YouVersion Logo
Search Icon

නික්මයාම 13

13
කුලුඳුලන් ස්වාමීන්වහන්සේට කැපකිරීම
1 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: 2ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි මනුෂ්‍යයන්ගෙන්ද මෘගයන්ගෙන්ද ගර්භයේ ප්‍රථම ඵලවූ සියලු කුලුඳුලන් මට කැපකරව. එය මට අයිතියයි කීසේක.
3මෝසෙස් සෙනඟට කථාකොට: නුඹලා මිසරයෙන් එනම් වහල්කමේ ගෙයින් පිටතට ආවාවූ මේ දින සිහිකරන්න; මක්නිසාද ස්වාමීන්වහන්සේ ස්වකීය හස්ත බලයෙන් එතැනින් නුඹලා ගෙනාසේක. එහෙයින් මුහුන් මුසු කිසිවක් නොකෑ යුතුය. 4ආබීබ්නම් මාසයේ මේ දවසේ නුඹලා නික්මයන්නහුය. 5තවද ස්වාමීන්වහන්සේ නුඹට දෙන පිණිස නුඹේ පියවරුන්ට දිවුළාවූ, කානානිවරුන්ගේත් හිත්තීවරුන්ගේත් අමෝරිවරුන්ගේත් හිවීවරුන්ගේත් යෙබූසිවරුන්ගේත් දේශය වන කිරි සහ මීපැණි ගලායන දේශයට නුඹ ගෙනා කල මේ මාසයේ මේ මෙහෙය පැවැත්විය යුතුය. 6සත් දවසක් මුහුන් නුමුසු රොටි කෑ යුතුය, සත්වෙනි දවසේදී ස්වාමීන්වහන්සේට මංගල්‍යයක් වන්නේය. 7ඒ සත් දවස මුළුල්ලෙහි මුහුන් නුමුසු රොටි කෑ යුතුය; මුහුන් මුසු රොටි නුඹ වෙත නොතිබිය යුතුය, නුඹේ සියලු සීමාවල නුඹ වෙත මුහුන් නොතිබිය යුතුය. 8මෙසේ කරන්නේ මා මිසරයෙන් ඊමේදී ස්වාමීන්වහන්සේ මට කළ දේ නිසාය කියා ඒ දවසේ නුඹේ පුත්‍රයාට දන්වන්න. 9ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව නුඹේ මුඛයෙහි තිබෙන පිණිස එය නුඹේ අතේ නුඹට ලකුණක් ලෙසද නුඹේ ඇස් අතරේ සිහිවීමක් ලෙසද වන්නේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ බලවත් හස්තයකින් නුඹ මිසරයෙන් පිටතට ගෙනාසේක. 10එබැවින් අවුරුද්දෙන් අවුරුද්ද නියම කාලයෙහි මේ නියෝගය පවත්වන්න.
11 ස්වාමීන්වහන්සේ නුඹටත් නුඹේ පියවරුන්ටත් දිවුළ ලෙස කානානිවරුන්ගේ දේශයට නුඹ ගෙනවුත් එය නුඹට දුන් කල්හි, 12ගර්භයෙහි ප්‍රථම ඵලවූ සියල්ලන්ද නුඹ සන්තක මෘගයන්ගෙන් සියලු කුලුඳුලන්ද ස්වාමීන්වහන්සේට වෙන්කරන්නෙහිය; පිරිමි ස්වාමීන්වහන්සේට වන්නෝය. 13නුමුත් නුඹ කොටළුවන්ගේ සියලු කුලුඳුලන් බැටළු පැටවෙකු බැගින් දී මුදාගත යුතුය; ඌ මුදන්ට නොකැමැත්තෙහිනම් උගේ බෙල්ල කැඩිය යුතුය. එහෙත් නුඹේ පුත්‍රයන් අතරෙන් සියලු මනුෂ්‍ය කුලුඳුලන් මුදාගත යුතුය. 14තවද මතු පැමිණෙන කාලයෙහි නුඹේ පුත්‍රයා: මේ කිමෙක්දැයි අසන කල ස්වකීය හස්ත බලයෙන් ස්වාමීන්වහන්සේ මිසරයෙන් එනම් වහල්කමේ ගෙයින් අප පිටතට ගෙනාසේක. 15තවද ඵාරාවෝ අප නාරින ලෙස සිත දැඩිකරගන සිටි කල්හි ස්වාමීන්වහන්සේ මිසර දේශයේ සියලු කුලුඳුලන් එනම් මනුෂ්‍යයන්ගේද මෘගයන්ගේද සියලු කුලුඳුලන් මැරූසේක. එබැවින් ගර්භයෙහි ප්‍රථම ඵලවූ සියලු පිරිමින් මම ස්වාමීන්වහන්සේට පූජාකරමි; එහෙත් මාගේ පුත්‍රයන් අතරේ සියලු කුලුඳුලන් මුදාගනිමි. 16ඒක නුඹේ අතෙහි ලකුණක් පිණිසද ඇස් අතරෙහි නළල් පටි පිණිසද වන්නේය. මක්නිසාද ස්වකීය හස්ත බලයෙන් ස්වාමීන්වහන්සේ මිසරයෙන් අප පිටතට ගෙනාසේකැයි ඔහුට කියන්නැයි කීවේය.
රතු මුහුද පසුකර යාම
17තවද ඵාරාවෝ සෙනඟ යන්ට හැරිය කල්හි පිලිස්තිවරුන්ගේ දේශය මැදින් යාම කිට්ටු නුමුත් දෙවියන්වහන්සේ ඒ මාර්ගයෙන් ඔවුන් ගෙන නොගියසේක; මක්නිසාද: සෙනඟ යුද්ධය දැක සමහරවිට පසුතැවිලිව මිසරයට හැරී නොයන පිණිසයයි දෙවියන්වහන්සේ කීසේක. 18එහෙත් දෙවියන්වහන්සේ සෙනඟ රතු මුහුද ළඟ වනාන්තරය පාරේ වටකර යන්ට සැලැස්වූසේක. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මිසර දේශයෙන් සන්නාහ සන්නද්ධව ගියෝය. 19මෝසෙස්ද යෝසෙප්ගේ ඇට තමා සමඟ ගෙනගියෝය. මක්නිසාද යෝසෙප්: සැබවින් දෙවියන්වහන්සේ නුඹලා දෙස බලනසේක; නුඹලා සමඟ මාගේ ඇට මෙතැනින් ගෙනයන්ට ඕනෑයයි ඉශ්‍රායෙල් පුත්‍රයන් තදින් දිවුරවා තිබුණේය. 20ඔව්හු සුකොත් නම් ස්ථානයෙන් ගමන්කර වනාන්තරය අද්දර ඒතාම්හි කඳවුරු බැඳගත්තෝය. 21තවද ඔවුන් දවාලෙත් රාත්‍රියෙත් ගමන්කරන පිණිස ස්වාමීන්වහන්සේ ඔවුන්ට මගපෙන්වීමට දාවල් වලා ටැඹකින්ද රාත්‍රියේ ඔවුන්ට එළිය දීමට ගිනි ටැඹකින්ද ඔවුන්ට පෙරටුව ගියසේක. 22දාවල් වලා ටැඹද රාත්‍රියේ ගිනි ටැඹද සෙනඟ ඉදිරියෙන් පහව නොගියේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in