YouVersion Logo
Search Icon

උත්පත්ති 50

50
යාකොබ්ගේ භූමදානය
1යෝසෙප් තමාගේ පියාගේ මුහුණ මතුයෙහි හඬ හඬා ඔහු සිඹගත්තේය. 2පසුව යෝසෙප් තමාගේ පියාගේ මිනිය සුවඳ ද්‍රව්‍ය ගල්වා ආරක්ෂාකරන්ට තමාගේ මෙහෙකරුවූ වෙදුන්ට අණකෙළේය. ඒ හැටියට වෙද්දු ඉශ්‍රායෙල්ගේ මිනියට සුවඳ ද්‍රව්‍ය ගල්වා තැබූය. 3ඔව්හු ඔහු උදෙසා සතළිස් දවසක් සම්පූර්ණකළෝය; මක්නිසාද සුවඳ ද්‍රව්‍ය ගැල්වීමට එපමණ දවස් ගතකරත්. මිසරවරුද ඔහු ගැන සැත්තෑ දවසක් වැලපුණෝය.
4ඔහු ගැන වැලපීමේ දවස් ඉකුත්වූ කල්හි යෝසෙප් ඵාරාවෝගේ ගෙයි වැසියන්ට කථාකොට: නුඹලාගෙන් මට කරුණාව ලැබී තිබේනම් නුඹලා ඵාරාවෝට කථාකරමින් මෙසේ කියන ලෙස ඉල්ලමි– 5මාගේ පියා මට කථාකර: බලව, මම නසිමි. කානාන් දේශයෙහි මා විසින් මට හාරා තිබෙන මාගේ සොහොන්ගෙයි මා තැන්පත්කළ යුතුය කියා මා දිවුරෙවුවේය. එබැවින් දැන් ගොස් මාගේ පියා තැන්පත් කිරීමට මට අවසර ලැබේවා, මම නැවත එන්නෙමියි කියන්නැයි කීවේය. 6ඵාරාවෝද: නුඹේ පියා නුඹ දිවුරෙවු ලෙස ගොස් ඔහු තැන්පත් කරන්නැයි කීවේය. 7එවිට යෝසෙප් තමන් පියා තැන්පත්කරන පිණිස ගියේය. ඵාරාවෝගේ සියලු මෙහෙකරුවෝද ඔහුගේ ගෙයි වැඩිමහල්ලෝද මිසර දේශයේ සියලු වැඩිමහල්ලෝද 8යෝසෙප්ගේ ගෙයි වැසි සියල්ලෝද ඔහුගේ සහෝදරයෝද ඔහුගේ පියාගේ ගෙයි වැසියෝද ඔහු සමඟ ගියෝය. ඔව්හු තමන්ගේ දරුවන්ද තමන්ගේ එළුබැටළු රැළවල්ද තමන්ගේ ගව රැළවල්ද පමණක් ගෝෂෙන් දේශයෙහි නවත්වා ගියෝය. 9රථ සහ අසරුවෝද ඔහු සමඟ ගියෝය. ඒ වනාහි ඉතා මහත් පිරිසක් විය. 10ඔව්හු යොර්දානෙන් එගොඩ පිහිටි ආතාද්ගේ පාවරට පැමුණුණ කල එහිදී ඉතා මහත්වූ තද වැලපීමකින් වැලපුණෝය. ඔහු තම පියාණන් ගැන සත් දවසක් ශෝකවුණේය. 11දේශවාසීවූ කානානිවරු ආතාද්ගේ පාවරේ සිදුවූ වැලපීම දැක: මේක මිසරවරුන්ට බරපතළ වැලපීමකැයි කීවෝය. එබැවින් යොර්දානෙන් එගොඩ තිබෙන ඒ ස්ථානයට ආබෙල්-මිශ්‍රයිම් යන නාමය තබන ලද්දේය. 12ඔහුගේ පුත්‍රයෝ තමන්ට ඔහු අණ දුන් ලෙස ඔහුට කළෝය. 13මක්නිසාද ඔහුගේ පුත්‍රයෝ ඔහු කානාන් දේශයට ගෙන ගොස් ආබ්‍රහම් විසින් හිත්තීයවූ එප්‍රොන්ගෙන් උරුමවූ සොහොන්පළක් පිණිස කෙතත් සමඟ මිලේට ගත්තාවූ මම්රේ ඉදිරියෙහි වූ මක්පේලායේ කෙතේ ගුහාවෙහි ඔහු තැන්පත් කළෝය.
යෝසෙප්ගේ අන්තිම දවස්
14යෝසෙප් තමාගේ පියා තැන්පත්කළ පසු ඔහුද ඔහුගේ සහෝදරයෝද තම පියා තැන්පත්කරන පිණිස ඔහු සමඟ ගිය සියල්ලෝද මිසරයට හැරී ආවෝය. 15එවිට යෝසෙප්ගේ සහෝදරයෝ තමන්ගේ පියා නැසීගිය බව දැක: සමහරවිට යෝසෙප් අපට වෛරකොට අප විසින් ඔහුට කළ සියලු නපුරුකම් ගැන සම්පූර්ණ ලෙස අපෙන් පළිගන්නේයයි කීවෝය. 16ඔව්හු යෝසෙප් වෙතට පණිවිඩයක් යවමින්: ඔබගේ පියා තමාගේ මරණයට පළමුවෙන් අපට අණකරමින්– 17නුඹලා යෝසෙප්ට මෙලෙස කියන්න; ඔබගේ සහෝදරයන්ගේ අපරාධයත් ඔබට නපුරුකම්කළ ඔවුන්ගේ පාපයත් කමාකළ මැනවි. දැනුදු ඔබගේ පියාගේ දෙවියන්වහන්සේගේ මෙහෙකරුවන්ගේ වරද ක්ෂමාකරන ලෙස ඉල්ලමුයයි කීවෝය. ඔවුන් යෝසෙප්ට කථාකළ විට ඔහු හැඬුවේය. 18ඔහුගේ සහෝදරයෝ ගොස් ඔහු ඉදිරියෙහි වැටී: මෙන්න, අපි ඔබගේ මෙහෙකරුවෝයයි කීවෝය. 19යෝසෙප්: භයනොවෙන්න. මම දෙවියන්වහන්සේ වෙනුවට සිටිම්ද? 20නුඹලා වනාහි මට නපුර කරන්ට අදහස්කළහුය; එහෙත් බොහෝ සෙනඟ දිවි සහිතව රක්ෂාකරන පිණිස අද තිබෙන ප්‍රකාර ඉෂ්ටකිරීමට දෙවියන්වහන්සේ ඒක යහපතට අදහස්කළසේක. 21එබැවින් භය නොවන්න. මම නුඹලා සහ නුඹලාගේ දරුවන්ද පෝෂ්‍යකරන්නෙමියි කීවේය. මෙසේ ඔහු ඔවුන් සනසා කරුණාවෙන් ඔවුන්ට කථාකෙළේය.
22යෝසෙප්ද ඔහුගේ පියාගේ වංශයද මිසරයෙහි වාසයකළෝය. යෝසෙප් එකසිය දස අවුරුද්දක් ජීවත්ව 23එප්‍රායිම්ගේ දරුවන් තුන්වෙනි පරම්පරාව දක්වා දුටුවේය. මනස්සේගේ පුත්‍රවූ, මාඛිර්ගේ දරුවෝද යෝසෙප්ගේ උකුළ පිට ඇතිවුණෝය. 24යෝසෙප් තමාගේ සහෝදරයන්ට කථාකොට: මම නසිමි. එහෙත් දෙවියන්වහන්සේ සැබවින් නුඹලා බලා වදාරා ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද දෙන පිණිස දිවුළ දේශයට මේ දේශයෙන් නුඹලා ගෙනයනවා ඇතැයි කීවේය. 25තවද යෝසෙප් ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් දිවුරුමක් ගනිමින්: දෙවියන්වහන්සේ සැබවින්ම නුඹලා දෙස බලා වදාරනවා ඇත, එවිට නුඹලා මාගේ ඇට මෙතනින් ගෙනයන්ට ඕනෑයයි කීවේය. 26යෝසෙප් එකසිය දස අවුරුද්දක් වයස්ව මළේය. ඔව්හු ඔහුගේ මිනිය සුවඳ ද්‍රව්‍ය ගල්වා ආරක්ෂාකළෝය, ඔහු මිසරයෙහි මිනී පෙට්ටියක තබනලද්දේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy