YouVersion Logo
Search Icon

යෙසායා 32

32
ධර්මිෂ්ඨ ආණ්ඩුව ගැන අනාගතකීමක්
1බලව, ධර්මිෂ්ඨකමින් රජෙක් රජකම්කරන්නේය, අධිපතීහුද දැහැමින් අධිපතිකම් කරන්නෝය. 2මනුෂ්‍යයෙක් වනාහි සුළඟෙන් මුවාවෙන ඉඩමක් සහ කුණාටුවෙන් ආවරණයක් මෙන්ද වියළි ප්‍රදේශයක ජල ගංගා මෙන්ද විඩාවූ දේශයක මහ පර්වතයක සෙවණ මෙන්ද වන්නේය. 3දකින්නන්ගේ ඇස් අඳුරු නොවන්නේය, අසන්නන්ගේ කන් ඇහුම්කන්දෙන්නේය. 4ඉක්මන්කාරයන්ගේ සිත දැනගැන්ම තේරුම්ගන්නේය, වික්කලුන්ගේ දිව පහසුවෙන් පැහැදිලිලෙස කථාකරන්නේය. 5අධමයා උත්තමයෙක්ය කියාවත් ප්‍රයෝගකාරයා ගුණවන්තයෙක්ය කියාවත් තවත් කියනු නොලබන්නේය. 6මක්නිසාද අධමයා අභක්තික ලෙස හැසිරෙමින්ද ස්වාමීන්වහන්සේට විරුද්ධව අපහාස කථාකරමින්ද බඩගිනි අයගේ ප්‍රාණය හිස්කරමින්ද පිපාසා ඇත්තාගේ පානය අහක්කරමින්ද දුෂ්ටලෙස කථාකරන්නේය, ඔහුගේ සිතද අයුතුකම් කරන්නේය. 7ප්‍රයෝගකාරයාගේ උපකරණ නපුරුය. දිළින්දා යුක්තිය කථාකරන විට පවා ඔහු බොරු වචනවලින් යටහතුන් විනාශකරන්ට දුෂ්ට උපා යොදන්නේය. 8එහෙත් ත්‍යාගවත් තැනැත්තා ත්‍යාගවත් දේ යෝජනාකරයි; ඔහු වනාහි ත්‍යාගවත් දේවලම යෙදී සිටියි.
නොසැලකිලි ස්ත්‍රීන්ට තරවටු කිරීම. හොඳ කාලයක් පසුව පැමිණෙන බව
9එම්බා නොසැලකිලි ස්ත්‍රීවරුනි, නැගිටින්න, මාගේ හඬ අසන්න; අප්‍රවේසම් දූවරුනි, මාගේ බසට ඇහුම්කන්දෙන්න. 10අප්‍රවේසම් තැනැත්තියෙනි, අවුරුද්දකට වැඩි කාලයකින් නුඹලා කැලඹෙන්නහුය. මක්නිසාද මුද්‍රිකඵල ඉවරවන්නේය; ඵල නෙළාගැනීමක් නොපැමිණෙන්නේය. 11නොසැලකිලි ස්ත්‍රීවරුනි, වෙවුලන්න; අප්‍රවේසම් තැනැත්තියෙනි, චංචලවෙන්න; වස්ත්‍ර ගළවා දමා, නිර්වස්ත්‍රවී, ඉඟටිවල ගෝණිරෙදි බැඳගන්න. 12ඔව්හු ප්‍රසන්න කෙත් ගැනත් සාරවත් මිදිවැල් ගැනත් ළයට ගසාගන්නෝය. 13මාගේ සෙනඟගේ බිම්වල කටුද ගොකටුද හටගන්නේය; ප්‍රීතිමත් නගරයේ සියලුම ප්‍රිය ගෙවල්වල පවා එසේ වන්නේය. 14මක්නිසාද මාළිගාව පාළුවී ජනගහනවූ නුවර අත්හරිනු ලබන්නේය; හෙළත් මුරකොටුවත් හැමකාලයටම ගුහාවල්ද වල් කොටළුවන්ට ප්‍රීතියක්ද රැළවලට තෘණ බිම්ද වන්නේය. 15එසේවන්නේ උසස්ථානයෙන් ආත්මය අප කෙරෙහි වගුරුවන්ටත් කාන්තාරය උයනක් වෙන්ටත් උයන වනයක් කොට ගණන්ගනු ලබන්ටත් යෙදෙන තුරුය. 16එකල යුක්තිය කාන්තාරයෙහි වාසයකරන්නේය, ධර්මිෂ්ඨකම උයනෙහි පවතින්නේය. 17ධර්මිෂ්ඨකමේ ක්‍රියාව සමාදානයද ධර්මිෂ්ඨකමේ ඵල සදාකාලයටම නිශ්චලය හා සුරක්ෂිත භාවයද වන්නේය. 18මාගේ සෙනඟ සමාදාන නිවාසයකද සුරක්ෂිත වාසස්ථානවලද නිවාඩු ස්ථානවලද වසන්නෝය. 19නුමුත් වනය වැටීයාමේදී ගල්වර්ෂාවක් වහිනවා ඇත; 20නුවරද සහමුලින්ම පහත්කමට පැමිණෙනවා ඇත. සෑම දියපාරවල් ළඟ වපුරන්නාවූ, ගොනාගෙත් කොටළුවාගෙත් පාද මුදන්නාවූ නුඹලා වාසනාවන්තයෝය.

Currently Selected:

යෙසායා 32: SROV

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy