YouVersion Logo
Search Icon

රූත් 2:1-7

රූත් 2:1-7 SCV

නායොමිට, ඇගේ සැමියාගේ පැත්තෙන් නෑයකු වූ, එලීමෙලෙක්ගේ පෙළපතට අයත් බෝවස් නම් ධනවත් මිනිසෙක් සිටියේ ය. මෝවබිය රූත්, නායොමිට කතා කොට, “කුඹුරට ගොස්, මට කාරුණික වන කෙනකු පසු පස ඇවිද, වැටී ඉතිරි වී ඇති කරල් ඇහිඳ එන්න ඉඩ දෙන්නැ” යි කීවා ය. “යන්න මගේ දූ” යි ඈ කීවා ය. එබැවින් ඈ පිටත් ව ගොස්, අස්වනු නෙළන්නන් පසු පස යමින්, කරල් ඇහිඳින්නට වන්නී, අහම්බෙන් මෙන් එලීමෙලෙක්ගේ පෙළපතේ බෝවස්ට අයත් කුඹුරු ලියැද්දට පැමිණියා ය. එවිට මෙන්න! බෝවස් ද බෙත්ලෙහෙමේ සිට එහි අවුත්, අස්වනු නෙළන්නන්ට සුබ පතමින්, “ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේක්වා!” යි කීවේ ය. “ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා!” යි ඔවුහු ද පැවසූහ. අස්වනු නෙළන්නන්ගේ වැඩ බලන තරුණයා ඇමතූ බෝවස්, “අර තරුණ කාන්තාව කාගේ කවුරු දැ?” යි ඇසී ය. එවිට අස්වනු වැඩ බලන්නා පිළිතුරු දෙමින්, “ඒ, මෝවබ් දේශයෙන් නායොමි සමඟ පැමිණි මෝවබ් තරුණ කාන්තාවයි; ඈ මා අමතා, ‘අස්වනු නෙළන්නන් පසු පස නෙළූ මිටි අතරේ වැටී ඇති කරල් ඇහිඳ, එකතු කර ගන්නට කරුණාකර මට ඉඩ දෙන්නැ’ යි ඉල්ලුවා. සෙවණට වී මද විවේකයක් ගත්තා විනා, කුඹුරට බැස්ස ඇය උදේ පටන් මේ දක්වා එක දිගට ම කාරියේ යැ” යි කීවේ ය.