YouVersion Logo
Search Icon

ශු. මතෙව් 10

10
ප්‍රේරිතයන් දොළොස්දෙනා. ඔවුන්ගේ ධර්මදූත මෙහෙය
1තවද උන්වහන්සේ තමන් ගෝලයන් දොළොස්දෙනා තමන් ළඟට කැඳවා, අශුද්ධාත්මයන් දුරු කරන්ට ඔවුන් කෙරෙහිද සියලු ආකාර ලෙඩ සහ සියලු ආකාර රෝග සුවකිරීමටද ඔවුන්ට බලය දුන්සේක.
2ප්‍රේරිතයන් දොළොස්දෙනාගේ නාමවල් මේය: පළමුවෙනුව පේතෘස් නම්ලත් සීමොන් සහ ඔහුගේ සහෝදරවූ අන්දෘය; සෙබදීගේ පුත්‍රවූ යාකොබ් සහ ඔහුගේ සහෝදරවූ යොහන්ය; 3පිලිප් සහ බර්තොලොමෙව්ය; තෝමස් සහ සුංගම් අයකරන්නා වන මතෙව්ය; අල්පෙවුස්ගේ පුත්‍රවූ යාකොබ් සහ තද්දියස්ය; 4කානානීය සීමොන් සහ උන්වහන්සේව පාවාදුන් යූදස් ඉස්කාරියොත්ය. 5යේසුස්වහන්සේ මේ දොළොස්දෙනා යවමින් ඔවුන්ට මෙසේ අණකළසේක: කෙසේද?
අන්‍ය ජාතීන්ගේ කිසි මාවතකට නොගොස්, සමාරියයන්ගේ කිසි නුවරකට ඇතුල් නොවී, 6ඉශ්‍රායෙල් වංශයේ නැතිවූ බැටළුවන් වෙතට යන්න. 7නුඹලා යමින්–ස්වර්ගරාජ්‍යය ළංවී තිබේය කියා දේශනාකරන්න. 8රෝගීන් සුවකරන්න, මළවුන් නැගුටුවන්න, කුෂ්ඨ රෝගීන් පවිත්‍රකරන්න, යක්ෂයන් දුරුකරන්න. නුඹලා නොමිලයේ ලැබුවහුය, නොමිලයේ දෙන්න. 9නුඹලාගේ පසුම්බිවල රන්වත් රිදීවත් පිත්තලවත් නොගන්න. 10ගමනට මල්ලක්වත් කබා දෙකක්වත් වහන්වත් සැරයටියක්වත් සපයා නොගන්න. මක්නිසාද වැඩකරුවාට තමාගේ කෑම ලැබෙන්ට යුතුය. 11නුඹලා කොයි නුවරකට නුමුත් ගමකට නුමුත් ඇතුල්වූ කල එහි සුදුස්සා කවුදැයි විභාගකොට, පිටත්ව යන තුරු එහිම නැවතී සිටින්න. 12ගෙදරට ඇතුල්වන විට ඊට ආචාරකරන්න. 13ගෙයි වැසියන් සුදුසු නම්, නුඹලාගේ සමාදානය ඒ පිටට පැමිණේවා. නුමුත් නුසුදුසු නම් නුඹලාගේ සමාදානය නැවත නුඹලා කරා පැමිණේවා. 14කවරෙක් නුමුත් නුඹලා පිළිගන්නේවත් නුඹලාගේ වචන අසන්නේවත් නැත්නම්, ඒ ගෙදරින් හෝ නුවරින් හෝ පිටත්ව යන කල නුඹලාගේ පාදවල ධූලි ගසාදමන්න. 15සැබවක් නුඹලාට කියමි: විනිශ්චය දවසේදී ඒ නුවරට වඩා සොදොම් සහ ගොමොරා රටට ඉවසීම පහසුවන්නේය.
16වෘකයන් මැදට බැටළුවන් මෙන් මම නුඹලා යවමි. එහෙයින් සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න. 17නුමුත් මනුෂ්‍යයන්ගෙන් ප්‍රවේසම්වෙන්න. මක්නිසාද ඔවුන් නුඹලා මන්ත්‍රණසභාවලට පාවාදී, ඔවුන්ගේ සිනගෝගවලදී නුඹලාට තළනවා ඇත; 18ඔවුන්ටද අන්‍ය ජාතීන්ටද සාක්ෂියක් පිණිස නුඹලා මා නිසා ආණ්ඩුකාරයන්ද රජුන්ද ඉදිරියට ගෙනයනු ලබනවා ඇත. 19නුමුත් ඔවුන් නුඹලා පාවාදෙන කල, නුඹලා කථාකරන්නේ කෙසේද, කුමක්දැයි සිතා කනගාටු නොවෙන්න. මක්නිසාද නුඹලා විසින් කිය යුතු දේ ඒ පැයේදී නුඹලාට දෙනු ලබන්නේය. 20මක්නිසාද කථාකරන්නේ නුඹලා නොව නුඹලා තුළ කථාකරන නුඹලාගේ පියාණන්ගේ ආත්මයාණෝය. 21තවද සහෝදරයා සහෝදරයාද පියා තමාගේ දරුවාද මරණයට පාවාදෙන්නෝය. දරුවෝද මවුපියන්ට විරුද්ධව නැගිට ඔවුන් මරණයට පත්කරවන්නෝය. 22නුඹලා මාගේ නාමය නිසා සියල්ලන් විසින් වෛරකරනු ලබන්නහුය. නුමුත් අන්තිම දක්වා ස්ථිරව සිටින්නාම ගැළවෙන්නේය. 23ඔවුන් එක් නුවරකදී නුඹලාට පීඩාකරන කල ඊළඟ නුවරට දුවන්න. මක්නිසාද සැබවක් නුඹලාට කියමි: මනුෂ්‍ය පුත්‍රයා එනතෙක් නුඹලා ඉශ්‍රායෙල්ගේ සියලු නුවරවල ඇවිද කෙළවර නොකරන්නහුය.
ගෝලකමට වුවමනා කාරණා
24ගෝලයෙක් තමාගේ ගුරුවරයාටවත් දාසයෙක් තමාගේ ස්වාමියාටවත් උතුම් නැත. 25ගෝලයා තමාගේ ගුරුවරයා මෙන්ද දාසයා තමාගේ ස්වාමියා මෙන්ද වුණොත් ඔවුන්ට ඇත. ඔව්හු ගෙයි ස්වාමියාට බෙල්ශෙබුබ්යයි කීවෝ නම් ඔහුගේ ගෙයි වැසියන්ට කොපමණ වැඩියෙන් නොකියත්ද? 26එබැවින් ඔවුන්ට භය නොවෙන්න. මක්නිසාද ප්‍රකාශ නොවන්නාවූ වැසී තිබෙන දෙයක්වත් දැනගනු නොලබන්නාවූ සැඟවී තිබෙන දෙයක්වත් නැත. 27මා විසින් නුඹලාට අඳුරේදී කියන දේ නුඹලා එළියේදී කියන්න. නුඹලාගේ කනට රහසේ ඇසෙන දේ ගෙවල් උඩදී ප්‍රකාශකරන්න. 28ශරීරය නසන නුමුත් ආත්මය නසන්ට නුපුළුවන්වූ අයවලුන්ට භය නොවෙන්න. එහෙත් ආත්මයද ශරීරයද නිරයෙහි විනාශකරන්ට පුළුවන් තැනන්වහන්සේටම භයවෙන්න. 29ගේකුරුල්ලන් දෙදෙනෙකු ශතයකට නොවිකුණද්ද? එහෙත් උන්ගෙන් එකෙක්වත් නුඹලාගේ පියාණන්වහන්සේ නොදැනුවත්ව බිම වැටෙන්නේ නැත. 30නුඹලාගේ සියලු හිසකේ පවා ගණන්කර තිබේ. 31එබැවින් භය නොවෙන්න; නුඹලා බොහෝ ගේකුරුල්ලන්ට වඩා වටින්නහුය. 32එබැවින් මනුෂ්‍යයන් ඉදිරියෙහිදී: ඔහු අඳුනමියි මා ගැන කියන යමෙක් ඇද්ද, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේ ඉදිරියෙහිදී මමත්: ඔහු අඳුනමියි කියන්නෙමි. 33නුමුත් මනුෂ්‍යයන් ඉදිරියෙහිදී: ඔහු නාඳුනමියි මා ගැන කියන යමෙක් ඇද්ද, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේ ඉදිරියෙහිදී මමත්: ඔහු නාඳුනමියි කියන්නෙමි.
34පොළොවෙහි සමාදානය දෙන්ට මම ආවෙමියි නොසිතන්න. සමාදානය නොව කඩුවක් දෙන්ට ආවෙමි. 35මක්නිසාද මනුෂ්‍යයෙකු තමාගේ පියා සමඟද දුව ඇගේ මවු සමඟද යෙහෙළී ඇගේ නැන්දා සමඟද භේදකරවන පිණිස ආවෙමි. 36මනුෂ්‍යයෙකුගේ සතුරෝ නම් ඔහුගේම ගෙයි වැසියෝය. 37මට වඩා පියාටවත් මවුටවත් ප්‍රේමකරන්නා මට සුදුසු නොවේ; මට වඩා පුතාටවත් දුවටවත් ප්‍රේමකරන්නා මට සුදුසු නොවේ. 38තමාගේ කුරුසිය රැගෙන මා අනුව නේන තැනැත්තා මට සුදුසු නොවේ. 39තමාගේ ජීවිතය ආරක්ෂා කරගන්නාට ඒක නැතිවේ; මා නිසා තමාගේ ජීවිතය නැතිකරගන්නාට ඒක සම්බවේ.
40නුඹලා පිළිගන්නා මා පිළිගන්නේය, මා පිළිගන්නා මා එවූ තැනන්වහන්සේ පිළිගන්නේය. 41අනාගතවක්තෘ කෙනෙක් නිසාම අනාගතවක්තෘ කෙනෙකු පිළිගන්නාට අනාගතවක්තෘ කෙනෙකුගේ විපාකය ලැබේ; ධර්මිෂ්ඨයෙක් නිසාම ධර්මිෂ්ඨයෙකු පිළිගන්නාට ධර්මිෂ්ඨයෙකුගේ විපාකය ලැබේ. 42යමෙක් ගෝලයෙකු නිසා මේ කුඩා අයවලුන්ගෙන් එක්කෙනෙකුට ඇල්වතුර කෝප්පයක් පමණවත් බොන්ට දෙන්නේ නම් ඔහුගේ විපාකය කිසිසේත් නැති නොවන්නේයයි සැබවින් නුඹලාට කියමියි කීසේක.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy