YouVersion Logo
Search Icon

2 1 වංශාවලිය 33

33
මනස්සේ නම් නපුරු රජ
1මනස්සේ දොළොස් අවුරුදු වයසේදී රජවී පනස්පස් අවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. 2ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නාදැමූ ජාතීන්ගේ පිළිකුල්වල හැටියට ඔහු ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කෙළේය. 3තමාගේ පියවූ හෙසකියා කඩාදැමූ උස්තැන් ඔහු නැවත ගොඩනගා, බාල් දේවතාවන්ට පූජාසන නගා, අෂේරා කණුද සෑදුවේය. ඔහු අහසේ මුළු සේනාවටත් නමස්කාරකරමින් ඒවාට සේවයකෙළේය. 4තවද: මාගේ නාමය යෙරුසලමෙහි සදාකාලේටම පවතින්නේයයි ස්වාමීන්වහන්සේ කීවාවූ ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි ඔහු පූජාසන ගොඩනැගුවේය. 5තවද ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මණ්ඩප දෙකේ මුළු අහස් සේනාවට පූජාසන ගොඩනැගුවේය. 6ඔහු තමාගේ පුත්‍රයන් හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතේදී ගින්නෙන් කැපකෙළේය. ඔහු නිමිති බැලීම්ද ශාස්ත්‍රකීම්ද මායම්ද ව්‍යවහාරකොට, ආත්ම බන්ධනකාරයන්ද අනවිනකාරයන්ද ආශ්‍රයකෙළේය. ස්වාමීන්වහන්සේ කෝපකරවන හැටියට උන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ ඔහු බොහෝසෙයින්ම කෙළේය. 7ඔහු සෑදූ දේවතා රූපයද දෙවියන්වහන්සේගේ ගෘහයෙහි තැබීය. ඒ ගෘහය ගැන දෙවියන්වහන්සේ දාවිත්ටත් ඔහුගේ පුත්‍රවූ සාලමොන්ටත් කථාකොට: මේ ගෘහයෙහිත් මා විසින් සියලු ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරෙන් තෝරාගත් යෙරුසලමෙහිත් මාගේ නාමය සදාකාලේටම තබන්නෙමි. 8මෝසෙස් අතින් ඉශ්‍රායෙල්වරුන් ලැබූ මුළු ව්‍යවස්ථාවේද පනත්වලද නියෝගවලද ප්‍රකාරයට මා ඔවුන්ට අණකළ සියල්ල කරන හැටියට ඔව්හු බලාගන්නෝනම්, නුඹලාගේ පියවරුන්ට මා නියමකළ දේශයෙන් ඔවුන්ගේ පාද තවත් අහක්ව යන්ට නොසලස්වන්නෙමියි කීසේක. 9නුමුත් ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් විනාශකරදැමූ ජාතීන්ට වඩා නපුරුකම් කරන හැටියට මනස්සේ යූදාවරුන්ද යෙරුසලමේ වැසියන්ද මුළාකෙළේය. 10ස්වාමීන්වහන්සේ මනස්සේටත් ඔහුගේ සෙනඟටත් කථාකළ නුමුත් ඔව්හු ඇහුම්කන් නුදුන්නෝය.
රජු වහල්කමට ගෙනයාම. ඔහුගේ පශ්චාත්තාපය
11ඒ නිසා ස්වාමීන්වහන්සේ අෂූර්හි රජුගේ සේනාපතීන් ඔවුන්ට විරුද්ධව පැමිණෙවුසේක. ඔව්හු මනස්සේ අල්වා විලංගුවලින්ද දම්වැල්වලින්ද බැඳ බබිලෝනියට ගෙන ගියෝය. 12ඔහු තමාගේ විපතේදී තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට කන්නලව්කොට, තමාගේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඉතා යටහත්වී, 13උන්වහන්සේට යාච්ඤාකෙළේය; උන්වහන්සේ ඔහුට ඇහුම්කන්දී ඔහුගේ කන්නලව්ව අසා යෙරුසලමටත් ඔහුගේ රාජ්‍යයටත් නැවත ඔහු පැමිණෙවුසේක. එවිට ස්වාමීන්වහන්සේ දෙවියන්වහන්සේ බව මනස්සේ දැනගත්තේය.
14මින්පසු ඔහු දාවිත්ගේ නුවරින් පිට ගීහොන්ට බස්නාහිරෙන් මිටියාවතෙහි මත්ස්‍ය–දොරටුවෙන් ඇතුල්වන තැන දක්වා ඕපෙල් වටේට ඉතා උසට පවුරක් ගොඩනගා, යූදාහි පවුරු ඇති සියලු නුවරවල සේනාපතීන් සිටෙවුවේය. 15ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයෙන් අන් දෙවිවරුන්ද පිළිමයද ස්වාමීන්වහන්සේගේ ගෘහයේ කන්දෙහිත් යෙරුසලමෙහිත් ඔහු ගොඩනගා තිබුණ සියලු පූජාසනද පහකොට නුවරින් පිටත දැමුවේය. 16තවද ඔහු ස්වාමීන්වහන්සේගේ පූජාසනය පිහිටුවා, ඒ පිට ශාන්ති පූජාද ස්තුති පූජාද ඔප්පුකොට, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සේවයකරන්ට යූදාවරුන්ට අණකෙළේය. 17එහෙත් සෙනඟ ඊට පසුත් උස්තැන්වල පූජාකළෝය, නුමුත් එසේ කෙළේ තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පමණක්ය. 18මනස්සේගේ අනික් ක්‍රියාද ඔහු තමාගේ දෙවියන්වහන්සේට ඔප්පුකළ යාච්ඤාවද ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් ඔහුට කථාකළ දිවස් ඇත්තන්ගේ වචනද ඉශ්‍රායෙල් රජවරුන්ගේ කථාන්තරයෙහි ලියා තිබේ. 19ඔහුගේ යාච්ඤාවද දෙවියන් වහන්සේ ඔහුට ඇහුම්කන්දුන් හැටිද ඔහුගේ සියලු පාපයන්ද ඔහුගේ ද්‍රෝහිකමද ඔහු යටහත්වෙන්ට පළමුවෙන් උස්තැන් ගොඩනැගුවාවූ, අෂේරා කණු සහ කැපූ රූප සිටෙවුවාවූ ස්ථානද හෝසයිගේ කථාන්තර පොතෙහි ලියා තිබේ. 20මෙසේ මනස්සේ තමාගේ පියවරුන් සමඟ සැතපී තමාගේ ගෙයි තැන්පත් කරනු ලැබුවේය. ඔහුගේ පුත්‍රවූ ආමොන් ඔහු වෙනුවට රජවිය.
ආමොන් රජ
21ආමොන් විසිදෑවුරුදු වයසේදී රජවී දෑවුරුද්දක් යෙරුසලමෙහි රජකම්කෙළේය. 22ඔහු තමාගේ පියවූ මනස්සේ කළාක් මෙන් ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කරමින්, තමාගේ පියවූ මනස්සේ සෑදූ සියලු රූපවලට පූජාකොට සේවයකෙළේය. 23ඔහුගේ පියවූ මනස්සේ යටහත් වුණාක්මෙන් ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි යටහත් නොවීය; මක්නිසාද මෙම ආමොන් වඩ වඩා අපරාධකෙළේය. 24ඔහුගේ සේවකයෝ ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට ඔහුගේම ගෙයිදී ඔහු මැරුවෝය. 25නුමුත් දේශයේ සෙනඟ ආමොන් රජුට විරුද්ධව මන්ත්‍රණයකළ සියල්ලන් මරා ඔහුගේ පුත්‍රවූ යොෂියා ඔහු වෙනුවට රජකමට පත්කළෝය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy