Logo ng YouVersion
Hanapin ang Icon

උත්පත්ති 1

1
මැවීමේ පුවත
1මූලාරම්භයේදී දෙවියන්වහන්සේ අහස් හා පොළොව මැවූ සේක. 2පොළොව අරූපී ව, ශූන්‍ය ව තිබිණි. ගැඹුර මතු පිට අන්ධකාරය විය. දෙවියන්වහන්සේගේ ආත්මයාණෝ ජලය මතු පිට හැසිරෙමින් සිටි සේක.
3දෙවියන්වහන්සේ, “ආලෝකය වනු” යි කී සේක; එවිට ආලෝකය විය. 4ආලෝකය, හොඳ වග දෙවියන්වහන්සේ දුටු සේක. දෙවියන්වහන්සේ අන්ධකාරයෙන් ආලෝකය වෙන් කළ සේක. 5දෙවියන්වහන්සේ ආලෝකය, දහවල යනුවෙන් ද අන්ධකාරය, රාත්‍රිය යනුවෙන් ද හැඳින් වූ සේක. සවස විය; උදය විය. ඒ පළමු දවස ය.
6ඉන්පසු දෙවියන්වහන්සේ, “ජලය ජලයෙන් වෙන් වන පිණිස, ජල මැදින් අවකාශයක් වේවා!” යි කී සේක. 7මෙසේ දෙවියන්වහන්සේ අවකාශය නිමවා, අවකාශයට ඉහළින් වූ ජලය, ඊට පහළින් වූ ජලයෙන් වෙන් කළ සේක. ඒ එසේ ම විය. 8දෙවියන්වහන්සේ අවකාශය, අහස යැයි හැඳින් වූ සේක. සවස විය; උදය විය. ඒ දෙවන දවස ය.
9ඉන්පසු දෙවියන්වහන්සේ, “අහසින් යට ජලය එක් තැනකට එක් රැස්වනු; ගොඩ බිම මතු වනු” යි කී සේක. ඒ එසේ ම විය. 10දෙවියන්වහන්සේ ගොඩ බිම, පොළොව යනුවෙන් ද රැස් වූ ජලය, සයුර යනුවෙන් ද හැඳින් වූ සේක. එය හොඳ වග දෙවියන්වහන්සේ දුටු සේක.
11ඉන්පසු දෙවියන්වහන්සේ, “පොළොව පිට ශාක ද බීජ දරන පැළෑටි හා ඒ ඒ වර්ගයේ බීජ සහිත ව පල හටගන්නා තුරු-ලතා ද පොළොව හට ගන්වනු” යි කී සේක; ඒ එසේ ම විය. 12මෙසේ පොළොව, ඒ ඒ වර්ගයේ බීජ දරන පැළෑටි ද බීජ සහිත ව පල හටගන්නා ඒ ඒ වර්ගයේ තුරු-ලතා ද හට ගැන්වී ය. එය හොඳ වග දෙවියන්වහන්සේ දුටු සේක. 13සවස විය; උදය විය. ඒ තුන් වන දවස ය.
14ඉන්පසු දෙවියන්වහන්සේ, “දහවල හා රැය වෙන් කරන පිණිස, අහස් කුස ආලෝක වස්තු පිහිටනු; ඒවා සෘතු ද දවස් හා අවුරුදු ද හඟවන ලකුණු වෙත්වා! 15ඒවා පොළොවට එළිය දීමට අහස් කුස ආලෝක වස්තු වෙත්වා!” යි කී සේක. ඒ එසේ ම විය. 16දෙවියන්වහන්සේ මහත් ආලෝක වස්තු දෙක සෑදූ සේක. විසල් ආලෝක වස්තුව දහවල මෙහෙයවීම සඳහා ය. කුඩා ආලෝක වස්තුව රැය මෙහෙයවීම සඳහා ය. උන්වහන්සේ තාරකා ද සෑදූ සේක. 17දෙවියන්වහන්සේ මෙම ආලෝක වස්තු අහස් කුස ස්ථාපන කළේ, පොළොවට ආලෝකය දීමටත්, 18දහවල හා රාත්‍රිය මෙහෙය වීමටත්, අන්ධකාරයෙන් ආලෝකය වෙන් කිරීමටත් ය. එය හොඳ වග දෙවියන්වහන්සේ දුටු සේක. 19සවස විය; උදය විය. ඒ සිවු වන දවස ය.
20ඉන්පසු දෙවියන්වහන්සේ, “ජලය, එහි වෙසෙන ජීවීන් සුලබ ව රෑන් රෑන් හට ගන්වනු; පක්ෂීන් පොළොවට ඉහළ අහස් කුස හරහා පියඹා යනු” යි කී සේක. 21මෙසේ දෙවියන්වහන්සේ දැවැන්ත මුහුදු සත්වයින් ද ජලයෙහි සුලබ ඒ ඒ වර්ගයට අනුව නන් වැදෑරුම් ජලජ ජීවීන් ද ඒ ඒ වර්ගයට අනුව නන් වැදෑරුම් පියාසර පක්ෂීන් ද මැවූ සේක. එය හොඳ වග දෙවියන්වහන්සේ දුටු සේක. 22දෙවියන්වහන්සේ උන්ට ආශිර්වාද කර, “සඵල ව, බෝ වී, මුහුදු ජලය පුරා පැතිරෙනු; පක්ෂීන් ද පොළෝ තලේ බෝ වනු” යි කී සේක. 23සවස විය; උදය විය. ඒ පස් වන දවස ය.
24ඉන්පසු දෙවියන්වහන්සේ, “පොළොව, ඒ ඒ වර්ගයේ ගව-මහීෂාදීන්, ඒ ඒ වර්ගයේ උරගයින් හා වන මෘගයින් ද යන නන් වැදෑරුම් ජීවමාන සතුන් හට ගන්වනු” යි කී සේක; ඒ එසේ ම විය. 25මෙසේ දෙවියන්වහන්සේ ඒ ඒ වර්ගයේ වන මෘගයින් ද ඒ ඒ වර්ගයේ ගව-මහීෂාදීන් ද බිම බඩ ගා යන ඒ ඒ වර්ගයේ උරගයින් ද හට ගැන් වූ සේක. එය හොඳ වග දෙවියන්වහන්සේ දුටු සේක.
26ඉන්පසු දෙවියන්වහන්සේ, “අපගේ ස්වරූපය ලෙස, අප හා සමාන ව මනුෂ්‍යයා සාදමු. ඔවුහු මුහුදේ මසුන් ද අහසේ පක්ෂීන් ද ගව-මහීෂාදීන් ද වන මෘග හා පොළොව පිට ඇදෙන උරගයන් ද පාලනය කරත්වා!” යි පැවසූ සේක.
27මෙසේ දෙවියන්වහන්සේ තමාගේ ම ස්වරූපය ලෙස මනුෂ්‍යයා මැවූ සේක.
දෙවියන්වහන්සේගේ ම ස්වරූපය ලෙස ඔහු මැවූ සේක්,
පුරුෂයා හා ස්ත්‍රිය වශයෙන් ඔවුන් මැවූ සේක.
28දෙවියන්වහන්සේ ඔවුන්ට ආශිර්වාද කර, “සඵල ව, බෝ වී, පොළොව පුරා පැතිරී, එය යටත් කර ගන්න. මුහුදේ මසුන් ද අහස් පක්ෂීන් ද පොළොව පිට ඇදෙන පණ ඇතියවුන් ද පාලනය කරන්නැ” යි කී සේක.
29දෙවියන්වහන්සේ තවදුරටත් කතා කරමින්, “මෙන්න! මිහි පිට ඇති බීජ දරන සියලු ශාක ද බීජ සහිත ව පල දරන සියලු ගස් වැල් ද ඔබගේ ආහාර සඳහා දුනිමි. 30මිහි පිට වෙසෙන සියලු සතුන්ට, පොළොව පිට ඇදෙන උරගයින්ට හා අහස් පක්ෂීන්ට යන සියලු ජීවමාන සතුනට ආහාර පිණිස මම නිල්පලා දුනිමි” යි කී සේක. ඒ එසේ ම විය.
31දෙවියන්වහන්සේ, තමන්වහන්සේ විසින් මවා තිබූ සියල්ල නැරඹූ සේක්, එය ඉතා හොඳ බව දුටු සේක. සවස විය; උදය විය. ඒ සවැනි දවස ය.

Haylayt

Ibahagi

Paghambingin

Kopyahin

None

Gusto mo bang ma-save ang iyong mga hinaylayt sa lahat ng iyong device? Mag-sign up o mag-sign in