YouVersion Logo
Search Icon

2 රාජාවලිය 20

20
හෙසකියාගේ රෝගය සහ සුවවීම
1ඒ කාලයේදී හෙසකියා රෝගීව මරණාසන්න විය. ආමොස්ගේ පුත්‍රවූ යෙසායා අනාගතවක්තෘ ඔහු ළඟට ඇවිත්: නුඹේ ගෙදර කාරණා බේරා තබන්න; මක්නිසාද නුඹ මැරෙන්නෙහිය, ජීවත් නොවන්නෙහිය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔහුට කීවේය. 2එවිට ඔහු තමාගේ මුහුණ භිත්තිය දෙසට හරවාගන ස්වාමීන්වහන්සේට යාච්ඤා කරමින්: 3අහෝ ස්වාමීන්වහන්ස, මා සැබෑකමිනුත් සම්පූර්ණ සිතකිනුත් ඔබ ඉදිරියෙහි හැසිර, ඔබගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ කළ බව සිහිකළ මැනවයි කියා අතිශයින් ඇඬුවේය. 4යෙසායා මැද මිදුල දක්වා යන්ට පළමුවෙන් ස්වාමීන්වහන්සේගේ වචනය ඔහු වෙතට පැමිණ කියනුයේ: 5නුඹ හැරී ගොස් මාගේ සෙනඟගේ අධිපතියාවූ හෙසකියාට මෙසේ කියන්න–නුඹේ පියා වන දාවිත්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම නුඹේ යාච්ඤාව ඇසීමි, නුඹේ කඳුලු දුටිමි. බලව, මම නුඹ සුවපත්කරන්නෙමි. තුන්වෙනි දින නුඹ ස්වාමීන්වහන්සේගේ ගෘහයට යන්නෙහිය. 6නුඹේ වයසට පහළොස් අවුරුද්දක් එකතුකරන්නෙමි; මම අෂූර්හි රජුගේ අතින් නුඹ සහ මේ නුවර ගළවා, මා නිසාත් මාගේ මෙහෙකරුවූ දාවිත් නිසාත් මේ නුවර රැකගන්නෙමියි කියා කියන්නැයි කීවේය. 7එවිට යෙසායා: අත්තික්කා කැටියක් ගෙනෙන්නැයි කීය. ඔව්හු ගෙනවුත් එය ගෙඩිය පිට තැබුවෝය, එවිට ඔහුට සුවවිය. 8හෙසකියා යෙසායාට කථාකොට: ස්වාමීන්වහන්සේ මා සුවපත් කරන බවටත් තුන්වෙනිදා මා ස්වාමීන්වහන්සේගේ ගෘහයට යන බවටත් ලකුණ කිමෙක්දැයි ඇසුවේය. 9යෙසායා කථාකොට: ස්වාමීන්වහන්සේ කී දේ කරන බවට ස්වාමීන්වහන්සේගෙන් නුඹට ලැබෙන ලකුණ මේය: එනම් ඡායාව අංශක දසයක් ඉස්සරහට යන්ටද නැතහොත් පස්සට හැරී එන්ටදැයි ඇසීය. 10හෙසකියාද: ඡායාව අංශක දශයක් බසින එක සුළු දෙයක්ය; එසේ නොව ඡායාව අංශක දශයක් පස්සට හැරී ඒවයි කීවේය. 11එවිට අනාගතවක්තෘවූ යෙසායා ස්වාමීන්වහන්සේට යාච්ඤා කෙළේය. උන්වහන්සේ ආහාස්ගේ හෝරා මණ්ඩලය පිට ඡායාව බැසගිය තැනින් අංශක දශයක් පස්සට පැමිණෙවුසේක.
බබිලෝනියේ රජු වෙතින් පණිවිඩකාරයන් පැමිණීම
12ඒ කාලයේදී බලදාන්ගේ පුත්‍රවූ බබිලෝන්හි රජවූ බෙරොදක්-බලදාන් හෙසකියා රෝගීව සිටිය බව අසා ලියුම්ද තෑග්ගක්ද ඔහු වෙතට හැරියේය. 13හෙසකියා ඔවුන්ට ඇහුම්කන්දී තමාගේ මුළු සම්පත් ගබඩාවද එහි තිබුණු රන් රිදීද සුවඳ ද්‍රව්‍යද අනර්ඝ තෙල්ද තමාගේ මුළු යුද්ධායුධ ගෙයද තමාගේ ගබඩාවල තිබුණු සියල්ලද ඔවුන්ට පෙන්නුවේය. තමාගේ ගෙදරවත් මුළු රාජ්‍යයෙහිවත් හෙසකියා ඔවුන්ට නොපෙන්නූ කිසිවක් නොවීය. 14එවිට අනාගතවක්තෘවූ යෙසායා හෙසකියා රජු ළඟට ඇවිත්: ඒ මනුෂ්‍යයෝ කුමක් කීවෝද? ඔව්හු කොතැනින් නුඹ වෙතට ආවෝදැයි ඔහුගෙන් ඇසුවේය. හෙසකියාද: ඔව්හු දුර රටක්වූ බබිලෝනියේ සිට ආවෝයයි කීවේය. 15එවිට ඔහු: ඔව්හු නුඹේ ගෙයි කුමක් දුටුවෝදැයි ඇසුවේය. මාගේ ගෙයි තිබෙන සියල්ල ඔව්හු දුටුවෝය. මාගේ වස්තු අතරෙහි මා විසින් නොපෙන්නූ කිසිවක් නැතැයි හෙසකියා කීවේය. 16එවිට යෙසායා හෙසකියාට කථාකොට: ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න– 17බලව, නුඹේ ගෙයි තිබෙන සියල්ලත් නුඹේ පියවරුන් විසින් අද දක්වා රැස්කර තැබූ දේවලුත් කිසිවක් ඉතුරු නොකොට බබිලෝනියට ගෙනයන දවස් පැමිණෙන්නේය. 18නුඹ තුළින් නික්මෙන, නුඹට දාව උපදින නුඹේ පුත්‍රයන්ගෙන් සමහරෙක් බබිලෝනියේ රජුගේ මාලිගාවෙහි නපුංසකයන් වන පිණිස ගනු ලබන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය. 19එවිට හෙසකියා: නුඹ කී ස්වාමීන්වහන්සේගේ වචනය යහපත්යයි යෙසායාට කීවේය. තවද ඔහු: සමාදානයත් සැබෑකමත් මාගේ දවස්වල ඇත්නම් හොඳ නොවේදැයි යෙසායාට කීවේය. 20හෙසකියාගේ අනික් ක්‍රියාද ඔහුගේ සියලු බලවන්තකම්ද ඔහු පොකුණ සහ ජල කාණුවත් සාදා නුවරට වතුර ගෙනා හැටිද යූදාහි රජුන්ගේ ලේකම පොතේ ලියා තිබෙනවා නොවේද? 21හෙසකියා තමාගේ පියවරුන් සමඟ සැතපුණේය. ඔහුගේ පුත්‍රවූ මනස්සේ ඔහු වෙනුවට රජවුණේය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy