YouVersion Logo
Search Icon

ද්වීතීය කථාව 24

24
1මනුෂ්‍යයෙක් ස්ත්‍රියෙක් ගෙන ඈ සරණපාවාගත් පසු, ඇගේ යම්කිසි නොහොබිනාකමක් ඇති බව ඔහුට දැනගන්ට ලැබීම නිසා ඔහු ඈට අප්‍රසන්නවී නම්, ඔහු ඈට අත් ඇරීම් පත්‍රයක් ලියා ඇගේ අතට දී තමාගේ ගෙයින් ඈ පිටත්කර හරීවා. 2ඈ ඔහුගේ ගෙයින් අහක්වුණාම ඈට ගොස් වෙන කෙනෙකුගේ භාර්යාව වෙන්ට පුළුවන. 3දෙවෙනි පුරුෂයාත් ඈට ද්වේෂකර ඈට අත්හැරීම් පත්‍රයක් ලියා ඇගේ අතට දී තමාගේ ගෙයින් ඈ පිටකරන්නේ නම්, නොහොත් ඈ භාර්යාකොට ගත් දෙවෙනි පුරුෂයා නසින්නේ නම්, 4ඈ එසේ කිලුටුවූ පසු ඈ අත්ඇරියාවූ ඇගේ ප්‍රථම පුරුෂයාට නැවත ඈ භාර්යාව කොට ගන්ට නුපුළුවන; මක්නිසාද ඒක ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පිළිකුලක්ය. නුඹ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උරුමයක් පිණිස නුඹට දෙන දේශයට වරද නොපමුණුවන්න.
5භාර්යාවකු අලුත පාවාගත් මනුෂ්‍යයෙක් යුද්ධ සේනාව සමඟ පිටත්ව නොයේවා; කිසි වැඩක්ද ඔහුට භාරදෙනු නොලැබේවා. ඔහු අවුරුද්දක් ගෙදර නිදහස්ව සිට තමා පාවාගත් භාර්යාව සන්තෝෂ කෙරේවා. 6කිසිවෙක් ඇඹරුම් යන්ත්‍රයවත් උඩ ගලවත් උකසට නොගනීවා. මක්නිසාද එය ප්‍රාණය උකසට ගැනීම වේ.
7යමෙකු විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන් වූ තමාගේ සහෝදරයන්ගෙන් කිසිවෙකු සොරකම්කොට ඔහු වාලට ගත් බව හෝ වික්ක බව හෝ දැනගන්ට ලැබුණොත්, ඒ සොරා මරනු ලබන්නේය. මෙසේ නුඹලා අතරෙන් දුෂ්ටකම පහකරන්න.
8කුෂ්ඨරෝගය ගැන ලෙවීවරුන් වන පූජකයන් නුඹලාට උගන්වන සියල්ලේ ප්‍රකාරයට හොඳාකාර ඉෂ්ටකරන ලෙස බලාගන්න. මා විසින් ඔවුන්ට අණකළ ලෙස කරන්නට බලාගන්න. 9නුඹලා මිසරයෙන් ආ කල නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මගදී මිරියාම්ට කළ දේ සිහිකරන්න.
10නුඹේ අසල්වාසියාට නුඹ කිසිවක් ණයට දෙන කල ඔහුගේ උකස ගැනීමට ඔහුගේ ගෙට ඇතුල්නොවී, පිටත සිටින්න, 11නුඹෙන් ණයට ගන්න තැනැත්තා උකස නුඹ ළඟට පිටතට ගෙනේවා. 12ඔහු දිළිඳෙක් නම් ඔහුගේ උකස නුඹ ළඟ තිබෙද්දී නිදානොගන්න. 13ඔහු තමාගේ වස්ත්‍රය පෙරවාගන නිදාගන්න පිණිසද නුඹට ආශීර්වාදකරන පිණිසද ඉරබස්නා කල්හි ඔහුගේ උකස නුඹ විසින් ඔහුට දිය යුතුමය. ඒක නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නුඹට ධර්මිෂ්ඨකම වන්නේය.
14නුඹේ සහෝදරයන්ගෙන් හෝ නුඹේ දේශයෙහි නුඹේ නුවර දොරටු තුළෙහි සිටින විදේශීන්ගෙන් හෝ යම් දිළිඳුවූ අසරණවූ කුලීකාරයෙකුට පීඩානොකරන්න. 15ඔහු නුඹට විරුද්ධව ස්වාමීන්වහන්සේට මොර නොගසන පිණිසද එය නුඹට පාපය නොවන පිණිසද ඉර බසින්ට පළමුවෙන් ඔහුගේ දවසේ කුලී ඔහුට දෙන්න; මක්නිසාද ඔහු දිළිඳුය, ඔහුගේ ආශාවද ඒ කෙරෙහි තබා තිබේ.
16දරුවන් වෙනුවට පියවරුවත් පියවරුන් වෙනුවට දරුවෝවත් මරනු නොලැබෙත්වා. එක් එක්කෙනා තම තමාගේ පාපය නිසා මරනු ලැබේවා.
17විදේශියාගේද පියා නැත්තාගේද විනිශ්චය නොපෙරළන්න; වැන්දඹුවගේ වස්ත්‍රය උකසට නොගන්න. 18නුඹ මිසරයෙහි වහලෙක්ව සිටි බවද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එතැනින් නුඹ මුදාගත් බවද සිහිකරන්න. එබැවින් මේ දේ කරන්ට නුඹට අණකරමි.
19නුඹේ කෙතෙහි ගොයම් කපන කල්හි කෙතේ ගොයම් මිටියක් මතකනැතිවුණොත් ඒක ගෙනෙන්ට ආපසු නොයන්න. නුඹේ අතේ ඇති සියලු වැඩපලවලදී නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකරන පිණිස ඒක විදේශියාටද පියා නැත්තාටද වැන්දඹුවටද වන්නේය.
20නුඹේ ඔලීව ගහට ගසා ඵල නෙළා ගැනීමේදී අතුවල ඉතුරු වෙන ගෙඩි නැවත සොයා නොයන්න. ඒවා විදේශියාටද පියා නැත්තාටද වැන්දඹුවටද වන්නේය. 21නුඹේ මුද්‍රික වලු කපාගැනීමේදී ඉතිරි ඒවා නැවත නෙළානොගන්න. ඒවා විදේශියාටද පියා නැත්තාටද වැන්දඹුවටද වන්නේය. 22නුඹ මිසර දේශයෙහි වහලෙක් ව සිටි බව සිහිකරන්න. එබැවින් මේ දේ කරන්ට නුඹට අණකරමි.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in