YouVersion Logo
Search Icon

රෝම 8:5-17

රෝම 8:5-17 SROV

මක්නිසාද මාංසිකලෙස සිටින්නෝ මාංසික දේවලටද ආත්මිකලෙස සිටින්නෝ ආත්මික දේවලටද ඇලුම්වෙති. මාංසයේ ඇල්ම මරණයය; නුමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානයය. කුමක්හෙයින්ද, මාංසයේ ඇල්ම දෙවියන්වහන්සේට සතුරුකමය; ඒක දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට යටත් නැත, යටත්වෙන්ටත් බැරිය. මෙසේ, මාංසයෙහි සිටින්නන්ට දෙවියන්වහන්සේ සතුටුකරන්ට නොහැකිය. නුමුත් නුඹලා තුළ දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ වාසයකරනසේක් නම්, නුඹලා මාංසයෙහි නොව ආත්මයෙහි සිටින්නෝය. ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ යම් කෙනෙකුට නැත්නම් ඔහු උන්වහන්සේට අයිති නැත. ඉඳින් ක්‍රිස්තුස්වහන්සේ නුඹලා තුළ සිටිනසේක් නම්, පාපය නිසා ශරීරය මැරී තිබෙන නුමුත් ධර්මිෂ්ඨකම නිසා ආත්මය ජීවත්වෙයි. තවද යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා තුළ වාසයකරනසේක් නම්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවු තැනන්වහන්සේ නුඹලා තුළෙහි වසන තමන්ගේ ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන නුඹලාගේ මරණීය ශරීරයන්ද ජීවත් කරනසේක. එබැවින් සහෝදරයෙනි, අපි ණයකාරයෝව සිටිමුව, නුමුත් මාංසිකලෙස ජීවත්වෙන්ට මාංසයට නොවේය. මක්නිසාද නුඹලා මාංසිකලෙස ජීවත්වෙනවා නම් මැරෙන්ට ඕනෑය, නුමුත් ආත්මයෙන් ශරීරයේ ක්‍රියා නසනවා නම් ජීවත්වෙනවා ඇත. මක්නිසාද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ විසින් ගෙනයනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද, එපමණ දෙනා දෙවියන්වහන්සේගේ පුත්‍රයෝය. මක්නිසාද නුඹලා භය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා, පුත්‍රකමේ ආත්මය ලබාගත්තහුය; එයින් අපි: අබ්බා, පියාණනි, කියා හඬගසමුව. අපි දෙවියන්වහන්සේගේ දරුවෝයයි ආත්මයාණන්වහන්සේම අපේ ආත්මය එක්ව සාක්ෂිදෙනසේක. තවද දරුවෝ නම් උරුමක්කාරයෝය; දෙවියන්වහන්සේගේ උරුමක්කාරයෝය, ක්‍රිස්තුස්වහන්සේ හා සමඟ හවුල් උරුමක්කාරයෝය. උන්වහන්සේ හා සමඟ මහිමය ලබන පිණිස, උන්වහන්සේ සමඟ දුක්විඳිමු නම්, මෙසේ වන්නේය.