YouVersion Logo
Search Icon

1 සාමුවෙල් 9:1-16

1 සාමුවෙල් 9:1-16 NRSV

බෙන්ජමින්ගේ ගෝත්‍රයට අයත් කිෂ් නම් මිනිසෙක් සිටියේ ය. ඔහු වූ කලී මහා ධනවතෙකි. ඔහු අබියෙල්ගේ පුත්‍රයා ය; ශෙරොර්ගේ මුණුබුරා ය; අපියාගේ වංශයට අයත් බෙකෝරත්ගේ පවුලේ කෙනෙකි. ඔහුට සාවුල් නම් කඩවසම් පෙනුමක් ඇති තරුණ පුත්‍රයෙක් සිටියේ ය. ඔහුට වඩා පෙනුමක් ඇති කෙනෙක් ඉශ්රායෙල්වරුන් අතර සිටියේ නැත. ඔහු අන් හැමට වඩා උස කෙනෙක් විය. දිනක් සාවුල්ගේ පිය වූ කිෂ්ගේ කොටළුවෝ නැති වුණෝ ය. කිෂ් තම පුත් සාවුල්ට කතා කොට, “ඔබ වැඩකාරයන්ගෙන් එක් කෙනෙකු අඬගසා ගෙන පිටත් ව ගොස් කොටළුවන් සොයන්නැ”යි කීවේ ය. ඔහු එප්‍රායිම් කඳුකරයෙහි සිට ෂාලීෂා රට දක්වා ඇවිද්ද නමුත්, කොටළුවන් සම්බ වුණේ නැත. ඔවුන් ෂාලීම් රටේත් ඇවිද්ද නමුත්, කොටළුවන් එහි ද නො වූ බැවින්, ඔව්හු බෙන්ජමින්ගේ රටෙහි ද ඇවිද්දෝ ය. එහෙත්, ඔවුන්ට උන් සම්බ වුණේ නැත. ඔව්හු ශුප් රටට පැමිණි කල, සාවුල් තමා සමඟ සිටි සිය වැඩකාරයාට කතා කොට, “අපි ආපසු හැරී යමු; නැත්නම්, මාගේ පියා කොටළුවන් ගැන කල්පනාව අත්හැර අප ගැන ශෝක වනු ඇතැ”යි කීවේ ය. සේවකයා ඔහුට පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් මේ නගරයේ සිටියි; ඔහු ගරු කටයුතු කෙනෙකි; ඔහු කියන සියල්ල නොවරදවා ඉෂ්ට වන්නේ ය. අපි ඔහු වෙත යමු; සමහර විට, අප යා යුත්තේ කොහේ දැ යි ඔහු අපට දන්වනු ඇතැ”යි කීවේ ය. එවිට සාවුල් වැඩකාරයාට කතා කොට, “අපි යන්නෙමු නම්, ඒ මිනිසාට කුමක් ගෙන යමු ද? අපේ භාජනවල තිබුණු කෑම දැන් ඉවර ය; දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයාට ගෙන යන්නට කිසි තෑග්ගක් නැත. අප ළඟ කුමක් තිබේ දැ”යි ඇසුවේ ය. වැඩකාරයා යළිත් සාවුල්ට පිළිතුරු දෙමින්, “මා අතේ කුඩා රිදී කාසියක් තිබේ. අප යා යුතු මාර්ගය දන්වන පිණිස එය දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයාට දෙන්නෙමි”යි කීවේ ය. පෙර කාලයේ දී ඉශ්රායෙල්හි මිනිසෙක් දෙවියන් වහන්සේගෙන් යම් කරුණක් විමසන්නට යන විට, “දිවැස් ඇත්තා ළඟට යමි”යි කියන්නේ ය. දැන් දිවැසිවරයා යයි කියන තැනැත්තා පෙර කාලයේ දී අනාගතවක්තෘ යයි කියනු ලැබී ය. එවිට සාවුල් කතා කොට, “ඔබේ යෝජනාව හොඳයි; එන්න, අපි යමු”යි තම වැඩකාරයාට කීවේ ය. මෙසේ ඔව්හු දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා සිටි නුවරට ගියෝ ය. ඔව්හු කන්ද නඟිමින් නුවරට යන කල, වතුර අදින පිණිස නුවරින් පිටතට එන තරුණියන් ඔවුන්ට සම්බ වී, “අනාගතවක්තෘ මෙහි ඉන්නවා දැ”යි ඔවුන්ගෙන් විමසුවෝ ය. ඔව්හු උත්තර දෙමින්, “ඔව්, ඔහු ඉන්නවා; බලන්න, ඔහු ඔබ ඉදිරියෙහි ය. ඉක්මන් කරන්න, මන්ද, කඳු මත පූජාස්ථානයෙහි අද සෙනඟ පූජාවක් පවත්වන බැවින් ඔහු අද නුවරට අවුත් සිටියි. ඔබ නුවරට ඇතුළු වූ වහා ම කෑම කන පිණිස කඳු මත පූජාස්ථානයට ඇතුළු වීමට මත්තෙන් ඔහු සම්බ වනු ඇත. මන්ද, ඔහු පූජාවට ආශීර්වාද කරන බැවින් ඔහු එන තුරු සෙනඟ කන්නේ නැත. කැඳවන ලද්දන් කෑම කන්නේ ඉන්පසු ය. ඒ නිසා යන්න; මේ වේලාවට ඔහු ඔබට සම්බ වනු ඇතැ”යි කීවෝ ය. ඔවුන් නුවරට ගොස්, නුවර ඇතුළට පිවිසෙද්දී සාමුවෙල් කඳු මත පූජාස්ථානයට යන පිණිස ඔවුන් දෙසට පිටත් වී ආවේ ය. සාවුල් පැමිණෙන්නට දවසකට පෙර, සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, “මම හෙට මේ වේලාවට පමණ බෙන්ජමින්ගේ රටෙන් මිනිසෙකු නුඹ ළඟට එවන්නෙමි; ඔහු මාගේ සෙනඟ වන ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා කොට අභිෂේක කරන්න; ඔහු පිලිස්තිවරුන්ගේ අතින් මාගේ සෙනඟ ගළවන්නේ ය. මාගේ සෙනඟගේ මොරගැසීම මා වෙත පැමිණි හෙයින් මම ඔවුන් දෙස බැලුවෙමි”යි දන්වා තිබුණේ ය.

Free Reading Plans and Devotionals related to 1 සාමුවෙල් 9:1-16