YouVersion Logo
Search Icon

ශු. මතෙව් 10:16-33

ශු. මතෙව් 10:16-33 SROV

වෘකයන් මැදට බැටළුවන් මෙන් මම නුඹලා යවමි. එහෙයින් සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න. නුමුත් මනුෂ්‍යයන්ගෙන් ප්‍රවේසම්වෙන්න. මක්නිසාද ඔවුන් නුඹලා මන්ත්‍රණසභාවලට පාවාදී, ඔවුන්ගේ සිනගෝගවලදී නුඹලාට තළනවා ඇත; ඔවුන්ටද අන්‍ය ජාතීන්ටද සාක්ෂියක් පිණිස නුඹලා මා නිසා ආණ්ඩුකාරයන්ද රජුන්ද ඉදිරියට ගෙනයනු ලබනවා ඇත. නුමුත් ඔවුන් නුඹලා පාවාදෙන කල, නුඹලා කථාකරන්නේ කෙසේද, කුමක්දැයි සිතා කනගාටු නොවෙන්න. මක්නිසාද නුඹලා විසින් කිය යුතු දේ ඒ පැයේදී නුඹලාට දෙනු ලබන්නේය. මක්නිසාද කථාකරන්නේ නුඹලා නොව නුඹලා තුළ කථාකරන නුඹලාගේ පියාණන්ගේ ආත්මයාණෝය. තවද සහෝදරයා සහෝදරයාද පියා තමාගේ දරුවාද මරණයට පාවාදෙන්නෝය. දරුවෝද මවුපියන්ට විරුද්ධව නැගිට ඔවුන් මරණයට පත්කරවන්නෝය. නුඹලා මාගේ නාමය නිසා සියල්ලන් විසින් වෛරකරනු ලබන්නහුය. නුමුත් අන්තිම දක්වා ස්ථිරව සිටින්නාම ගැළවෙන්නේය. ඔවුන් එක් නුවරකදී නුඹලාට පීඩාකරන කල ඊළඟ නුවරට දුවන්න. මක්නිසාද සැබවක් නුඹලාට කියමි: මනුෂ්‍ය පුත්‍රයා එනතෙක් නුඹලා ඉශ්‍රායෙල්ගේ සියලු නුවරවල ඇවිද කෙළවර නොකරන්නහුය. ගෝලයෙක් තමාගේ ගුරුවරයාටවත් දාසයෙක් තමාගේ ස්වාමියාටවත් උතුම් නැත. ගෝලයා තමාගේ ගුරුවරයා මෙන්ද දාසයා තමාගේ ස්වාමියා මෙන්ද වුණොත් ඔවුන්ට ඇත. ඔව්හු ගෙයි ස්වාමියාට බෙල්ශෙබුබ්යයි කීවෝ නම් ඔහුගේ ගෙයි වැසියන්ට කොපමණ වැඩියෙන් නොකියත්ද? එබැවින් ඔවුන්ට භය නොවෙන්න. මක්නිසාද ප්‍රකාශ නොවන්නාවූ වැසී තිබෙන දෙයක්වත් දැනගනු නොලබන්නාවූ සැඟවී තිබෙන දෙයක්වත් නැත. මා විසින් නුඹලාට අඳුරේදී කියන දේ නුඹලා එළියේදී කියන්න. නුඹලාගේ කනට රහසේ ඇසෙන දේ ගෙවල් උඩදී ප්‍රකාශකරන්න. ශරීරය නසන නුමුත් ආත්මය නසන්ට නුපුළුවන්වූ අයවලුන්ට භය නොවෙන්න. එහෙත් ආත්මයද ශරීරයද නිරයෙහි විනාශකරන්ට පුළුවන් තැනන්වහන්සේටම භයවෙන්න. ගේකුරුල්ලන් දෙදෙනෙකු ශතයකට නොවිකුණද්ද? එහෙත් උන්ගෙන් එකෙක්වත් නුඹලාගේ පියාණන්වහන්සේ නොදැනුවත්ව බිම වැටෙන්නේ නැත. නුඹලාගේ සියලු හිසකේ පවා ගණන්කර තිබේ. එබැවින් භය නොවෙන්න; නුඹලා බොහෝ ගේකුරුල්ලන්ට වඩා වටින්නහුය. එබැවින් මනුෂ්‍යයන් ඉදිරියෙහිදී: ඔහු අඳුනමියි මා ගැන කියන යමෙක් ඇද්ද, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේ ඉදිරියෙහිදී මමත්: ඔහු අඳුනමියි කියන්නෙමි. නුමුත් මනුෂ්‍යයන් ඉදිරියෙහිදී: ඔහු නාඳුනමියි මා ගැන කියන යමෙක් ඇද්ද, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේ ඉදිරියෙහිදී මමත්: ඔහු නාඳුනමියි කියන්නෙමි.