YouVersion Logo
Search Icon

ධර්මදේශකයා 8

8
රාජාඥා සැලකීම
1ප්‍රඥාවන්තයාට සමාන කවරෙක්ද? කාරණයක අර්ථය දන්නේ කවුද? මනුෂ්‍යයෙකුගේ ප්‍රඥාව නිසා ඔහුගේ මුහුණ පැහැපත්වන්නේය, ඔහුගේ මුහුණේ රළුකමද වෙනස්වන්නේය. 2රජුගේ ආඥාව රක්ෂාකරන්ට නුඹ දෙවියන්වහන්සේට දිවුරුම් දුන් නිසා එසේ කරන්ට මම නුඹට අවවාදකරමි. 3ඔහු ඉදිරියෙන් යන්ට ඉක්මන් නොවන්න; නපුරු දෙයක නොපවතින්න. මක්නිසාද ඔහු කැමති කොයි දෙයක් නුමුත් ඔහු කරනවා ඇත. 4එසේය, රජුගේ වචනය බල සහිතය; ඔබ මක්කරනවාදැයි ඔහුට කියන්නේ කවුද? 5ආඥාව රක්ෂාකරන්නා අනතුරක් නොවිඳින්නේය; ප්‍රඥාවන්තයාගේ සිතද කාලයත් විනිශ්චයත් දන්නේය. 6මක්නිසාද හැම කාරණයටම කාලයකුත් විනිශ්චයකුත් තිබේ; එසේය, මනුෂ්‍යයාගේ දුක ඔහු කෙරෙහි මහත්ව තිබේ. 7මක්නිසාද මතු සිදුවෙන්නේ මොකද කියා ඔහු නොදනියි; ඒක වෙන්නේ කොහොමද කියා ඔහුට දන්වන්නේ කවුද? 8ප්‍රාණය නවත්වාගන්න හැටියට ප්‍රාණය කෙරෙහි බලය ඇති කෙනෙක් නැත; මරණයේ දවස කෙරෙහි බලය ඇති කෙනෙකුත් නැත; ඒ යුද්ධයෙන් මිදීමකුත් නැත. දුෂ්ටකම්කරන්නාද දුෂ්ටකම නිසා නිදහස්වෙන්නේ නැත. 9මෙකී සියල්ලම මම දැක, ඉර යට කෙරෙන සියලු වැඩවලට මාගේ සිත යොමුකෙළෙමි. මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ඔවුන් කෙරෙහි ආණ්ඩුකරන කාලයක් තිබේ.
10තවද දුෂ්ටයන් තැන්පත්කරනු ලබන බවද ඔවුන් මිනීවළට පැමිණෙන බවද යුක්තිය ඉෂ්ටකළ අය ශුද්ධස්ථානයෙන් ඉවත්ව ගොස් නුවරෙහි මතක නැතිකරනු ලබන බවද දුටිමි. මේකත් නිෂ්ඵලකමක්ය.
දිව්‍ය ආණ්ඩුවේ ගුප්තභාවය
11නපුරු ක්‍රියාවකට විරුද්ධව නඩු තීන්දුව ඉක්මනින් ඉෂ්ට නොවන නිසා මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් නපුර කිරීමට ඔවුන් තුළ නිර්භීතවන්නේය. 12පව්කාරයෙක් සිය වරක් නපුර කර බොහෝකල් ජීවත්වුණත්, දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තන්ට එනම් උන්වහන්සේ ඉදිරියෙහි භයවෙන්නන්ට යහපත සිද්ධවෙන බව සැබවින් දනිමි. 13නුමුත් දුෂ්ටයා දෙවියන්වහන්සේ ඉදිරියෙහි භය නොවන බැවින් ඔහුට යහපත සිද්ධවෙන්නේවත් සෙවණැල්ලක් වැනි ඔහුගේ දවස් දීර්ඝවෙන්නේවත් නැත. 14පොළොවෙහි කෙරෙන නිෂ්ඵලකමක් ඇත; එනම් සමහරවිට දුෂ්ටයන්ගේ ක්‍රියාවේ හැටියට ධර්මිෂ්ඨයන්ට සිද්ධවීමත් ධර්මිෂ්ඨයන්ගේ ක්‍රියාවේ හැටියට දුෂ්ටයන්ට සිද්ධවීමත්ය. මේකත් නිෂ්ඵලකමක්යයි කීමි. 15එවිට ප්‍රීතිය හොඳයයි සිතුවෙමි, මක්නිසාද කා බී ප්‍රීතිවීමට වඩා ඉර යට මනුෂ්‍යයාට හොඳ දෙයක් නැත්තේය. දෙවියන්වහන්සේ ඉර යට ඔහුට දෙන ඔහුගේ ජීවිතයේ දවස්වල ඔහුගේ වෙහෙසීමෙන් ඔහුට ඉතිරිවන්නේ ඒකය.
16ප්‍රඥාව දැනගන්ටත් පොළොවෙහි කෙරෙන වැඩ දකින්ටත් මාගේ සිත යොමුකෙළෙමි. (මක්නිසාද දාවල්වත් රෑවත් තමාගේ ඇස්වලින් නින්ද නොදකින කෙනෙක් ඇත). 17එවිට මම දෙවියන්වහන්සේගේ මුළු වැඩය වන ඉර යට කෙරෙන වැඩය මනුෂ්‍යයාට තේරුම්ගන්ට බැරි බව දුටිමි. මක්නිසාද මනුෂ්‍යයා ඒක සොයා දැනගන්ට කොපමණ උත්සාහකළත් ඒක තේරුම්ගන්ට පුළුවන්වෙන්නේ නැත; ප්‍රඥාවන්තයා ඒක දැනගන්ට සිතන නුමුත් ඔහුට පවා තේරුම්ගන්ට බැරිවන්නේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy