සාලමොන්ගේ ගීතය 8
8
1අහෝ, ඔබ මගේ මවගේ පියයුරුවලින් කිරි බිවූ
මගේ ම සොහොයුරා මෙන් වී නම්;
එසේ වී නම්, පිටතදී මට ඔබ හමු වූ කල,
කිසිවකුගේ හෙළා දැකීමක් නැතිව,
මට ඔබ සිපගන්නට තිබිණ.
2මම ඔබට මග පෙන්වමින්,
මට දැනමුතුකම් දුන්නා වූ මගේ මවගේ ගෘහයට
ඔබ කැඳවාගෙන එන්නට තිබිණ.
ඔබට බොන්නට සුවඳ කැවූ මිදි යුෂ හා
මගේ දෙළුම්වල මධු රස දෙන්නට තිබිණ.
3මගේ හිසට යටින් ඔහුගේ වමත් බාහුව ය;
ඔහුගේ දකුණත මා වැලඳ ගනී.
4එම්බා යෙරුසලමේ දූවරුනි, මා නුඹලා දිවුරවන්නේ,
නිසි අවස්ථාව එළැඹෙන තෙක් ප්‍රේමය නො පොලඹවන ලෙසයි;
නො පුබුදුවන ලෙසයි.
සපිරිවර
5ඇගේ ප්‍රේමවන්තයාගේ ඇඟට හේත්තු වී,
පාළුකරයේ සිට මේ එන්නේ කවුරු ද?
ප්‍රේමවන්තිය
ඇපල් ගහ යටදී මම ඔබ ඇවිස්සීමි;
ඔබ උපන්නේ එතැනදී ය,
ඔබේ මව ප්‍රසව වේදනා දරා, ඔබ බිහි කළේ එතැනදී ය.
6ඔබේ හදවතේ මුද්‍රාවක් ලෙස,
ඔබේ සුරතේ මුද්‍රාවක් ලෙස මා තබා ගන්න;
මන්ද ප්‍රේමය, මරණය සේ ම බලවත් ය;
අනුරාගී ඊර්ෂ්‍යාව, මිනීවළටත් වඩා දැඩි ය;
එහි ගින්දර, නිරා-ගින්න සේ
බුර-බුරා ඇවිළේ.
7මහා ජල ධාරාවකට වත් ප්‍රේමය නිවාලන්නට බැරි ය;
ජලගැල්මකට එය සෝදා හරින්නට බැරි ය;
යමකු ප්‍රේමය ලබන්නට
තමාගේ මුළු ගෘහ වස්තුව ම දුන්නත්
එය සමච්චලයට කරුණකි.
සපිරිවර
8අපට බාල සහෝදරියක් සිටී;
ඇගේ පියයුරු තවම වැඩී නැත.
ඇය ගැන අසා එවන දවසේදී,
අපේ සහෝදරිය ගැන අපි කුමක් කරන්නෙමු ද?
9ඇය තාප්පයක් නම්,
අපි ඇය පිට රිදී කොතක් ගොඩ නගන්නෙමු.
ඇය දොරක් නම්,
දේවදාර පනේලවලින් ඇය කොටු කරන්නෙමු.
ප්‍රේමවන්තිය
10මා පවුරකි;
එහෙත් මගේ පියයුරු එහි කොත් කැරලි වගේ ය.
මෙසේ මම ඔහුගේ ඇස් හමුවෙහි
සෑහීම ගෙනෙන්නකු බවට පත් වීමි.
11බාල්-හාමොන්හි සාලමොන්ට මිදි වත්තක් තිබිණ;
ඔහු එය බලාගැනීම අන්‍යයනට බාර දුන්නේ ය;
ඒ එකිනෙකා එහි පලදාව වෙනුවට
රිදී මිල දහස බැගින් ගෙන ආ යුතු විණ.
12මගේ මිදි වත්ත, මට ම අයිති මිදි වත්ත, මගේ කැමැත්තට ය.
එම්බා සාලමොන්, දහසක් නුඹට ය.
එහි පල බලාගන්නවුනට දෙසියයක් ය.
ප්‍රේමවන්තයා
13ඔබට සවන් දෙමින් සිටින සහෘදයන් සමඟ
උයන්වල වාසය කරන්නිය,
මට ද ඔබේ කටහඬ අසන්නට ඉඩ දෙන්න.
ප්‍රේමවන්තිය
14යුහුසුළුව එන්න මගේ පෙම්වත,
සුවඳවත් කඳු පිට ගැවසෙන
කුරංග මුවකු වගේ;
නාඹර ගෝනකු වගේ වන්න.
Currently Selected:
සාලමොන්ගේ ගීතය 8: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.