YouVersion Logo
Search Icon

ධර්මදේශකයා 7

7
නොයෙක් ගුරූපදේශ
1හොඳ නාමයක් අනර්ඝ තෛලයට වඩා උතුම්ය; උපන් දවසට වඩා මැරෙන දවස හොඳය. 2මංගල්‍ය ගෙදරට යාමට වඩා වැලපීමේ ගෙදරට යාම හොඳය. මක්නිසාද එය සියලු මනුෂ්‍යයන්ගේ අන්තිමය වේ; ජීවත්ව සිටින්නා ඒක සිතට ගන්නවා ඇත. 3සිනාසීමට වඩා ශෝකවීම හොඳය. මක්නිසාද මුහුණේ දුඃඛිතකමෙන් ආත්මයට හොඳක් සිදුවේ. 4ප්‍රඥාවන්තයන්ගේ සිත වැලපීමේ ගෙදරද අඥානයන්ගේ සිත ප්‍රීතිවීමේ ගෙදරද තිබේ. 5අඥානයන්ගේ ගීතිකාව ඇසීමට වඩා ප්‍රඥාවන්තයාගේ තරවටුව ඇසීම මනුෂ්‍යයෙකුට හොඳය. 6මක්නිසාද සැළිය යට තිබෙන කටුදරවල ශබ්දය යම්සේද අඥානයාගේ සිනාවත් එසේමය. ඒකත් නිෂ්ඵලකමක්ය. 7සැබවින්ම බලාත්කාරය නිසා ප්‍රඥාවන්තයා මෝඩවන්නේය; අල්ලසක් සිත මුළාකරන්නේය. 8යම් දෙයක අන්තිමය එහි පටන්ගැන්මට වඩා හොඳය. උඩඟු අයට වඩා ඉවසිලිවන්තයා උතුම්ය. 9කෝපවීමට නුඹේ සිතින් ඉක්මන් නොවෙන්න. මක්නිසාද කෝපය පවතින්නේ අඥානයන්ගේ ළයෙහිය. 10පළමු දවස් මේවාට වඩා හොඳව තිබුණේ මොන කාරණයක් නිසාදැයි නොකියන්න; මක්නිසාද නුඹ මේ ගැන ප්‍රඥාවෙන් යුක්තව විමසනවා නොවේ. 11ප්‍රඥාව උරුමයක්මෙන් හොඳය; එසේය, ඉර දකිනවුන්ට එය මහත් වාසියක්ය. 12මක්නිසාද මුදල ආරක්ෂාවක් වන්නාක්මෙන් ප්‍රඥාවත් ආරක්ෂාවක්ය. නුමුත් දැනගැන්මෙහි වාසියක් තිබේ, ප්‍රඥාව වනාහි එය ඇත්තාගේ ජීවිතය ආරක්ෂාකරන්නේය. 13දෙවියන්වහන්සේගේ වැඩය මෙනෙහිකරන්න; මක්නිසාද උන්වහන්සේ ඇද කළ දේ ඇද අරින්ට පුළුවන් කාටද? 14සම්පත්ති කාලයේදී ප්‍රීතිවෙන්න; නුමුත් විපත්ති කාලයේදී කල්පනාකරන්න. දෙවියන්වහන්සේ ඒකත් මේකත් ළංකොට තැබුවේ මනුෂ්‍යයා විසින් තමාට පසුව සිදුවෙන්නාවූ කිසිවක් දැන නොගන්න පිණිසය.
15මාගේ නිෂ්ඵලකමේ දවස්වලදී මේ සියල්ල දුටිමි. සමහරවිට ධර්මිෂ්ඨයෙක් තමාගේ ධර්මිෂ්ඨකමෙහි නැතිවන්නේය, දුෂ්ටයෙක්ද තමාගේ දුෂ්ටකමෙහි බොහෝ කල් ජීවත්වන්නේය. 16පමණට වඩා ධර්මිෂ්ඨයෙක් නොවෙන්න; පමණට වඩා ඥානවන්තයෙක්ද නොවෙන්න. කුමක් නිසා නුඹම විනාශකරගන්නෙහිද? 17පමණට වඩා දුෂ්ටව නොසිටින්න, අඥානයෙක්ද නොවෙන්න. නුඹේ කාලයට පළමුවෙන් නුඹට නසින්ට වෙන්නේ මක්නිසාද? 18නුඹ මෙය අල්වා ගන්නවා නම් හොඳය; එසේය, අනික් එකෙනුත් නුඹේ අත පහකර නොගන්න. මක්නිසාද දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තා ඒ සියල්ලෙන් ගැළවෙනවා ඇත.
19ප්‍රඥාව වනාහි නුවරක වසන අධිපතීන් දස දෙනෙකුට වඩා ඥානවන්තයාට ශක්තියක්ය. 20පව් නොකර යහපතම කරන ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් සැබවින්ම පොළොවෙහි නැත. 21මනුෂ්‍යයන් කියන සියලුම වචනවලට නුඹේ සිත යොමු නොකරන්න; එසේ කළොත් සමහරවිට නුඹේ වැඩකාරයා නුඹට දෙස්කියන බව නුඹ අසනවා ඇත. 22මක්නිසාද නුඹත් නොයෙක් වර අනුන්ට දෙස් කිවු බව නුඹේ සිත දන්නේය.
23මේ සියල්ල මම ප්‍රඥාවෙන් සෝදිසි කෙළෙමි. මම ප්‍රඥාවන්තවන්නෙමියි කීමි; නුමුත් එය මාගෙන් දුරව තිබුණේය. 24දුරව ඉතා ගැඹුරුව තිබෙන දේ සොයා දැනගන්නේ කවුද? 25මම ප්‍රඥාවද කාරණාවල හේතුවද දැනගන්ටත් සෝදිසිකරන්ටත් සොයාගන්ටත්, දුෂ්ටකම අඥානකම බවද මෝහය උමතුකම බවද දැනගන්ටත් මාගේ සිතින් හැරුණෙමි. 26එවිට මලපත් සහ දැල් වැනි සිතක්ද බැඳුම් වැනි අත්ද ඇති ස්ත්‍රිය මරණයට වඩා තික්ත බව දැනගතිමි. දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව සිටින්නා ඇගෙන් ගැළවෙන්නේය; නුමුත් පව්කාරයා ඈට අසුවන්නේය. 27බලව, කාරණය දැනගන්න පිණිස එකක් එකක් පාසා විමසමින්: මේක මම දැනගතිමියි දේශනාකාරයා කියන්නේය. 28මට සම්බ නූණාවූ, මාගේ සිත තවමත් සොයන්නාවූ, කාරණයක් මෙසේය: දහසක් අතරෙහි එක මිනිහෙක් මට සම්බවුණ නුමුත් එපමණ දෙනෙක් අතරෙහි එක ස්ත්‍රියක් මට සම්බනොවීය. 29මෙන්න, මෙය පමණක් මට සම්බවිය, එනම් දෙවියන්වහන්සේ මනුෂ්‍යයා ඇද නැතුව මැවූසේක; නුමුත් ඔවුන් බොහෝ අමුතු උපා යොදාගත් බවය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy