ද්වීතීය කථාව 23
23
නානා ප්‍රකාර ආඥා
1කෝෂය පොඩි කරනලද නොහොත් රහසඟ කපනලද කෙනෙක් ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල් නොවිය යුතුය.
2අවජාතකයෙක් ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල්නොවිය යුතුය: ඔහුගෙන් පැවත එන කිසිවෙක් දසවෙනි පරම්පරාව දක්වාම ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල් නොවිය යුතුය.
3අම්මොනියයෙක්වත් මෝවබියයෙක්වත් ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල් නොවිය යුතුය: ඔවුන්ගෙන් පැවතඑන කිසිවෙක් දසවෙනි පරම්පරාව දක්වාත් කවදාවත් ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල් නොවිය යුතුය. 4මක්නිසාද නුඹලා මිසරයෙන් ආ කල්හි ඔවුන් මාර්ගයේදී කෑමත් වතුරත් රැගෙන නුඹලාගේ පෙරමගට නා නිසාත් නුඹට ශාපකරන පිණිස මෙසොපොතාමියේ පෙතෝර්හි සිට බෙයොර්ගේ පුත්‍රවූ බාලාම් නුඹලාට විරුද්ධව කුලියට ගත් නිසාත්ය. 5එසේ වුවත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට ප්‍රේමකළ බැවින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බාලාම්ට ඇහුම්කන් නොදී ඒ ශාපය ආශීර්වාදයකට හැරෙවුසේක. 6නුඹේ සියලු දවස්වල සදාකාලයටම ඔවුන්ගේ සමාදානයවත් ඔවුන්ගේ ශුභසිද්ධියවත් නොසොයන්න.
7ඒදොමියයෙකුට ද්වේෂ නොකරන්න; මක්නිසාද ඔහු නුඹේ සහෝදරයාය. මිසරයෙකුට ද්වේෂ නොකරන්න; මක්නිසාද නුඹ ඔහුගේ දේශයෙහි ආගන්තුකයෙක්ව සිටියෙහිය. 8තුන්වෙනි පරම්පරාවේදී ඔවුන්ට උපදින දරුවන්ට ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල්වෙන්ට පුළුවන.
9නුඹේ සතුරන්ට විරුද්ධව නුඹ කඳවුරට යන කල සියලු නපුරු දේවලින් වැලකී සිටින්න. 10රාත්‍රියේ ධාතුපහවීමක් නිසා අපිරිසිදුවන මනුෂ්‍යයෙක් නුඹලා අතරෙහි වේනම්, ඔහු කඳවුරෙන් පිටතට ගොස් කඳවුරට ඇතුල් නොවී සිට, 11සවස්වන කල වතුර නාගන ඉර බැස්ස විට කඳවුරට ඇතුල්වේවා. 12එළියට යන පිණිස නුඹට කඳවුරෙන් පිට ස්ථානයක් තිබේවා. 13නුඹේ ආයුධ අතරේ හාරන හැන්දක් නුඹ ළඟ තිබිය යුතුය; නුඹ එළියට ගියාම ඒකෙන් හාරා නුඹ පහරන දේ පස්සට හැරී වසන්න. 14මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ ගළවා නුඹේ සතුරන් නුඹට පාවාදෙන පිණිස නුඹේ කඳවුර මධ්‍යයෙහි හැසිරෙනසේක; එබැවින් උන්වහන්සේ නුඹ කෙරෙහි යම් අපිරිසිදුකමක් දැක නුඹෙන් අහක්ව නොයන පිණිස නුඹේ කඳවුර පවිත්‍රව තිබිය යුතුය.
15තමාගේ ස්වාමියා කෙරෙන් ගැළවී නුඹ ළඟට එන වාලෙක් තමාගේ ස්වාමියාට භාරනොදෙන්න. 16ඔහු තමාට හොඳව පෙනෙනලෙස නුඹේ නුවරවලින් එකක් තුළ තමා තෝරාගන්න ස්ථානයෙහි නුඹලා අතරෙහි වාසයකරාවා. ඔහුට පීඩා නොකරන්න.
17ඉශ්‍රායෙල් දූවරුන්ගෙන්වත් ඉශ්‍රායෙල් පුත්‍රයින්ගෙන්වත් කිසිවෙක් වේශ්‍යාකමට කැප නොවේවා. 18වේශ්‍යාවකුගේ පණයම්වත් බල්ලෙකුගේ#23:18 එනම්, සල්ලාලයෙකුගේ. කුලීවත් කිසියම් බාරයක් පිණිස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහයට නොගෙනෙන්න. මක්නිසාද මේ දෙකම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය.
19පොලීගන්න පිණිස නුඹේ සහෝදරයාට මුදල්වත් ආහාරවත් මිනිසුන් විසින් පොලියට දෙන කිසි දෙයක්වත් ණයට නොදෙන්න. 20විදේශියෙකුට පොලියට දෙන්ට නුඹට පුළුවන; නුමුත් නුඹ හිමි කරගන්ට යන දේශයෙහි නුඹ අත තබන සියල්ලේදී නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකරන පිණිස නුඹේ සහෝදරයාට පොලියට නොදෙන්න.
21නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹ බාරයක් වුණ කල්හි ඒක ගෙවන්ට ප්‍රමාදනොවෙන්න. මක්නිසාද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඒක නුඹෙන් අයකරනවාම ඇත; ඒක නුඹට පාපයක් වේ. 22එහෙත් නුඹ බාරයක් නොවී සිටියොත් එයින් නුඹට පාපයක් නැත. 23නුඹේ තොල්වලින් පිටත්වුණු දෙය පවත්වමින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹ විසින් ගිවිසුම් කළාවූ නුඹේ කටින් පොරොන්දුවුණාවූ ස්වෙච්ඡා පූජාව ඉෂ්ටකරන්න.
24නුඹේ අසල්වාසියාගේ මිදිවත්තට ආ කල්හි නුඹ කැමති පරිද්දෙන් තෘප්තියට පැමිණෙන තුරු මුද්‍රික ඵල නුඹට කන්ට පුළුවන; නුමුත් නුඹේ භාජනයෙහි කිසිවක් දමානොගන්න.
25නුඹේ අසල්වාසියාගේ ගොයමට ආ කල්හි නුඹේ අතින් කරල් කඩාගන්ට පුළුවන; නුමුත් නුඹේ අසල්වාසියාගේ ගොයමට දෑකැත්තක් නොපොවන්න.
Currently Selected:
ද්වීතීය කථාව 23: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society