එළිදරවු 3
3
සර්දිස්හි සභාව වෙත
1“සර්දිස්හි සභාවේ දූතයාට මෙසේ ලියන්න:
“දෙවියන්වහන්සේගේ ආත්මයාණන් හත්දෙනා හා තාරකා හත ඇති තැනැත්තාණන්ගේ වචන මෙසේ ය.
“ඔබේ වැඩ මම දනිමි. ඔබ ජීවත් වන බවට ප්‍රසිද්ධියක් ඇති නමුදු ඔබ මිය ගොසිනි. 2අවදි වන්න! මැරී යෑමට ආසන්න ව තවමත් ඉතිරි ව ඇති දෑ ශක්තිමත් කරන්න. මන්ද මගේ දෙවියන්වහන්සේ ඉදිරියේ ඔබේ වැඩ සම්පූර්ණ වූ වග මට සම්භ වුණේ නැත. 3එබැවින්, ඔබ ලැබූ දේ හා ඇසූ දේ මතක් කර ගන්න; ඒවා පවත්වා, පසුතැවිලි වන්න. එහෙත් ඔබ අවදි නො වේ නම්, මම සොරකු මෙන් එන්නෙමි. මා ඔබට එරෙහිව කවර පැයේ ඒදැයි ඔබ දැනගන්නේ නැත.
4“එසේ වුවත්, තමන්ගේ ඇඳුම් කිලිටි කර ගත්තේ නැති ස්වල්ප දෙනෙක් සර්දිස්හි ඔබට සිටිති. ඔවුන් සුදු ඇඳුම් හැඳ, මා සමඟ ගමන් කරනු ඇත. මන්ද ඔවුහු වටින්නෝ ය. 5ජය ගන්නා, එලෙස සුදු ඇඳුමින් හඳවනු ලැබේ. ඔහුගේ නම ජීවන පොතෙන් කිසි කලෙක මකා නො දමන්නෙමි. මගේ පියාණන්වහන්සේ හා උන්වහන්සේගේ දේව දූතයින් ඉදිරියේ මම ඔහුගේ නම පිළිගන්නෙමි. 6ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තා අසත්වා!
පිලදෙල්පියාහි සභාව වෙත
7“පිලදෙල්පියාහි සභාවේ දූතයාට මෙසේ ලියන්න:
“දාවිත්ගේ යතුර ඇති, කිසිවකුටත් වැසිය නො හැකි සේ විවර කරන, කිසිවකුටත් විවර කළ නො හැකි සේ වසා දමන ශුද්ධ වූත්, සත්‍යවූත් තැනැත්තාණන්ගේ වචන මෙසේ ය.
8“මම ඔබේ වැඩ දනිමි. මෙන්න! කිසිවකුටත් වැසිය නො හැකි ඇරුණු දොරක් මම ඔබ ඉදිරියේ තැබීමි. ඔබට ඇත්තේ සුළු බලයක් වග මම දනිමි. එහෙත් ඔබ මගේ වචනය පිළිපැද්දහ. මගේ නාමය ප්‍රතික්ෂේප නො කළහ. 9ඔන්න යුදෙව්වන් නො වන නමුත් තමන් යුදෙව්වන්ය කියා ගන්නා සාතන්ගේ සිනගෝගයේ බොරුකරුවන් අවුත්, ඔබේ දෙපා මුල වැඳ වැටෙන්නටත්, මා ඔබට ප්‍රේම කළ වග ඔවුන්ට දැන ගන්නටත් සලසන්නෙමි. 10ඉවසීමෙන් දරා සිටින්නට මා දුන් වචනය ඔබ රක්ෂා කළ බැවින්, මිහි පිට වෙසෙන්නවුන් පරීක්ෂා කිරීමට මුළු ලෝකය පිටට එන්නට තිබෙන පරීක්ෂාවේ පැයෙන්, මමත් ඔබ රක්ෂා කරන්නෙමි.
11“මම ඉක්මනින් එමි. කිසිවකුත් ඔබේ ඔටුන්න උදුරා නො ගන්න ලෙසට, ඔබට ඇති දෑ තරකොට අල්ලාගෙන සිටින්න. 12ජය ගන්නා, මගේ දෙවියන්වහන්සේගේ මාලිගයේ කුලුනක් කරන්නෙමි. කිසි කලෙක ඔහු එතැන හැර යන්නේ නැත. මගේ දෙවියන්වහන්සේගේ නාමය හා මගේ දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බසින අලුත් යෙරුසලම වන මගේ දෙවියන්වහන්සේගේ පුරවරයේ නාමය ද මගේ ම අලුත් නාමය ද මම ඔහු පිට ලියන්නෙමි. 13ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තා අසත්වා!
ලවොදිකයෙහි සභාව වෙත,
14“ලවොදිකයෙහි සභාවේ දූතයාට මෙසේ ලියන්න:
“දෙවියන්වහන්සේගේ මැවිල්ලේ මූල-නිධානය වූ විශ්වාසවන්ත, සත්‍ය සාක්ෂිකරු වූ ආමෙන් නැමැත්තාගේ වචන මෙසේ ය.
15“මම ඔබේ වැඩ දනිමි; ඔබ සිසිල් ව හෝ උණුසුම් ව හෝ නැත. ඔබ සිසිල් ව හෝ උණුසුම් ව හෝ සිටියි නම් කැමැත්තෙමි! 16මෙසේ, ඔබ උණුසුම් ව හෝ සිසිල් ව හෝ නො සිට ඇල්මැරුණු ගතියෙන් යුතු බැවින්, මගේ මුවින් මම ඔබ වමාරන්නෙමි. 17‘මා ධනවත් ය; මා ධනය අත්කර ගෙන ඇත. කිසිවකින් මට අඩුවක් නැතැ’ යි ඔබ කියන්නේ ඔබගේ කාලකණ්ණි, දුක්ඛිත, දුගී, අන්ධ හා නග්න භාවය අවබෝධ කර ගෙන නො වේ. 18ඔබ ධනවත් වන පිණිස, ගින්නෙන් පවිත්‍ර කරන ලද රන් ද ඔබට ඇඳගන්නට හා ලජ්ජා සහගත ඔබගේ නග්න භාවය නො පෙනෙන පිණිස, සුදු ඇඳුම් ද දකින්නට හැකි වන පිණිස, ඔබේ ඇස්වල තවරා ගන්නට නෙතු ආලේප ද මගෙන් මිලයට ගන්නා ලෙස මම ඔබට අවවාද කරමි.
19“මා ප්‍රේම කරන අයට මම තරවටු කොට හික්මවමි. එබැවින් උද්යෝගිමත් වන්න. පසුතැවිලි වන්න. 20මෙන්න! මම දොර ළඟ සිටගෙන, තට්ටු කරමි. මගේ කටහඬ අසා යමෙක් දොර අරින්නේ නම්, මම ඇතුළු ව ඔහු හා එක් ව අහර ගන්නෙමි. ඔහු ද මා සමඟ අහර ගනු ඇත.
21“ජයගන්නාට මා සමඟ මගේ සිංහාසනයේ හිඳගැනීමේ වරම මා දෙන්නේ, මා ජය ගෙන මගේ පියාණන්වහන්සේගේ සිහසුනේ උන්වහන්සේ සමඟ හිඳගත් අයුරිනි. 22ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තා අසත්වා!” යි කී සේක.
Currently Selected:
එළිදරවු 3: SCV
Highlight
Share
Copy
Want to have your highlights saved across all your devices? Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.