල් සාවුල්ට කතා කොට, “අපට පෙරටුව ඔබේ වැඩකාරයාට යන්න කියන්න. මා ඔබට දෙවියන් වහන්සේගේ වචනය දන්වන පිණිස දැන් මෙහි මොහොතක් නවතින්නැ”යි කීවේ ය. වැඩකාරයා පෙරටුවෙන් ගියේ ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy