2 රාජාවලිය 21
21
මනස්සේ රජ කිරීම
1මනස්සේ දොළොස් අවුරුදු වයසේදී රජවී පනස්පස් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම හෙප්ශීබාය. 2ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නාදැමූ ජාතීන්ගේ පිළිකුල් ලෙස ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. 3තමාගේ පියවූ හෙසකියා නැතිකළ උස් තැන් ඔහු නැවත ගොඩනගා, බාල්ට පූජාසන තනා, ඉශ්‍රායෙල්හි රජවූ ආහබ් සෑදුවාක් මෙන් අෂේරා කණුවක්ද සෑදුවේය, ඔහු මුළු අහස් සේනාවට නමස්කාරකරමින් ඒවාට සේවයකෙළේය. 4තවද: මාගේ නාමය යෙරුසලමෙහි තබන්නෙමියි ස්වාමීන්වහන්සේ යම් ගෘහයක් ගැන කීසේක්ද ඒ ගෘහයෙහි ඔහු පූජාසන ගොඩනැගුවේය. 5ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මිදුල් දෙකෙහි මුළු අහස් සේනාවටත් පූජාසන ගොඩනැගුවේය. 6ඔහු තමාගේ පුත්‍රයා ගිනි මැදින් යවා පූජාකෙළේය, මායම්ද ශාස්ත්‍ර බැලීම්ද භාවිතාකරමින් ආත්ම බන්ධනකාරයන්ද අනවිනකාරයන්ද පත්කෙළේය. ඔහු ස්වාමීන්වහන්සේ කෝපකරවන හැටියට උන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුවූ බොහෝ දේ කෙළේය. 7තමා සෑදූ අෂේරා රූපයද ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි තැබීය. ඒ ගෘහය ගැන ස්වාමීන්වහන්සේ දාවිත්ටත් ඔහුගේ පුත්‍රවූ සාලමොන්ටත් කථාකොට: මේ ගෘහයෙහිද මා විසින් සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලින් තෝරාගත් යෙරුසලමේද මාගේ නාමය සදාකාලේටම තබන්නෙමි. 8මා විසින් ඉශ්‍රායෙල්වරුන්ට අණකළ සියල්ල ප්‍රකාරයටද මාගේ මෙහෙකරුවූ මෝසෙස් ඔවුන්ට අණකළ මුළු ව්‍යවස්ථාවේ ප්‍රකාරයටද කරන්ට ඔවුන් බලාගත්තොත් ඔවුන්ගේ පියවරුන්ට මා විසින් දුන් දේශයෙන් ඔවුන්ගේ පාද තවත් මුළාව යන්ට නොසලස්වන්නෙමියි කීසේක. 9එහෙත් ඔව්හු ඇහුම්කන් නුදුන්නෝය. ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් විනාශකළාවූ ජාතීන්ට වඩා නපුරුකම්කරන ලෙස මනස්සේ ඔවුන් මුළාකෙළේය. 10ස්වාමීන්වහන්සේ තමන් මෙහෙකරුවූ අනාගතවක්තෘන් ලවා කථාකරවා: 11යූදාහි රජවූ මනස්සේ මේ පිළිකුල්කම් කරමින් ඔහුට පළමුවෙන් සිටි අමෝරිවරුන් කළ සියල්ලට වඩා නපුරුකම් කොට, යූදාවරුන්ටද තමාගේ දේව රූපවලින් පව්කරන්ට සැලැස්වූ නිසා, 12ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-බලව, අසන සියල්ලන්ගේ කන්දෙක ලෙළදෙන තරම් මම යෙරුසලම සහ යූදාවරුන් පිටට විපත්තිය පමුණුවන්නෙමි. 13තවද සමාරිය මැන්න ලනුවද ආහබ්ගේ වංශයේ ලඹයද යෙරුසලම කෙරෙහි අල්ලා, මනුෂ්‍යයෙක් තැටියක් පිසදමා, පිසදැමුවාම මුණින් පෙරළා තබන්නාක් මෙන් යෙරුසලම පිසදමන්නෙමි. 14මාගේ උරුමයෙන් ඉතුරු කොටස මම අත්හැරදමා, ඔවුන් තමුන්ගේ සියලු සතුරන්ට ගොදුරක්ද කොල්ලයක්ද වෙන පිණිස ඔවුන්ගේ සතුරන් අතට ඔවුන් පාවාදෙන්නෙමි; 15මක්නිසාද ඔවුන්ගේ පියවරුන් මිසරයෙන් පිටත්ව ආ දවස පටන් අද දවස දක්වාම ඔව්හු මාගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට මා කෝප කළෝයයි වදාරනසේකැයි කියෙවුසේක. 16තවද ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කරන ලෙස එසේ යූදාට පව්කරන්ට සැලැස්වීමෙන් ඔහු විසින් කළ පාපය හැර, ඔහු යෙරුසලම එක් කෙළවරක පටන් අනික් කෙළවර දක්වා පිරෙන තෙක් නිදොස් ලේ බොහෝකොට වැගිරවිය. 17මනස්සේගේ අනික් ක්‍රියාද ඔහු කළ සියල්ලද ඔහු කළ පාපයද ගැන යූදා රජුන්ගේ ලේකම පොතේ ලියා තිබෙනවා නොවේද? 18මනස්සේ තමාගේ පියවරුන් සමඟ සැතපී, තමාගේ ගෙට අයිති උයන වන උස්සාගේ උයනෙහි තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ ආමොන් ඔහු වෙනුවට රජවුණේය.
ආමොන්ගේ රජ කිරීම
19ආමොන් විසි අවුරුදු වයසේදී රජවී දෑවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. ඔහුගේ මවුගේ නම මෙෂුල්ලෙමෙත්ය, ඈ යොත්බාහි හාරුශ්ගේ දුවෙක්ය. 20ඔහු තමාගේ පියවූ මනස්සේ කළ ලෙස ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට, 21තමාගේ පියා හැසුරුණ මුළු මාර්ගයෙහිම හැසිර, තමාගේ පියා සේවයකළ දේව රූපවලට සේවයකරමින් ඒවාට නමස්කාරකෙළේය. 22ඔහු ස්වාමීන්වහන්සේගේ මාර්ගයෙහි නොහැසිර තමාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැරියේය. 23ආමොන්ගේ සේවකයෝ ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට ඔහුගේ ගෙදරදී ඔහු මැරුවෝය. 24නුමුත් දේශයේ සෙනඟ ආමොන් රජුට විරුද්ධව කුමන්ත්‍රණය කළ සියල්ලන් මරා ඔහුගේ පුත්‍රවූ යොෂියා ඔහු වෙනුවට රජකමට පත්කළෝය. 25ආමොන් කළ අනික් ක්‍රියා යූදා රජුන්ගේ ලේකම පොතේ ලියා තිබෙනවා නොවේද? 26උස්සාගේ උයනේ තිබුණ ඔහුගේ සොහොන් ගෙයි ඔහු තැන්පත් කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ යොෂියා ඔහු වෙනුවට රජවුණේය.
Currently Selected:
2 රාජාවලිය 21: SROV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Ceylon Bible Society