Logo ng YouVersion
Hanapin ang Icon

උත්පත්ති 2

2
1මෙසේ අහසත්, පොළොවත් එහි මුළු සේනාවත් සම්පූර්ණ කරන ලදී.
2හත් වන දවස වන විට දෙවියන්වහන්සේ තමන් කළ කාර්යය නිම කොට තිබූ සේක්, තමන් කළ සියලු කටයුතුවලින් උන්වහන්සේ හත් වන දවසේ විවේක ගත් සේක. 3මෙසේ දෙවියන්වහන්සේ තමන් කරන ලද මැවීමේ සියලු කටයුතුවලින් හත් වන දවසේ විවේක ගත් බැවින්, උන්වහන්සේ ඒ දවසට ආශිර්වාද කොට, එය ශුද්ධ යයි නියම කළ සේක.
ආදම් සහ ඒව
4අහස් හා පොළොව මවනු ලැබූ කල්හි ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ පොළොව හා අහස් තැනූ කාලයේ ඒවායේ පරම්පරා පුවත මෙසේ ය.
5කිසි ශාක-පඳුරක් තවම පොළොවේ නො තිබිණ. යම් පැළෑටියකුදු හටගෙන නො තිබිණි. මන්ද ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ පොළොවට වැසි එවා තිබුණේ නැති බැවිනි. භූමිය වගා කිරීමට කිසි මනුෂ්‍යයකු ද නො වී ය. 6එහෙත් මීදුමක් පොළොවෙන් පැන නැගී, මුළු මිහිතලය ම තෙත් කරවී ය. 7ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ, භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා නිර්මාණ කොට, ඔහුගේ නාස් පුඩු තුළට ජීවන හුස්ම හෙළූ සේක. එවිට මනුෂ්‍යයා ජීවමාන පුද්ගලයෙක් විය.
8 ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ පෙරදිග, ඒදන්හි උයනක් වවා තිබූ සේක්, උන්වහන්සේ නිර්මාණ කළ මනුෂ්‍යයා එහි පිහිටූ සේක. 9ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ, දැකීමට ප්‍රිය වූත්, අහරට සුදුසු වූත් සියලු ගස් වැල් පොළොවෙන් හට ගැන් වූ සේක. උයන මැද ජීවන වෘක්ෂය ද හොඳ හා නරක නිශ්චය කිරීමේ ගස ද විය.
10උයන සරු කරනට ඒදන් සිට ගංගාවක් ගලා ගොස්, එතැන් පටන් හතර අතකට බෙදී ගියේ ය. 11පළමුවැන්නේ නම පීෂොන් ය. රත්රන් ඇති මුළු හවීලා දේශය වටා ගලා යන්නේ එයයි. 12ඒ දේශයේ රත්රන් හොඳ ය. දුර්ලභ සුවඳ දුම්මල ද ගෝමේද මැණික් ද එහි වෙයි. 13දෙවැනි ගංගාවේ නම ගීහොන් ය. මුළු කූෂ් දේශය වටා එය ගලා බසී. 14තෙවැනි ගංගාවේ නම ටයිග්‍රිස් ය#2:14 ටයිග්‍රිස් ය හෙවත් හිද්දෙකෙල්. අසිරියා#2:14 අසිරියා හෙබ්‍රෙව් අෂ්ෂූර් දේශයේ පෙරදිග ඔස්සේ ගලා යන්නේ එයයි. හතරවැන්න යුප්‍රටීස්#2:14 යුප්‍රටීස් හෙවත් පෙරාත් ගංගාවයි.
15 ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ මනුෂ්‍යයා ගෙන, ඒදන් උයන වගා කිරීමටත්, එය බලා ගැනීමටත් ඔහු එහි පදිංචි කර වූ සේක. 16ඉන්පසු ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට ආඥා කරමින්, “උයනේ ඕනෑ ම ගසකින් නිදහසේ කෑමට ඔබට පුළුවන. 17එහෙත් හොඳ හා නරක නිශ්චය කිරීමේ ගසින් ඔබ නො කෑ යුතු ය. එයින් කෑ දවසේ ඒකාන්තයෙන් ම ඔබ නසිනු ඇතැ” යි කී සේක.
18ඉන්පසු ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ කතා කොට, “මනුෂ්‍යයා තනි ව සිටීම හොඳ නැත. ඔහුට ගැළපෙන සහකාරියක සාදා දෙන්නෙමි” යි කී සේක.
19එකල ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ භූමියෙන් නිමවා තිබූ සියලු වන සතුන් ද අහස්හි සියලු පක්ෂීන් ද මනුෂ්‍යයා කෙසේ උන් නම් කරන්නේදැයි බලනු පිණිස, මනුෂ්‍යයා වෙත උන් ගෙන ආ සේක. මනුෂ්‍යයා කවර නමකින් ඒ ඒ සජීවී සතුන් ඇමතුවේ ද, ඒවා උන්ගේ නාම බවට පත් විය. 20මෙසේ, ගව-මහීෂාදී ඇති කරන සතුන් සියල්ලනට ද අහස් පක්ෂීන් හා සියලු වන සතුනට ද මනුෂ්‍යයා නම් දුන්නේ ය.
එහෙත් ආදම්ට#2:20 ආදම්ට හෙබ්‍රෙව් ආදාම් එනම් මනුෂ්‍යයා ගැළපෙන සහකාරියක හමු වුණේ නැත. 21එබැවින් ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ මනුෂ්‍යයා තද නින්දකට පමුණුවා, ඔහු නිදා සිටින අතරේ, මනුෂ්‍යයාගේ ඉල ඇටයක් ගෙන, හිදැස මසින් වැසූ සේක. 22ඉන්පසු ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ මනුෂ්‍යයාගෙන් ගත් ඉල ඇටයෙන් ස්ත්‍රියක සාදා, මනුෂ්‍යයා වෙත ඇය ගෙන ආ සේක.
23එවිට මනුෂ්‍යයා,
“මේ නම් මගේ ඇටවලින් වූ ඇට ය.
මගේ ම මසින් වූ මස ය.
මනුෂ්‍යයා වෙතින් ගන්නා ලද නිසා
මැය ‘ස්ත්‍රී’#2:23 හෙබ්‍රෙව් බසින් මනුෂ්‍යයා හා ස්ත්‍රී යන වචන දෙක සමාකාර වේ. නමින් හැඳින් වේ යැ” යි පැවසී ය.
24එබැවින්, මනුෂ්‍යයෙක් තම පියා ද මව ද අතහැර තම භාර්යාවට බැඳෙන්නේ ය. මෙසේ ඔවුහු එක ම මාංසයක් වෙති.
25මනුෂ්‍යයා ද ඔහුගේ භාර්යාව ද සිටියේ නග්න ව නමුදු, ඔවුන්ට ලජ්ජාවක් හැඟුණේ නැත.

Haylayt

Ibahagi

Paghambingin

Kopyahin

None

Gusto mo bang ma-save ang iyong mga hinaylayt sa lahat ng iyong device? Mag-sign up o mag-sign in