YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 8

8
සෙනඟ රජෙකු ඉල්ලීම
1සාමුවෙල් මහලු වයසට පත් වූ කල ඔහු තමාගේ පුත්‍රයන් ඉශ්රායෙල්වරුන්ගේ විනිශ්චයකාරයන් වශයෙන් පත් කෙළේ ය. 2ඔහුගේ කුලුඳුල් පුත්‍රයාගේ නම ජෝවෙල් ය; දෙවැන්නාගේ නම අබියා ය. ඔව්හු බෙයර්-ෂෙබාහි විනිශ්චයකාරයෝ වූ හ. 3එහෙත්, සාමුවෙල්ගේ පුත්‍රයෝ ඔහුගේ අඩි පාරේ නොගොස්, වස්තු තණ්හාවෙන් අල්ලස් ගෙන, යුක්තියට පිටුපා ක්‍රියා කළහ.
4එවිට ඉශ්රායෙල්වරුන්ගේ සියලු ප්‍රජා මූලිකයෝ එක් රැස් වී රාමාහි සිටි සාමුවෙල් වෙත අවුත්, 5#ද්වි.නී. 17:14ඔහුට කතා කොට, “ඔබ මහලු ව සිටින්නෙහි ය, ඔබේ පුත්‍රයෝ ඔබේ අඩි පාරෙහි ගමන් නොකරති. ඉතින් අන් ජාතීන්ට මෙන් අප පාලනය කරන පිණිස අපටත් රජ කෙනෙකු පත් කළ මැනවැ”යි කී හ. 6“අප පාලනය කරන පිණිස අපට රජ කෙනෙකු දුන මැනවැ”යි කී කීම ගැන සාමුවෙල් අසතුටු වී සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය. 7සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “සෙනඟ නුඹට කී සියල්ල ගැන ඔවුන්ගේ හඬට සවන් දෙන්න. ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත්තේ නුඹ නොවේ, ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත්තේ මා ය. මන්ද, මා ඔවුන් කෙරෙහි රජකම් කිරීමෙන් වළක්වන පිණිස 8මා ඔවුන් මිසර දේශයෙන් ගෙනා දා පටන් අද දවස දක්වා ඔව්හු මා අත්හැර අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කළෝ ය. ඔව්හු සෑම කල්හි ම මට කළ දේ දැන් නුඹටත් කරති. 9දැන් ඉතින් ඔවුන්ගේ හඬට ඇහුම්කන් දෙන්න. එසේ වී නමුත්, ඔවුන් කෙරෙහි රජකම් කරන රජු ඔවුන් සම්බන්ධයෙන් ක්‍රියා කරන අන්දම ගැන ඔවුන්ට විස්තර කර දෙන්නැ”යි වදාළ සේක.
10එවිට සාමුවෙල් තමාගෙන් රජෙකු ඉල්ලා සිටි සෙනඟට සමිඳාණන් වහන්සේ වදාළ සියලු දේ කීවේ ය. 11ඔහු ඔවුන්ට මෙසේ කීවේ ය: “ඔබ කෙරෙහි රජකම් කරන රජ මෙවැන්නෙක් වන්නේ ය. ඔහු ඔබේ පුත්‍රයන් ගෙන තමාගේ රියැදුරන් හා අසරුවන් වශයෙන් ද තමාගේ රථවලට පෙරටුව දුවන පිණිස ද පත් කරගන්නේ ය. 12ඔහු ඔවුන් සහශ්‍රාධිපතීන් ද පණසාධිපතීන් ද වශයෙන් පත් කරගන්නේ ය; සමහරුන් තමාගේ බිම් හාන්නට ද තමාගේ ගොයම් කපන්නට ද තමාගේ යුද්ධ ආයුධත්, රථායුධත් සාදන්නට ද පත් කරගන්නේ ය. 13ඔහු ඔබේ දූවරුන් සුවඳ ද්‍රව්‍ය සාදන පිණිස ද කෑම පිසින පිණිස ද රොටි පුළුස්සන පිණිස ද ගන්නේ ය. 14ඔහු ඔබේ කෙත් ද මිදි වතු ද ඔලීව වතු අතරෙන් ඉතා හොඳ ඒවා ද රැගෙන තමාගේ නිලධාරීන්ට දෙන්නේ ය. 15ඔබේ ධාන්‍යවලින් ද මුද්‍රික ඵලයෙන් ද දසයෙන් කොටසක් ගෙන තමාගේ රජ වාසලේ නිලධාරීන්ටත්, සෙසු නිලධාරීන්ටත් දෙන්නේ ය. 16ඔබේ දාස දාසීන් ද ඔබේ හොඳ ම ගවයන් ද කොටළුවන් ද තමාගේ වැඩට පත් කරගන්නේ ය. 17ඔහු ඔබේ බැටළුවන්ගෙන් දසයෙන් කොටසක් ගන්නේ ය; ඔබ ඔහුගේ වහල්ලු වන්නහු ය. 18ඒ කාලය පැමිණි විට ඔබ ම තෝරාගත් ඔබේ රජු ගැන ඔබ දැඩි ලෙස පැමිණිලි කරනු ඇත. එහෙත්, සමිඳාණන් වහන්සේ ඒ දවසේ දී ඔබට උත්තර නොදෙන සේක.”
19එහෙත්, සෙනඟ සාමුවෙල් කී දේට සවන් නොදී, “නැත. අපටත් රජ කෙනෙකු ඕනෑ ම ය. 20එවිට අප විනිශ්චය කරන, අපට පෙරටුව ගොස් අපේ යුද්ධවල දී සටන් කරන රජ කෙනෙක් අපට ඇත. අපිත් අන් ජාතීන් මෙන් වන්නෙමු”යි කී හ. 21සාමුවෙල් සෙනඟගේ සියලු වචන අසා, ඒවා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කීවේ ය. 22සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔවුන්ගේ හඬට සවන් දී, ඔවුන්ට රජෙකු පත් කරන්නැ”යි සාමුවෙල්ට වදාළ සේක. සාමුවෙල් ද ඉශ්රායෙල් සෙනඟගේ සියලු දෙනාට කතා කොට, “තම තමන්ගේ නිවාසවලට යන්නැ”යි කීවේ ය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy