YouVersion Logo
Search Icon

2 1 වංශාවලිය 32

32
අෂූර් රජු විසින් යූදා රට වටලෑම
1මේ කාරණාවලටත් මේ විශ්වාස මෙහෙයටත් පසුව අෂූර්හි රජවූ සෙනකෙරිබ් ඇවිත් යූදාට ඇතුල්ව, පවුරු ඇති නුවරවල් අල්ලාගන්ට සිතා ඒවාට විරුද්ධව කඳවුරු බැන්දේය. 2සෙනකෙරිබ් ඇවිත් යෙරුසලමට විරුද්ධව යුද්ධකරන්ට යන බව හෙසකියා දැක, 3නුවරට පිටතින් තිබුණු උල්පත්වල වතුර නවත්වන්ට තමාගේ අධිපතීන්ද බලවන්තයන්ද සමඟ මන්ත්‍රණයකරගත්තේය; ඔව්හු ඔහුට උපකාරකළෝය. 4මෙසේ මහත් සෙනඟක් රැස්ව කථාකොට: අෂූර්හි රජුන් ආ විට ඔවුන්ට බොහෝ වතුර ලැබෙන්ට ඉඩ තබන්නේ කුමටදැයි කියා සියලු උල්පත්ද දේශය මැදින් ගලායන ඔයද නැවැත්තූහ. 5ඔහු ධෛර්ය උපදවාගෙන, කඩා වැටී තිබුණු මුළු පවුර කොත් දක්වා ගොඩනැගුවේය, පිටතින් ඔහු තවත් පවුරක් ගොඩනගා, දාවිත්ගේ නුවර තිබුණ මිල්ලෝ සවිකර, බොහෝ ආයුධ හා පලිස් සෑදුවේය. 6ඔහු සෙනඟ කෙරෙහි යුද්ධාධිපතීන් පත්කොට, නුවර දොරකඩ එළිමහන් තැන් ඔවුන් රැස්කරගන ඔවුන්ට මිත්‍රකමින් කථාකොට: 7අෂූර්හි රජුටවත් ඔහු සමඟ සිටින මුළු සමූහයාටවත් භයනොවී නොකැලඹී බලවත්ව සවිව සිටින්න. මක්නිසාද ඔහු සමඟ සිටින්නන්ට වඩා බලවන්තයෙක් අප සමඟ සිටින්නේය. 8ඔහු සමඟ ඇත්තේ මාංසමය හස්තයක්ය; නුමුත් අපට පිහිටවී අපේ යුද්ධයන් කරන පිණිස අප සමඟ සිටින්නේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේයයි කීවේය. සෙනඟ යූදාහි රජවූ හෙසකියාගේ වචන කෙරෙහි විශ්වාසය තැබූහ.
9මින්පසු අෂූර්හි රජවූ සෙනකෙරිබ් තෙම තමාගේ මුළු සේනාව ඇතුව ලාකීෂ් ඉදිරිපිට සිටියදී, යෙරුසලමෙහි සිටි යූදාහි රජවූ හෙසකියාටත් යෙරුසලමෙහි සිටි සියලු යූදාවරුන්ටත් තමාගේ සේවකයන් අත කියා යවනුයේ: 10අෂූර්හි රජවූ සෙනකෙරිබ් මෙසේ කියන්නේය–නුඹලා යෙරුසලමේ බලකොටුවෙහි සිටින්නේ කුමක් කෙරෙහි විශ්වාසකරගෙනද? 11අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අෂූර්හි රජුගේ අතින් අප ගළවාගන්නසේකැයි කියමින් හෙසකියා නුඹලා පොළඹන්නේ සාපිපාසයෙන් මැරෙන්ට නුඹලා භාරදෙන පිණිස නොවේද? 12උන්වහන්සේගේ උස්තැන්ද පූජාසනද පහකොට: නුඹලා එකම පූජාසනයක් ඉදිරියෙහි නමස්කාරකරන්ටත් ඊපිට සුවඳ දුම් ඔප්පුකරන්ටත් ඕනෑය කියා යූදාටත් යෙරුසලමටත් අණකළේ මේ හෙසකියා නොවේද? 13මා සහ මාගේ පියවරුන් විසින් දේශවල සියලු ජනයන්ට කළ දේ නුඹලා දන්නේ නැද්ද? දේශවල ජාතීන්ගේ දෙවිවරුන්ට කොයි අන්දමකින්වත් ඔවුන්ගේ දේශය මාගේ අතින් ගළවාගන්ට පුළුවන්වුණේද? 14නුඹලා මාගේ අතින් ගළවන්ට නුඹලාගේ දෙවියන්ට පුළුවන්වෙන ලෙස, මාගේ පියවරුන් විසින් සිඳදැමූ ඒ ජාතීන්ගේ සියලු දෙවිවරුන් අතරෙන් තමාගේ සෙනඟ මාගේ අතින් ගළවන්ට කාට පුළුවන්වීද? 15එබැවින් නුඹලා රවටන්ටවත් මෙලෙස නුඹලා පොළඹන්ටවත් හෙසකියාට ඉඩනොදෙන්න, ඔහු විශ්වාස නොකරන්න. මක්නිසාද කවර ජාතියක හෝ රාජ්‍යයක හෝ කිසි දෙවිකෙනෙකුටවත් තමාගේ සෙනඟ මාගේ අතින්වත් මාගේ පියවරුන්ගේ අතින්වත් ගළවාගන්ට පුළුවන් නොවීය. එසේවී නම් නුඹලාගේ දෙවියන්වහන්සේ නුඹලා මාගේ අතින් ගළවන්නේ කොහොමදැයි කීවේය. 16ඔහුගේ සේවකයෝ දෙවිවූ ස්වාමීන්වහන්සේටත් උන්වහන්සේගේ මෙහෙකරුවූ හෙසකියාටත් විරුද්ධව තවදුරටත් කථාකෙළේය. 17තවද ඔහු දේශවල ජාතීන්ගේ දෙවිවරුන් තමුන්ගේ සෙනඟ මා අතින් නොගැළවූවාක් මෙන් හෙසකියාගේ දෙවියනුත් තමන්ගේ සෙනඟ මාගේ අතින් ගළවන්නේ නැත කියා ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නින්දාකර, උන්වහන්සේට විරුද්ධව කථාකරන පිණිස ලියුම් ලියා එවුවේය. 18ඔවුන් නුවර අල්ලාගන්න පිණිස, පවුර පිට සිටි යෙරුසලමේ සෙනඟ භයගන්වන්ටත් ඔවුන් කලඹන්ටත් ඔව්හු යුදෙව් භාෂාවෙන් මහත් හඬකින් මොරගසා, 19මනුෂ්‍ය අත් වැඩ වන පොළෝ ජනයන්ගේ දෙවිවරුන් ගැන කථාකරන්නාක් මෙන් යෙරුසලමේ දෙවියන්වහන්සේ ගැන කථාකළෝය.
යාච්ඤාවෙන් ජය ලබාගැනීම
20ඒ නිසා හෙසකියා රජද ආමොස්ගේ පුත්‍රවූ අනාගතවක්තෘවූ යෙසායාද යාච්ඤාකොට ස්වර්ගයට මොරගැසූහ. 21එවිට ස්වාමීන්වහන්සේ දේවදූතයෙකු එවූසේක, ඔහු අෂූර්හි රජුගේ කඳවුරේ සියලු බලවන්ත යුද්ධකාරයන්ද ප්‍රධානීන්ද අධිපතීන්ද සිඳදැමුවේය. මෙසේ ඔහු ලජ්ජා මුහුණින් යුක්තව තමාගේ දේශයට හැරීගියේය. ඔහු තමාගේ දෙවියන්ගේ ගෘහයට ගිය විට, තමාට දාව උපන් තැනැත්තෝ එහිදී ඔහු කඩුවෙන් මැරුවෝය. 22මෙසේ ස්වාමීන්වහන්සේ හෙසකියාද යෙරුසලමේ වැසියන්ද අෂූර්හි රජවූ සෙනකෙරිබ්ගේ අතින්ද අනික් සියල්ලන්ගේ අතින්ද ගළවා, හැම අතින්ම ඔවුන් ආරක්ෂාකළසේක. 23එවිට බොහෝ දෙනෙක් ස්වාමීන්වහන්සේට පඬුරුද යූදාහි රජවූ හෙසකියාට අනර්ඝ දේද යෙරුසලමට ගෙනාවෝය. එතැන් පටන් ඔහු සියලු ජාතීන් ඉදිරියෙහි උතුම්ව සිටියේය.
හෙසකියා රජ ලෙඩවීම. තානාපතීන් පැමිණීම. රජුගේ මරණය
24ඒ කාලයේදී හෙසකියා මරණාසන්න වන තරම් රෝගාතුරව, ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය; උන්වහන්සේ ඔහුට කථාකොට: ලකුණක් ඔහුට දුන්සේක. 25එහෙත් හෙසකියා තමාට ලැබුණු කරුණාවේ හැටියට යුතු ලෙස නොහැසිර සිතින් උඩඟුවිය. ඒ නිසා ඔහු පිටටත් යූදා සහ යෙරුසලම පිටටත් උදහස පැමිණියේය. 26නුමුත් තමාගේ සිතේ උඩඟුකම ගැන හෙසකියාද යෙරුසලමේ වැසියන්ද යටත්වූ නිසා හෙසකියාගේ දවස්වලදී ස්වාමීන්වහන්සේගේ උදහස ඔවුන් පිටට නොපැමිණියේය. 27හෙසකියාට වස්තුද ඓශ්චර්යද අතිශයින්ම තිබුණේය. ඔහු රන් රිදීවලටත් අනර්ඝ ගල්වලටත් සුවඳ ද්‍රව්‍ය වලටත් පලිස්වලටත් සියලු ආකාර අනර්ඝ බඩුවලටත් ගබඩාගෙවල්ද, 28ධාන්‍යවල අස්වැන්නටත් මුද්‍රික පානයටත් තෙල්වලටත් ගබඩාද, සියලු ආකාර මෘගයන්ට පට්ටිද, රැළවලට ගාල්ද සෑදෙවුවේය. 29දෙවියන්වහන්සේ ඔහුට සම්පත් අතිශයින්ම දුන් නිසා ඔහු නුවරවල්ද බොහෝ එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද සපයාගත්තේය. 30මෙම හෙසකියා ගීහොන්හි වතුරේ ඉහළ උල්පත නවත්වා ඒවා දාවිත්ගේ නුවරට බස්නාහිරෙන් කෙළින් බැසඑන්ට සැලැස්සුවේය. හෙසකියා තමාගේ සියලු වැඩවලදී සඵලවුණේය. 31එසේවුවත් දේශයෙහි සිද්ධවුණ ආශ්චර්යය ගැන විභාගකරන්ට බබිලෝනියේ අධිපතීන් විසින් තානාපතියන් ඔහු ළඟට එවූ කල, ඔහුගේ සිතේ තිබුණ සියල්ල දැනගන්න පිණිස දෙවියන්වහන්සේ ඔහු සෝදිසි කිරීමට අත්හැරියසේක. 32හෙසකියාගේ අනික් ක්‍රියාද ඔහුගේ භක්තිමත් කෘත්‍යන්ද ආමොස්ගේ පුත්‍රවූ යෙසායා අනාගතවක්තෘතැනගේ දර්ශන පොතෙහිද යූදා සහ ඉශ්‍රායෙල් රජුන්ගේ පොතෙහිද ලියා තිබේ. 33හෙසකියා තමාගේ පියවරුන් සමඟ සැතපී දාවිත්ගේ පුත්‍රයන්ගේ සොහොන් ගෙවල ඉහළ කොට්ඨාසයෙහි තැන්පත්කරනු ලැබුවේය. ඔහුගේ මරණයේදී සියලු යූදාවරුද යෙරුසලමේ වැසියෝද ඔහුට ගෞරවකළෝය. ඔහුගේ පුත්‍රවූ මනස්සේ ඔහු වෙනුවට රජවිය.

Highlight

Share

Copy

None

Want to have your highlights saved across all your devices? Sign up or sign in

YouVersion uses cookies to personalize your experience. By using our website, you accept our use of cookies as described in our Privacy Policy