YouVersion Logo
Search Icon

ලෙවී කථාව 22

22
ශුද්ධ මෙහෙයේදී ක්‍රියාකළයුතු අන්දම
1 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: 2ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් මට කැපකරන ශුද්ධ දේවලින් වෙන්ව සිටින්ටත් මාගේ ශුද්ධ නාමය දූෂණයනොකරන්ටත් ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද කියන්න. මම ස්වාමීන්වහන්සේය. 3ඔවුන්ට මෙසේ කියන්න: නුඹලාගේ පරම්පරාවලදී නුඹලාගේ මුළු වංශයෙන් කවරෙක් නුමුත් තමාගේ අපවිත්‍රකම තිබෙද්දී ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් ස්වාමීන්වහන්සේට කැපකරන ශුද්ධවූ දේවලට ළංවුණොත්, ඒ තැනැත්තා මා ඉදිරියෙන් සිඳදමනු ලබන්නේය. මම ස්වාමීන්වහන්සේය. 4ආරොන්ගේ වංශයෙන් කොයි පුරුෂයෙක් නුමුත් කුෂ්ඨ රෝගියෙක් හෝ යම් ප්‍රමේහයක් ඇත්තෙක් හෝ වන්නේද ඔහු පවිත්‍රවනතෙක් ශුද්ධවූ දෙයින් නොකෑ යුතුය. මළවුන් කරණකොටගෙන අපවිත්‍රවී තිබෙන කිසි දෙයකට ස්පර්ශවන කෙනෙක්වත් ශුක්‍ර වැගිරීමක් ඇති කෙනෙක්වත්, 5තමා අපවිත්‍රකළ හැකි බඩගායන කිසි සතෙකුට හෝ තමා කොයි අන්දමින් නුමුත් අපවිත්‍රකළ හැකි අපවිත්‍රකමක් ඇති කිසි පුරුෂයෙකුට හෝ, 6ස්පර්ශවන තැනැත්තෙක්වත් සවස දක්වා අපවිත්‍රවන්නේය, තමා වතුර නාගත්තොත් මිස නැත්නම් ඔහු ශුද්ධ දේවලින් නොකෑ යුතුය. 7නුමුත් ඉර බැස්ස කල ඔහු පවිත්‍රවන්නේය; පසුව ශුද්ධවූ දේ කන්ට ඔහුට පුළුවන, මක්නිසාද ඔහුගේ භෝජන ඒවාය. 8ඔහු ඉබේ මැරුණු නොහොත් මෘගයන් විසින් මරාදැමූ සතෙකුගේ මස් කා අපවිත්‍ර නොවිය යුතුය. මම ස්වාමීන්වහන්සේය. 9එබැවින් ඔව්හු මාගේ නියමය දූෂණයකොට, ඒ නිසා පාපය දරා, එහි නොනසින පිණිස එය රක්ෂාකරත්වා. මම ඔවුන් විශුද්ධකරන ස්වාමීන්වහන්සේය. 10අන්‍යවූ කිසිවෙක් ශුද්ධවූ දෙයින් නොකෑ යුතුය. පූජකයා ළඟ සිටින ආගන්තුකයෙක්වත් කුලියට ගත් වැඩකාරයෙක්වත් ශුද්ධවූ දෙයින් නොකෑ යුතුය. 11එහෙත් පූජකයෙකු විසින් තමාගේ මිලයෙන් මිලේට ගත් කෙනෙකුට එයින් කන්ට පුළුවන; ඔහුගේ ගෙදර උපන් අයටත් ඔහුගේ භෝජනවලින් කන්ට පුළුවන. 12පූජකයෙකුගේ දුවක් අන්‍ය ගෝත්‍රයක පුරුෂයෙකුගේ භාර්යාව වුණොත් ඈ ශුද්ධ දේවල එසවීමේ පූජාවෙන් නොකෑ යුතුය. 13එහෙත් පූජකයෙකුගේ දුව වැන්දඹුවක්ව නොහොත් අත්හරිනු ලැබ දරුවන් නැතුව ඇගේ පියාගේ ගෙට හැරී ඇවිත් සිටී නම්, ඇගේ තරුණ වයසේදී මෙන් ඇගේ පියාගේ භෝජනවලින් ඈට කන්ට පුළුවන. නුමුත් අන්‍යවූ කිසිවෙක් එයින් නොකෑ යුතුය. 14තවද යම් මනුෂ්‍යයෙක් නොදැනුවත්ව ශුද්ධ දෙයක් කෑවොත් ඔහු ඒ තරමෙන් පහෙන් කොටසක් ඊට එකතුකොට ශුද්ධ දෙය පූජකයාට දියයුතුය. 15ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් ස්වාමීන්වහන්සේට පූජාකරන්නාවූ ඔවුන්ගේ ශුද්ධ දේවල් කෑමෙන් දෝෂ පමුණුවන අයුතුකම දරන්ට නොසලස්වන පිණිස ඔව්හු ඒවා දූෂණයනොකෙරෙත්වා. 16මක්නිසාද මම ඒවා විශුද්ධකරන ස්වාමීන්වහන්සේයයි කීසේක.
17 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: 18ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන්ටද කථාකොට මෙසේ කියන්න–ඉශ්‍රායෙල් වංශයෙන් හෝ ඉශ්‍රායෙල්හි වසන විදේශීන්ගෙන් හෝ තමුන් පූජාව ඔප්පුකරන කවරෙක් නුමුත් ඔහුගේ භාරවලින් එකක්වත් ඔහුගේ සතුටු පඬුරුවලින් එකක්වත් ස්වාමීන්වහන්සේට දවන පූජාවක් කොට ඔප්පුකරන්නේනම්; 19නුඹලා පිළිගනු ලබන පිණිස ගවයන්ගෙන් හෝ බැටළුවන්ගෙන් හෝ එළුවන්ගෙන් හෝ කැලලක් නැති පිරිමි සතෙකු ඔප්පුකරන්න. 20කැලලක් ඇති එකෙකු ඔප්පුනොකරන්න. මක්නිසාද එය නුඹලා උදෙසා පිළිගනු නොලබන්නේය. 21යමෙක් භාරයක් ඉෂ්ටකිරීමට නොහොත් සතුටු පඬුරක් පිණිස ගවයන්ගෙන්වත් එළු බැටළු රැළෙන්වත් ශාන්ති පූජාවක් ඔප්පුකරන විට එය පිළිගනු ලබන පිණිස එහි අංග සම්පූර්ණව තිබිය යුතුය; උගේ කිසි කැලලක් නොතිබිය යුතුය. 22අන්ධවූද අවයව කැඩුණාවූද අබ්බාගාතවූද වණවත් පිළිකාවත් දදවත් ඇත්තාවූද සතුන් ස්වාමීන්වහන්සේට ඔප්පු නොකරන්න, උන්ගෙන් පූජාසනය පිට ස්වාමීන්වහන්සේට ගිනි පූජාවක් ඔප්පුනොකරන්න. 23අංග විකල්වූ නොහොත් අඩුපාඩුවූ ගවයෙකු හෝ බැටළුවෙකු හෝ ස්වෙච්ඡා පූජාවක් පිණිස පූජාකළ හැකිය; නුමුත් භාරයක් පිණිස ඌ පිළිගනු නොලබන්නේය. 24අණ්ඩ මඩිනලද හෝ පොඩිකරනලද හෝ කඩාදමනලද හෝ කපාදමනලද හෝ සතෙක් ස්වාමීන්වහන්සේට පූජා නොකරන්න: නුඹලාගේ දේශයෙහි එසේ නොකරන්න. 25නුඹලාගේ දෙවියන්වහන්සේගේ භෝජනය පිණිස මුන්ගෙන් කිසිවෙකු විදේශියෙකුගේ අතින් ගෙන ඔප්පුනොකරන්න; මක්නිසාද උන්ට අන්සීනයක් වී තිබේ, උන්ට කැලලක් ඇත්තේය. උන් නුඹලා උදෙසා පිළිගනු නොලබන්නේයයි කීසේක.
26 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: 27ගවයෙක් හෝ බැටළුවෙක් හෝ එළුවෙක් හෝ බිහිවූ කල්හි ඌ සත් දවසක් මවු ළඟ සිටීවා; අටවෙනි දවස පටන් ඉන් මත්තට ඌ ස්වාමීන්වහන්සේට ගිනි පූජාවක්කොට ඔප්පුකිරීමට සුදුසු එකෙක්ව සිටියි. 28තවද එළදෙනෙක් වුවත් බැටළු දෙනෙක් වුවත් ඌ සහ උගේ පැටවා එක දවසෙහි නොමරන්න. 29නුඹලා ස්තුති පූජාවක් ස්වාමීන්වහන්සේට පූජාකරන කල්හි නුඹලා පිළිගනු ලබන ලෙස පූජාකරන්න. 30එම දවසෙහිම එය කෑ යුතුය; පසුවදා වන තුරු එයින් කිසිවක් ඉතුරුනොකළ යුතුය. මම ස්වාමීන්වහන්සේය. 31එබැවින් මාගේ ආඥා රක්ෂාකොට ඒවා පවත්වන්න. මම ස්වාමීන්වහන්සේය. 32නුඹලා මාගේ ශුද්ධවූ නාමයට අපහාස නොකළ යුතුය; මම ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි විශුද්ධකරනු ලබන්නෙමි. මම 33නුඹලා විශුද්ධකරන ස්වාමීන්වහන්සේය, නුඹලාගේ දෙවියන්වහන්සේ වන පිණිස නුඹලා මිසර දේශයෙන් ගෙනාවෙමි. මම ස්වාමීන්වහන්සේයයි කීසේක.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy