YouVersion Logo
Search Icon

ලෙවී කථාව 23

23
ශුද්ධ මංගල්‍ය
1 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: 2ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට මෙසේ කියන්න–ශුද්ධ සභා රැස්වීම් කොට නුඹලා විසින් ප්‍රසිද්ධකළ යුතු ස්වාමීන්වහන්සේගේ මංගල්‍යයන් එනම් මාගේ නියම මංගල්‍යයන් මේවාය: 3සදවසක් වැඩකරන්ට පුළුවන. එහෙත් සත්වෙනි දවසේ ගරුමය නිවාඩුවේ සබත්ය, ශුද්ධ සභා රැස්වීමක්ය; නුඹලා කිසිම වැඩක් නොකරන්න. එය නුඹලාගේ සියලු වාසස්ථානවල ස්වාමීන්වහන්සේට පැවැත්විය යුතු සබතක්ය.
4ඒ ඒ නියම කාලවල නුඹලා විසින් ප්‍රසිද්ධකළ යුතු ශුද්ධ සභා රැස්වීම් වන ස්වාමීන්වහන්සේගේ නියම මංගල්‍යයන් මේවාය. 5පළමුවෙනි මස දස සතරවෙනි දින සවස ස්වාමීන්වහන්සේගේ පාස්කුව වේ. 6එම මස පසළොස් වෙනි දින ස්වාමීන්වහන්සේට මුහුන් නොදැමූ රොටි මංගල්‍යය වන්නේය. සත් දවසක් මුහුන් නැති රොටි කන්න. 7පළමුවෙනි දින ශුද්ධ සභා රැස්වීමක් පවත්වන්න. කිසි බර වැඩක් නොකරන්න. 8එහෙත් ගින්නෙන් කරන පූජාවක් සත් දවසක් ස්වාමීන්වහන්සේට ඔප්පුකළ යුතුය. සත්වෙනි දින ශුද්ධ සභා රැස්වීමක් පැවැත්විය යුතුය; කිසිම බර වැඩක් නොකළ යුතුයයි කීසේක.
9 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට තවත් කථාකොට කියනසේක්: 10ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට මෙසේ කියන්න–මා විසින් නුඹලාට දෙන දේශයට නුඹලා අවුත් එහි ගොයම් කපන කල නුඹලාගේ ශස්‍යයෙන් නාඹුල් ඵල මිටිය පූජකයා වෙතට ගෙනෙන්න. 11ඒ මිටිය නුඹලා උදෙසා පිළිගනු ලබන පිණිස ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි එය තේවකරන්නේය. සබත් දවසට පසුවදා පූජකයා එය තේවකෙරේවා. 12නුඹලා ඒ මිටිය තේවකරන දවසේදී ස්වාමීන්වහන්සේට දවන පූජාවක් කොට කැලලක් නැති අවුරුද්දක බැටළුවස්සෙක්ද, 13ඊට ආහාර පූජාවක් පිණිස ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් කොට තෙල් මිශ්‍රවූ සිහින් පිටි ඒඵාවකින් දසයෙන් දෙපංගුවක්ද ඊට පාන පූජාවක් කොට මුද්‍රිකපාන හිනකින් සතරෙන් පංගුවක්ද ඔප්පු කරන්න. 14එසේ ඒ දවස දක්වා නුඹලාගේ දෙවියන්වහන්සේගේ පඬුරක් නුඹලා ගෙනෙන තුරුම රොටිවත් විලඳවත් අමුකරල්වත් නුඹලා විසින් නොකෑ යුතුය. එය නුඹලාගේ සියලු පරම්පරාවලදී නුඹලාගේ සියලු වාසස්ථානවල සදාකාල පනතක්ය.
15සබතට පසුවදා වන නුඹලාගේ තේව මිටිය ගෙනෙන දවසේ පටන් ගැණලා සබත් දවස් සතක්ම පසුවෙන්ට ඇර, 16සත්වෙනි සබත් දවසට පසුව දා දක්වා පනස් දවසක් ගණන්කරගෙන, අලුත් ආහාර පූජාවක් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්න. 17නුඹලාගේ වාසස්ථානවලින් සිහින් පිටි ඒඵාවකින් දසයෙන් දෙපංගුවකින් සෑදුවාවූ මුහුන් දමා පිලිස්සුවාවූ තේව රොටි දෙකක් ස්වාමීන්වහන්සේට නාඹුල් ඵල කොට ගෙනෙන්න. 18නුඹලා ඒ රොටි සමඟ ස්වාමීන්වහන්සේට දවන පූජාවක් පිණිස කැලලක් නැති බැටළුවස්සන් සත්දෙනෙක්ද එක ගොන් නාම්බෙක්ද බැටළුවන් දෙන්නෙක්ද ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති ගින්නෙන් කළ දවන පූජාවක් කොට උන්ගේ ආහාර පූජාද පාන පූජාද සමඟ ඔප්පුකළ යුතුය. 19තවද පාප පූජාවක් පිණිස එක එළුවෙක්ද ශාන්ති පූජාවක් පිණිස එක් අවුරුදු බැටළුපැටවුන් දෙන්නෙක්ද ඔප්පුකළ යුතුය. 20පූජකයාද නාඹුල් ඵලවලින් සෑදූ රොටි සහ බැටළු පැටවුන් දෙදෙනා සමඟ උන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තේව පූජාවක් කොට තේවකෙරේවා. එය පූජකයාට ලැබෙන පිණිස ස්වාමීන්වහන්සේට ශුද්ධවන්නේය. 21එම දවසේම ශුද්ධ සභා රැස්වීමක් ප්‍රසිද්ධකර පවත්වන්න. කිසි බර වැඩක් නොකරන්න. එය නුඹලාගේ සියලු වාසස්ථානවල නුඹලාගේ පරම්පරාවලට නිරන්තර පනතක්ය.
22නුඹලාගේ දේශයේ ගොයම් කපන කල නුඹේ කෙතේ මුලුවලින් සහමුලින් කපා නොගන්න, වැටී තිබෙන කරල් එකතුකර නොගන්න. ඒවා දිළිඳුන්ට හා විදේශීන්ට අරින්න. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේයයි කීසේක.
23තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: 24ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින් මෙසේ කියන්න–සත්වෙනි මස පළමුවෙනි දින නුඹලාට ගරුමය නිවාඩුවක්ද හොරණෑ පිඹීමේ සිහිවීමක්ද ශුද්ධ සභා රැස්වීමක්ද වන්නේය. 25නුඹ කිසිම බර වැඩක් නොකළ යුතුය. ස්වාමීන්වහන්සේට ගිනි පූජාවක් ඔප්පුකළ යුතුයයි කීසේක.
26 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට තවත් කථාකොට කියනසේක්: 27ඒ කෙසේ වුවත් මේ සත්වෙනි මස දසවෙනි දින සමගිකමක් කිරීමේ දවසය. නුඹලා ශුද්ධ සභා රැස්වීමක් පැවැත්විය යුතුය, නුඹලාගේ ආත්මවලට දුක්දී ස්වාමීන්වහන්සේට ගිනි පූජාවක් ඔප්පුකළ යුතුය. 28නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹලා උදෙසා සමගිකමක් කරන පිණිස එය සමඟි කිරීමේ දවසක් නිසා ඒ දවසේදී කිසිම වැඩක් නොකළ යුතුය. 29ඒ දවසේ තමාට දුක්නොදෙන්නාවූ කවරෙක් නුමුත් තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය. 30ඒ දවසේදී කිසියම් වැඩක් කරන කවරෙකු නුමුත් ඔහුගේ සෙනඟ අතරෙන් විනාශ කරන්නෙමි. 31කිසිම වැඩක් නොකරන්න. ඒක නුඹලාගේ සියලු පරම්පරාවලට නුඹලාගේ සියලු වාසස්ථානවල නිරන්තර පනතක්ය. 32ඒක නුඹලාට ගරුමය නිවාඩුවක් වන සබතක්ය, නුඹලාගේ ආත්මවලට දුක්දෙන්න. මාසේ නවවෙනි දින සවස එනම් සවස පටන් සවස දක්වා නුඹලාගේ සබත් පවත්වන්න කීසේක.
33තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: 34ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින් මෙසේ කියන්න–මේ සත්වෙනි මස පසළොස්වෙනි දින පටන් සත් දවසක් ස්වාමීන්වහන්සේට කූඩාරම් මංගල්‍යය වන්නේය. 35පළමුවෙනි දින ශුද්ධ සභා රැස්වීමක් පවත්වන්න. කිසිම බර වැඩක් නොකරන්න. 36සත් දවසක් ගිනි පූජාවක් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්න. අටවෙනි දින ශුද්ධ රැස්වීමක් පවත්වා ගිනි පූජාවක් ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්න. එය මංගල්‍ය රැස්වීමක් බැවින් නුඹලා කිසිම බර වැඩක් නොකළ යුතුය.
37 ස්වාමීන්වහන්සේගේ සබත්ද නුඹලාගේ දානද නුඹලාගේ සියලු භාරවල්ද ස්වාමීන්වහන්සේට දෙන නුඹලාගේ සියලු සතුටු පඬුරුද ඇර, 38ඒ ඒ දවසට නියම ලෙස ස්වාමීන්වහන්සේට ගින්නෙන් කරන පූජාවක් වන දවන පූජාවක්ද ආහාර පූජාවක්ද යාගයක්ද පාන පූජා ඔප්පුකරන පිණිස ශුද්ධ සභා රැස්වීම් කොට නුඹලා විසින් ප්‍රසිද්ධකළ යුතු ස්වාමීන්වහන්සේගේ නියම මංගල්‍යයන් මේවාය.
39ඒ කෙසේ වුවත් දේශයේ අස්වැන්න රැස්කරගත් කල්හි සත්වෙනි මස පසළොස්වෙනි දින පටන් සත් දවසක් ස්වාමීන්වහන්සේගේ මංගල්‍ය පවත්වන්න. පළමුවෙනි දින ගරුමය නිවාඩුවක්ද අටවෙනි දිනත් ගරුමය නිවාඩුවක්ද වන්නේය. 40පළමුවෙනි දින ලක්ෂණ ගස්වල ඵලද තල් අතුද බොහෝ කොළ ඇති ගස්වල අතුද ගංනළා ගස්ද රැගෙන සත් දවසක් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිවෙන්න. 41අවුරුද්දකට සත් දවසක් එය ස්වාමීන්වහන්සේට මංගල්‍යයක් කොට පවත්වන්න. එය නුඹලාගේ පරම්පරාවල නිරන්තර පනතක්ය. සත්වෙනි මාසයේ ඒක පවත්වන්න. 42මා ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් ගෙනා කල ඔවුන් පැල්වල වාසය කෙරෙවු බව නුඹලාගේ පරම්පරාවල අය දැනගන්නා පිණිස සත් දවසක් පැල්වල වාසයකරන්න. 43ඉශ්‍රායෙල්හි ස්වදේශිකවූ සියල්ලෝ පැල්වල වාසය කෙරෙත්වා. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේයයි කීසේක. 44මෝසෙස්ද ස්වාමීන්වහන්සේගේ නියම මංගල්‍යයන් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දන්වා දුන්නේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy